
හෝර්ටන් තැන්න තුළට කිසිදු පොලිතින් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍යයක් ගෙන යාම තහනම්! එහෙත් වන ජීවී සේවකයින් දිනපතා පෝර උර පිරෙන්නට කුණු එකතු කරයි.
පාරාදීසයට යන මඟ දිග
සාධු දන රිසි රිසිව හෙළා යන
සාරාසංඛ්‍ය පව් සෙමෙන් ඇහිඳින
මඟියෙකු නොවන මඟියාය මම
කිරිගල්පොත්ත මෙන් උත්තුංග
ඩයිනෝසර මතකයකි දුක් කන්ද
තවමත් හඬන මීවන ලන්ද
නියගින් පෑරුවේ මොන හිතකින්ද
පතන් බිම් පීරමින් සපැමිණ
සුතන් හා නෙලු ඵලය බුදිමින
ඇතුන් කොයි මේ බිමේ වැජඹුණ
සතුන් ගෙන් වෙඩි කකා මියැදුණ
උඩු වියන් යටි වියන් එලමින
අතීතය පස් යට ම වැලලුව
ජීවිතේ හිස් බඳුන් අරගෙන
පැමිණි දන සිප වැළඳ සැනහුව
හිතේ කුණු අත් මිටින් අරගෙන
තැනින් තැන දම දමා ගොස දෙන
මිනිසුනේ දුටුවාද දින දින
අවසඟව මිය ඇදෙන මහ වන
සමනල් වැවට ඉරගල වැටෙන
හවසක සෙමින් රතු ඇස් පිසින
ලෝකාන්තයෙන් රූරා වැටුණ
ඛේදාන්තයකි මේ වන අරණ
20-08-2012
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



