
සෝභාව දෙන මෙපුර අඳුරු කුටියක රැයක
බඹර විස ගත දරා රිදෙන සිතුවිලි විලක
ගිලී ලත් හෙට දවස ගුලිකරන් අත මිටක
මගක පියනගන සිත ගිහින් ඇති ලොකු දුරක
නැගෙන කළු වලාකුළු වසාගත් පුර අඹර
දැනෙනවද දෙගුණ වූ මග අවට ගණ අඳුර
අකුණු සර හතරවට ගිගුම් දෙන හඬ අතර
ඇහෙනවද විලාපය හදේ ගැඹුරින් නැගුව
මංමුලාවී පැමිණි මග නොමග දුර කතර
කෙසේ ආපසු යම්ද මග දමා රුදු මතක
හැරදමා පැමිණිමුදු නැවත සිහිවී මුහුද
මුමුණමින් මග සොයයි සුළඟ තුරු හිස් අතර
නිවාලනමුදු ගතේ ගින්දර බිමට බට වැහි බින්දු පිරිවර
දවාලනු ඇත නැවත ගත සිත නිමාවනතුරු මිරිඟු දියවර
යොමා නෙතු යුග බැලී ඈ පිය තබන ඉදිරිය කඳුළු බිඳහැර
අඳුර වටකර පහරදෙන එක පහන් කණුවකි මගෙහි කෙළවර
භාතිෂ අකලංක සිල්වා



