
නගර සභාවේ ක්‍රිෂ්ණා
කළුම කළුපාට
උඹේ පපුව යට
මට මලක් පෙනේ !
ඉලඇට රීප්ප පටි මැද බබළන
එක පුන් සඳ
ගාමන්ට් යන රාධා වෙනුවෙන් පීදුණ.
අල්ලා
කුණු ට්‍රැක්ටරයේ සුක්කානම
කරකයි
ඔහු සංසාර චක්‍රය.
යමුනා ගඟ උඩින් දිවෙන
පාලම ළඟ
වැඩ ඇරිලා රාධා හිඳියි
මඟ බලාන
ගඟේ යන
කුණු දෙස ද බලබල.
"කැත කුණු නැති එකම තැන
ක්‍රිෂ්ණාගේ පපුව යට"
ඇයට හිතිණි.
පඩි දාට ක්‍රිෂ්ණා
පොළට ගිහිං
සොයයි
කැත කුණු නැති යොහොඹු කුසුම්
රාධාගේ හිත පතුලේ
එක එක විදිහට තියලා
ඇගේ සතුට බලන් ඉන්න.
ක්‍රිෂ්ණා
ලයිට් කණුව අස
බල්බ් හඳ යට
වැඩ ඇරී
ආදරය ගෙනැවිත් හිනා වෙයි.
රාධා
කේතලේ
අමුර්තය ලිප තබයි.
සමිත බී. අටුවබැන්දෑල



