
(නොබෝ දා සිදු වූ ප්රවීන කිවියර රත්න ශ්රී විජේසිංහගේ ප්රිය බිරිඳ ගේ වියෝව ඔහු කෙසේ දරා ගනීද?)
මගේ පණ සුන් කඳට පණ යැද්ද කින්නරිය
බුදු වෙන්න පිට දුන්නු සිරි යසෝදරාවිය
මා එක්ක හිනා වෙන්නට දුකම වැළඳ ගත්
හිනා නොදැකම මගෙන්, මට හොරා වහන් විය
යන්ට නොම දී තනිව වංක ගිරි ගිරි මැදට
දෙකොපුලේ කඳුළු ගෙන ගියේ මම තනි කමට
වෙසෙන විට තනිව විෂ ඝෝර සපු විමානෙක
උනා මට පහන් වැට නගරේ කුලී ගේක
සකු අකුරු පද වලට තනිව පණ හොයන කොට
තබා තේ එක හොරෙන්, දොර රෙද්ද මෑත් කොට
තනිව පොඩි උන් එක්ක ගෙයි හටන් කෙරුව නුඹ,
සරණ විට කවි නිවන හොයන බාවනාවට
සුවඳ දී හිත ඇතුලෙ කිති කැවුනු දිගම කව
ලියන්නට නූනෙ, ඒ මා ළඟම නිසාවට
ඛින්දකට ඇහැරියන්..! මගෙ අමල් ඛිසෝ නුඹ
කාටවත් නෑහෙන්ට ඒ කවිය මුමුණන්ට
මුහුකුරා ගොස් ඇත ද, තෙවැනි ඇස වියපත්ව
පැරඬැලකි මේ මොහොත වියෝ දුක ගෙන, වැළඳ
අනියතට ඉඩ දෙන්ට හිත හදා ගනු කෝම
එතැන තිත. තියන්නට අසරණයි මම තාම.
ජයන්ත නිමල් සිරි



