Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලංකාවේ අපේ චිත්‍රකතා කලාව මෙතෙක් කිසිවකු විසින් හෝ නිසි ඇගයීමට ලක් නොකරන ලද ක්ෂේත්‍රයකි. අපේ රටේ චිත්‍ර කතා කලාව පිලිබඳව මේ සටහන තැබීමට විශේෂ හේතුවක් වුයේ ඉකුත් දා කලා භවනේදී පැවැත්වුනු අපූර්ව සිත්තරකුගේ අපූරු සිතුවම් පෙළක් ඇස ගැටීමෙන් ලද උත්තේජනයයි. මේ සිතුවම් දැක්ම නම් කර තිබුණේ "අනුරාලෝකය" නමින්. ලංකාවේ චිත්‍රකතා ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වූ අනුර ශ්‍රීනාත් සිත්තරා තිස්තුන් වසරක් පුරා සිය තෙළිතුඩින් මැවූ අපූර්ව සිතුවම් තුන් සියයකට වැඩි ප්‍රමාණයක් අනුරාලෝකයට අන්තර්ගත විය.

සිත්තරකු ලෙසින් අනුර ශ්‍රීනාත් චිත්‍රකතා කලාවට පිවිසෙන්නේ 1970 දශකයේ අග භාගයේ දී ය. ඒ චිත්‍රකතා පත්තරවල චිත්‍රකතා ශිල්පියෙකු ලෙසිනි. ඒ යුගය ලංකාවේ චිත්‍රකතා පත්තර කලාව සුවිශේෂ කලාංගයක් ලෙස මනාව වැඩෙමින් තිබූ යුගයකි. 1980–90 දශකය ලංකාවේ චිත්‍රකතා පාඨකයන්ගේ ස්වර්ණමය යුගයක් වී තිබුණි.

චිත්‍රකතා පත්තර ආරම්භ වන්නේ ලේක් හවුස් ආයතනය ලංකාවේ පළමු වරට මුද්‍රණය කළ සතුට චිත්‍රකතා පත්තරයෙනි. අනතුරුව මධුර, චිත්‍රමිත්‍ර, සුහද, සිත්තර, සත්සිරි, දසුන ආදි චිත්‍රකතා පත්තර පෙළක් මෙරට බිහිවිමත් සමගම චිත්‍රකතා පත්තර කලාව ලාංකීය පාඨකයන්ගේ වින්දනීය අත්දැකීම් නවමු ඉසව්වක් කරා යොමු කළේය.


අනුර ශ්‍රීනාත්

මේ චිත්‍රකතා පත්තර සමග බලංගොඩ සරත් මධු, වික්‍රම, කැමිලස් පෙරේරා, උදයකාන්ත වර්ණසුරිය (චිත්‍රපට අධ්‍යක්ෂක), බන්ධුල හරිශ්චන්ද්‍ර, දයා රාජපක්ෂ, සුමතිපාල-ජෝතිපාල, අනුර ශ්‍රී නාත්, සුසිල් ප්‍රේමරත්න (ගායන ශිල්පී) සහ ජැක්සන් ඇන්තනී (රංගන ශිල්පී, චිත්‍රපට අධ්‍යක්ෂක), ජනක රත්නායක ආදී නිර්මාණාත්මක ප්‍රතිභාවෙන් පිරිපුන් කලාකාමී සිත්තරුන් පිරිසක් රොද බැඳ ගෙන සිටියහ.

චිත්‍රකතා සඳහා බොහෝ දුරට තේමාව වූයේ ආදරය, ප්‍රේමය, විරහව, ත්‍රාසය, භීතිය, හාස්‍ය සහ වීරත්වයයි. සිනමාව සේ ම චිත්‍රකතා කලාව තුළ ද රැඳී තිබුනේ එකම ආකාරයේ නිර්මාණාත්මක අත්දැකීම් ය. සිනමාව තුළ චලන රූප රාමු දැකිය හැකි මුත් සිත්තරා විසින් චිත්‍රකතාව සඳහා අඳින චිත්‍රය ද රූප රාමුවෙන් රාමුවට චලනය වන හැටි පාඨකයාට සිතුවමින් ඇඳ මනස තුළ සිනමා පටයක් මවා දුන්නේ චිත්‍ර ශිල්පියා විසිනි. එහි දෙබස් ඇත. චරිත ඇත. සිනමා පටයක දක්නට ලැබෙන සංගීත රසය හැර සෙසු සියළුම රස පාඨකයාට එදා චිත්‍ර කතාවෙන් ලබා දුන්නේ ය. සිනමා පටයක දක්නට ලැබෙන චලන චිත්‍රයේ සමීප රූපය ද, චලන චිත්‍රයේ දුරස්ථ රූප රාමුව ද සිනමාවේ මෙන් චිත්‍ර කතා කලාවේ ද එලෙසම දකින්නට හැකි විය. සිනමාවේ මෙන් ම චිත්‍රකතාවල ද වීරයෝ සේ ම ප්‍රේමණීය චරිත ද බිහිව එකල සමාජ ගතව තිබුණි. නූතනයේ පවා සිනමා පටයක් නිර්මාණය කිරීමට පෙර එහි කතාව හා චරිත පෙළ ගැස්වීම චිත්‍රපට අධ්‍යක්ෂ වරයා විසින් චිත්‍රකතාවක් බවට පරිවර්තනය කරයි.



මේ අයුරින් ගොඩ නැගුණු චිත්‍ර කතා පත්තර කලාව බිඳ වැටීම ආරම්භ වූයේ 1990 මැද භාගයේ දීය. ඊට බලපෑ හේතු කීපයකි. චිත්‍රකතා ප්‍රකාශන මුවාවෙන් අසභ්‍ය චිත්‍රකතා පුවත්පත් කලාවක් රට තුළ බිහිවීම, කිසිඳු ප්‍රමිතියකින් තොරව චිත්‍රකතා බිහිවීම, උසස් නිර්මානාත්මක අත්දැකීම් වලින් සැරසුණු කතා පුවත් නොතිබීම ආදී මෙකී කාරණා මෙන් ම ලංකාව තුළ විද්‍යුත් මාධ්‍යයක් ලෙස රූපවාහිනිය ස්ථාපනය වීමත් අපේ රටේ චිත්‍රකතා පත්තර කලාව දශක දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී අභාවයට යාමට තුඩුදුන් කරුණු කාරණා වූ බව නිසැකය.

1990 දශකයේ මැද භාගයේ බිඳ වැටුණු චිත්‍රකතා පත්තර කලාව මේ වන විට සති අන්ත හෝ සතියේ ජාතික පුවත්පතක කුඩා තීරයකට පමණක් සීමා වී ඇත. එහෙත්, තවමත් ලෝකයේ ප්‍රචලිත කලා මාධ්‍යයක් ලෙස වර්ධනය වෙමින් පවතින චිත්‍රකතා කලාව පුවත් පත් වශයෙන් නොවුන ද, චිත්‍රකතා පොත් වශයෙන් ලෝකයේ හොඳ වෙළඳ පොළක් නිර්මාණය කර ගෙන තිබේ. සුපර් මෑන්, බැට්මෑන්, ඩ්‍රැකියුලා වැනි චිත්‍ර කතා සේ ම ටිං ටිං, Asterix වැනි කාටූන් රැගත් චිත්‍රකතා පොත්වලට අද දවසේ ද පාඨක වෙළඳ පොළ තුළ හොඳ ඉල්ලුමක් තිබේ.

එවන් වූ යුගයක අනුර ශ්‍රීනාත්ගේ අනුරාලෝකය මෙම චිත්‍රකතා සිතුවම් දැක්ම චිත්‍රකතා පත්තර කියවූ පාඨකයන්ට ආශ්වාදයක් ම වූවාට සැකයක් නැත. අනුර චිත්‍රකතා පත්තර කියවූ පාඨකයා නැවත ඒ යුගයට කැඳවීමට ගත් අතිශය වෙහෙසකර කටයුත්ත ඉතාමත් සාර්ථක වූ බව පැහැදිළි වූයේ කලාවේ රස හඳුනන බොහෝ කලාකරුවෝ ද, චිත්‍රකතා පත්තර කියවන්නට පුරුදුව සිටි අප වැනි සාමාන්‍ය රසිකයෝ ද අනුරගේ මෙම අපූර්ව සිතුවම් දැක්ම දෑසින් විඳ සැනසෙන්නට පැමිණ සිටි බැවිණි.



අනුර ශ්‍රීනාත් චිත්‍ර ශිල්පියාද මා මුලින් සඳහන් කළ සියළුම චිත්‍රකතා පත්තර සදහා චිත්‍රකතා නිර්මාණය කළ ශිල්පියෙකි. ආරම්භක යුගයේ අනුරගේ චිත්‍රකතා කලාව තුළ ඔහුගේ ඇස මෙන්ම තෙළිතුඩ ද රැඳුනේ වීර කතා කෙරෙහිය. අනතුරුව ඔහුගේ ගමන් මග ආන්දෝලනාත්මක ස්වරූපයෙන් වෙනස් විය. චිත්‍රකතාවෙන් පාඨකයා රැඳවිය යුතු තැන නිශ්චිතව ස්ථාන ගත කර හඳුනාගත්තේය. "කෝ", "මල්කැකුලක් ඉකිබින්දා" ආදී මුල් යුගයේ චිත්‍ර කතා මගින්, එතෙක් චිත්‍රකතා කියවූ පාඨකයා සිටි තැනින් ඉහළට ඔසවා තැබූ ඔහු චිත්‍ර කතා කියවන පාඨකයා තුළින් ම සමාජය නැවත ප්‍රශ්න කිරීමේ මාවත සොයා ගත්තේය.

ගෙවුණු තිස්තුන් වසර තුළ අනුර සිය තෙළිතුඩින් ලෝකය දකින හැටි මෙන් ම ලෝකයට ආදරය කරන සැටිත්, ඒ මගින් පාඨකයාට තමා ආදරය කළ ලෝකයට ආදරය කරන්නට කියා දෙන හැටිත් චිත්‍ර කතාවෙන්ම කියා දුන්නේය. අනුර , දැඩි මර්දන කාරී යුග වල ජීවන අරගලයේ යෙදෙන පීඩිත ජනතාවගේ දුක්ඛිත ජීවිත ලෝකයට විවර කරමින් විටෙක චිත්‍රකතා කලාව තුළ දේශපාලන අරගලයක නියැලෙමින් සිය චිත්‍රකතා මෙහෙය වන්නේ කවිය ගීතය, සිනමාව මෙන් ම චිත්‍රකතා කලාවෙන් ද නූතන සමාජය යහපත් තැනකට කැඳවීමේ අරමුණින් යුතුව ය. මෑත යුගයේ අනුර අතින් නිර්මාණය වූ "එන්න එපා කෝච්චිය", "ඉස්කෝලේ යන්න පුතේ", "පිස්සු නැත්නම් ෂෝක් පුතා", "Cellපෝං", "Conදා" ආදී චිත්‍රකතා ඊට හොඳම නිදසුන් ය.

චිත්‍ර කතා කලාව මෙන්ම අනුරගේ දේශපාලන කාටූනය ද සමාජ යහපතට හැරවීය. එය සිනමාකරුවා මෙන්ම කපුගේගේ නන්දාගේ ගීවල තිබූ සැබෑ ජනතාවාදී දේශපාලන සංස්කෘතිය ඔහු සිය තෙළිතුඩින් මැවූ කාටූන් සිතුවටමට ග්‍රහණය කරගත්තේය. සමාජය උඩු යටිකුරු කිරීමත්, සමාජයේ සුදු චරිත කලු චරිත ලෙසින් පාඨකයාට වටහා ගැනිමට ඉඩ හැරීමත් අනුරගේ චිත්‍රකතා කලාව තුළ මෙන්ම කාටූන් සිතුවම් වල ද දකින්නට තිබේ. ඔහුගේ තෙළිතුඩෙහි රැඳුණු රැඩිකල් බව විටෙක මේ සමාජයේ තබා ඇති සුදු පැහැති තිරය පසුපස සැඟවූ කලු පැහැය පාඨක ඇසට යොමු කරයි. ඒ කණපිටෙහි නො පෙනෙන, ගැඹුරු පත්ලෙහි සැගව ඇති දේ සියුම් ලෙස එහි ගැඹුරු පත්ලටම කිඳා බැස එහි ඇති අරුත සොයා යන චිත්‍ර කතා කලාව සහ කාටූන් කලාවක් තුළ ඔහුගේ තෙළිතුඩ රැඳී ඇත. මා ආදරය කරන්නේ අනුරගේ ඒ කලාවටය.

ඒ නිසා ම වර්තමානයේ චිත්‍රකතා පත්තර කෙරෙහි පාඨක නැඹුරුවක් නැතත් තිස්තුන් වසරක් පුරා ඔහු විසින් අඳින ලද චිත්‍ර කතා අතරින් "චූටි පුතාගෙ ලොකු කතා", "එන්න එපා කෝච්චිය", "ඉස්කෝලේ යන්න පුතේ", "පිස්සු නැත්තං ෂෝක් පුතා", "Cellපෝං" ආදී චිත්‍ර කතා නැවත පොත් වශයෙන් ප්‍රකාශයට පත් කර ලංකාවේ චිත්‍ර කලාව නැවත පාඨක අවධානයට යොමු කරවන්නේ සැඟව ගිය චිත්‍රකතා කලාව නැවත පාඨකයා වෙත කැඳවීමට ය. කෙසේ වුවද අනුරගේ චිත්‍රකතා සහ කාටූන් සිතුවම්වල තිස්තුන් වසරක් තිස්සේ පිළිබිඹු වන පීඩිත ජනතාවගේ වේදනාකාරී ජීවිත සමාජයට මුදාහැර චිත්‍ර කතා කලාවේ මිහිර නැවත නූතන පරපුරට බෙදා දෙමින් කලාව තුළ සැගව ගිය චිත්‍රකතා මාවත නැවත එළිය කළේය. අනුර ශ්‍රීනාත්ගේ "අනුරාලෝකය" සිතුවම් දැක්ම නූතනයට වැදගත් වන්නේ ඒ නිසාය.







දයානන්ද රත්නායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails