Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



1965 දී ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවර උපත ලැබූ කාලෙද් හොසෙයිනි, දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූයේය. 1976 වසරේදී ප්‍රංශයේ පැරිස් නුවරට ඔහුටත් පවුලේ හැමටත් යාමට සිදුවූයේ ඔහුගේ පියා ප්‍රංශයේ ඇෆ්ඝනිස්ථානු තානාපතිවරයා ලෙස කටයුතු කිරීම හේතුවෙනි. ඉන් අනතුරුව ඇෆ්ඝනිස්තානයේ කොමියුනිස්ට් පාලනය ඇරඹීමත් සමගම 1980 වසරේදී ඔවුහු දේශපාලනික රැකවරණය පතා අමෙරිකාව වෙත සංක්‍රමණය වූහ. දේශපාලනික සංක්‍රමණිකයෙකු ලෙස කාලෙද් හොසෙයිනි අමෙරිකාවට පය තබන විට ඔහුට වයස අවුරුදු පහළොවකි. ඒ වනවිට ඔහු දැන සිටියේ ඉංග්‍රීසි වචන කිහිපයක් පමණි. එහිදි සැන්ටා ක්ලාරා සරසවියට ඇතුලු වූ කාලෙද් එහිදී වෛද්‍යය උපාධිය ලබා මේ වන විට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි. එසේම ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මිත්‍රත්ව තානාපතිවරයෙකි. ජනප්‍රිය නවකතා කරුවෙකි. සරුංගල් ලුහුබඳින්නා [The Kite Runner] ඔහුගේ කුළුඳුල් නවකතාවයි.

ඔහු ලියූ "සරුංගල් ලුහුබඳින්නා" කෘතිය ඇසුරින් නිර්මාණය වූ සිනමාපටය 2007 දෙසැම්බර් 14 වෙනිදා ප්‍රදර්ශනය ඇරඹීය. එසේම එය එම වසරේ හොඳම විදෙස් චිත්‍රපටය සඳහා වන "ගෝල්ඩන් ග්ලෝබ්" සම්මානය සඳහා යෝජනා වී තිබිණි. වත්මන් ඇෆ්ඝනිස්ථානය තුල ඉස්ලාම් දහමේ ස්වභාවයත්, ඔහු ගේ කුළුඳුල් නවකතාව වූ "සරුංගල් ලුහුබඳින්නා" සහ ඒ වෙනුවෙන් හිමි වූ අති විශාල පාඨක ප්‍රතිචාරය පිළිබඳවත් ඔහු "බීලීෆ්නෙට්" වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනයකි මේ.

නවකතාව පලවීමත් සමග කුමන ආකාරයක ප්‍රතිචාර හිමිවේදැයි "සරුංගල් ලුහුබඳින්නා" ලියන කාලයේදි ඔබ නිකමටවත් සිතුවාද?

ඇත්තෙන්ම ආරම්භයේදි මට ඒ ගැන තිබුණේ බොහොම නිහතමානි හැඟීමක්. මම බලාපොරොත්තු වුණේ පාඨකයන් අතළොස්සක් පමනක් මෙය කියවාවි කියලයි. බොහෝ දෙනෙක් නොදන්නා, ඒ වගේම දැන සිටියත් එතරම් සැලකිල්ලක් නොදක්වන්නා වූ දුරස්ථ ස්ථානයක් පසුබිම් වූ කතාවක් නිසා එතරම් පුළුල් පාඨක ප්‍රතිචාරයක් හිමි වේ යයි කොහෙත්ම විශ්වාසයක් තිබුණේ නෑ.

ඇෆ්ඝනිස්තානුවෙක් විදිහට මම බලාපොරොත්තු වුණේ, ඇෆ්ඝනිස්තානය තුල එදිනෙදා සිදුවීම දෙක තුනක් වාර්තා කරන සී.එන්.එන් හෝ ෆොක්ස් හෝ වෙනත් ප්‍රවෘත්ති ඒජන්සි හරහා ඔවුන් දන්නා ඇෆ්ඝනිස්තානයට වඩා සැබෑ ඇෆ්ඝනිස්තානය කියන්නේ මොනවගේ තැනක්ද කියල පාඨකයන්ට දැනගැනීමට ඉඩහැරීමයි. ඇෆ්ඝනිස්තානු සංස්කෘතිය වෙත ඇරුණු ඉතා සුවිශේෂි කවුළුවක් ඔවුන් ඒ තුලින් දකිනු ඇතැයි මම බලාපොරොත්තු වුණා. සෝවියට් ආක්‍රමණයන්ට පෙර ඔවුන්ගේ ආහාර රටාව, ජීවන රටාව, වෛවාහික චාරිත්‍ර සහ ඔවුන්ගේ අවමඟුල් චාරිත්‍ර, සහ මරණය පිළිබඳ ඔවුන්ගේ ආකල්ප කෙබඳුද යන්න පෙන්වීම මගේ අරමුණ වුනා.


කාලෙද් හොසෙයිනි

අමීර් ගේ චරිතය තුල කොතරම් දුරට ඔබ ජීවත්වෙනවද?

ඔහු මුහුණ දුන්, හිරිහැර සහ පීඩා වලින් යුත් සියළු තත්වාකාරයන් මගේ නොවුනත්, සෝවියට් යුධ සමයට පෙර තිබූ කාබූල් නුවර මං හැදී වැඩුණේ ඔහු අයත් වුණු (සමාජ- ආර්ථික) වටපිටාව තුලමයි. ඔහු ඉගෙනගත් පාසලේම මා ඉගෙනුම ලැබුවා. බොහෝ ලාබාල වියේදීමයි මම ලියන්නට පටන් ගත්තේ. ඇත්තෙන්ම, චිත්‍රපටයේ අමීර් විසින් හසන් වෙනුවෙන් ලියූ කුඩා කතන්දර සියල්ලක්ම මා කුඩාවියේ ලියූ දේවල්. ඒ කියන්නේ 1974 විතර. කාබුල් නුවර ඉන්න කාලේ යාලුවෝ එක්ක සරුංගල් යැවීම මං හුඟාක් ආසාවෙන් කළ දෙයක් වගේම මම චිත්‍රපට වලට බොහේ ආසා කළ කෙනෙක්. විශේෂයෙන්ම බටහිර චිත්‍රපට වලට.ඇත්තෙන්ම ඒ සියල්ලම මගේ ජීවිතය තුල වූ අවස්ථාවෝචිත පිළිවෙත්.

සෝවියට් ආක්‍රමණයේ ආරම්භයත් එක්ක අපි ඇමරිකාවට ගියා. ඒ වගේම ඔහු (අමීර්) සිය පියා සමග සංක්‍රමණිකයන් ලෙස මුහුණ දූන් ආකාරයේ සියළුම අත්දැකීම් වලට මමත් මුහුණ දුන්නා. වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කල ඇෆ්ඝනිස්තානුවන් බොහෝ දෙනෙක් මෝටර් රථ පිරිසිදු කරන ස්ථාන පවත්වාගෙන යාම වැනි දේවල් සැබෑ සිදුවීම්. ඒ දේවල් සියල්ලම පාහේ මතුවෙන්නේ මගේ ජීවිතය තුලින්. ඒත් නවකතාව තුල කුඩා දරුවන් දෙදෙනා අතර සිදුවන සිදුවීම් සියල්ල සහ අනෙකුත් බොහෝ දේවල් හුදෙක් ප්‍රබන්ධයන්.

"සරුංගලය" කියන්නෙ මෙහි නිරූපිත සංකේත අතුරින් එකක් විතරයි. සංකේතයක් ලෙස ඔබ වඩා ප්‍රිය කරන යමක් තිබෙනවද?

අමීර් අඳුරු සෙවණැලි අතර සැඟවෙද්දි, දාමරික කොල්ලන් විසින් හසන් කොන් කරනු ලැබූ අවස්ථාවත් ඒ වගේම හසන්ව දූෂණය කිරීමත් ඇත්තෙන්ම හැමවිටම රූපකාර්ථ ගුණයෙන් අනූන වූවක්. මෙහි එන හසන් වෙනුවට ඔබ ඇෆ්ඝනිස්තානය ආදේශ කළොත් බොහෝ ඇෆ්ඝනිස්තානුවන්ට අනුව ඔවුන්ගේ රටට මේ වන විට සිදුව තිබෙන්න එයයි. හසන්, අමීර් ගේ කැමැත්ත අනුව ඔහුට පොරොන්දු වූ සරුංගලය අල්ලා දීම වෙනුවෙන් කටයුතු කල මොහොතේ වූවත් අමීර් කළේ සැඟවී සිටීමයි, හසන් දාමරික කොල්ලන්ගේ ග්‍රහණයට හසු වී ඔවුන්ගේ කෲර වධහිංසා වලට ලක් වද්දීත් ඊට මැදිහත් නොවී නිහඬව ඉවත බලා සිටීමයි.



ඇෆ්ඝනිස්තානුවන් බොහෝ දෙනෙකු වත්මන් ඇෆ්ඝනිස්තාන යේ උද්ගතව ඇති තත්වය පිළිබඳව හිතන්නේ එහෙමයි. (සෝවියට් සමූහාණ්ඩුව ගියාට පස්සේ ඇෆ්ඝනිස්තානයට උදවු දීමට බටහිර රටවල් අසමත් වුණා.)

චිත්‍රපටයේ එන "අපයෝජනය ලක් කිරීමේ" සිදුවීම පිළිබඳ කිසියම් විරෝධතාවක් මතු වුණා. මෙහි චරිත නිරූපනය කරන ළමා නළුවන්ගේ දෙමාපියන් නිෂ්පාදකවරයාගේ සහයෝගය අපේක්ෂා කළා චිත්‍රපටයේ මෙම අවස්ථාව ඉවත්කිරීමට. එයින් චිත්‍රපටය ප්‍රදර්ශනයට නියමිත දිනය කල් ගියා. ඇෆ්ඝන් සංස්කෘතියට ආගන්තුක කෙනෙකුගේ මෙවැනි විරෝධතා ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?

දරුවන් මෙම දර්ශනයට පෙනී සිටින විට නිෂ්පාදකවරුන් දරුවන්ගේ භාරකාරයන් සහ දරුවන් සමග එවැනි දර්ශනයක් සම්බන්ධයෙන් දිගු සාකච්ඡාවකට යොමු වෙලා තිබුනා. ඇත්තෙන්ම, මම හිතන විදියට ජාතිය කුමක් වුණත් ඕනෑම දරුවෙකුට එය රඟපෑමට අසීරු- දුෂ්කර දර්ශනයක්.

ඇෆ්ඝනිස්තානය තුල පවා එවන් ලිංගිකත්වය පිළිබඳ හැඟවුම් ඇති දර්ශනයක් සිනමා අන්තර්ගතයක් ලෙස ඉතා සංවේදීවත්, මෘදුලෙසත් තමයි ඉදිරිමත් වෙන්නෙ.ඇත්තෙන්ම මෙය රූගත කිරීමට පහසු දර්ශනයක් නොවෙයි. පසුව මුළුමනින්ම ඔවුන් (දරුවන් සහ ඔවුන්ගේ භාරකාරයන්)මෙය වටහාගත්තාද නැද්ද කියන කාරණය පිළිබඳ එකඟතාවන්ට නොපැමිණි අවස්ථා පවා තිබුනා. කොහොම වුණක් එකදු සාකච්ඡාවකටවත් මගේ අදහස් ඉදිරිපත් කරන්නට මට නොහැකි වුණා.

සමහර අයගේ ඉල්ලීම් තිබුණා මේ දර්ශනය ඉවත්කරන්නට යැයි කියා. ඒත් මං හිතන්නේ නෑ ඒක කළ හැකි දෙයක් කියලා. ඒ දර්ශනයෙන් තොර වූ විට ඇත්තෙන්ම සිනමාපටයක් නෑ. එහෙම වුණොත් මුළු කතාන්තරයම බිඳවැටෙනවා. මොකද වැඩිහිටියෙකු වූ පසු ඔහුගේ මනසේ නිතර හොල්මන් කරන මේ අපිරිසිදු පටු මාවත කෙළවර වූ බිහිසුණු, අප්‍රසන්න සිදුවීමෙහි මතකය තමයි නැවත ඇෆ්ඝනිස්තානයට යාමේ අවදානම ඔහු වෙත සමීපකරවන්නේ.

අවසානයෙදී ඔවුන් මහ ඉහළින් කතා බහ කල දර්ශනය නොවෙයි ඇත්තෙන්ම චිත්‍රපටය වුණේ.මොකද චිත්‍රපටයේ මුඛ්‍ය කතා ප්‍රස්තූතය යනු එහි ඇති අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම නොවෙයි. එය ඇත්තෙන්ම පසුගිය වැරදි වලට වන්දි ගෙවීම ගැනයි. එය දැරීම සහ සමාවදීම ගැනයි. පීතෘත්වය සහ සහෝදරත්වය ගැනයි. ඇත්තෙන්ම බොහොමයක් ධනාත්මක දේවල් ගැනයි. ඔබ එහි වූ ක්ෂුද්‍ර දෙවල් නොසොයා සමස්ත සංකීර්ණ ව්‍යූහය දෙස බැලුවොත්, සිනමාපටය සම්පූර්ණයෙන්ම නරඹලා අවසානයේ පසෙකින් හිඳගෙන එහි අන්තර්ගත සමස්ත පණිවුඩය කුමක්දැයි සිතුවොත්, ඔබට හැඟේවි එයා ඉතා ධනාත්මක බව. කෙනෙකුට මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නරඹන්නට ඉඩකඩ ලැබුණොත් නම් මේ පිළිබඳ වූ දුර්මතයන් සහ මෙ ගැන තියෙන මතභේදාත්මක අදහස් බොහොමයක් පහවෙලා යන බව මට විශ්වාසයි.

සිනමා පටය තැනීමට ඔබෙන් ලද සහයෝගය මොන වගේද?

මූලිකවම සංස්කෘතික උපදේශකවරයෙකු ලෙස. තිර රචනය කළේ මම නෙමෙයි. එය කළේ ඩේව් බෙනිඔෆ් (Dave Benioff) විසින්. ඒත් මේ කාර්යාවලිය පුරාවටම ඔහුත් මමත් නිරන්තරයෙන් කතා බහ කළා. ඔහුට ගැටළු ඇති හැම අවස්ථාවකම ඔහු මට ඊ-මේල් පණිවුඩ එවීම කළා. මම කළේ ඒවාට පිළිතුරු සැපයීමයි. මම ඔහුට කියා තිබුනා මේ සඳහා මට හැකි සහයෝගය ලබා දෙන බව. ඒ අනුව ඔහු පිටපත ලියා අවසන් වූ වහාම (අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකයාත් ඇතුළුව) මම ඒක කියෙවුවා. ඒ පිළිබඳ අපෙ අදහස් සටහන් තබා ඩේව් ට ලබා දුන්නා. ඒ අනුව ඔහු ඒවා ඉතා උද්‍යෝගයෙන් හා කැමැත්තෙන් එය බාරගෙන නැවත වතාවක් පිටපත් ලියුවා.



ඡායාරූප දහස් ගනනක් බැලීමෙන් අනතුරුව මෙය රූගත කිරීම සඳහා බටහිර චීනය මා විසින් තෝරා ගැනුණා. ඇත්තෙන්ම එම සේයාරූ තුල තිබුණේ ඇෆ්ඝනිස්ථානයට බොහෙ සෙයින් සමානත්වයක්. ගෘහනිර්මාණ ශිල්පීය වශයෙනුත්, එහි වෙසෙන ජන වර්ගය අනුව සහ සංස්කෘතිකමය වශයෙනුත්.

වෛවාහික චාරිත්‍ර, ඇඳුම් පැලඳුම් සහ භාෂා හැසිරවීමේදි මතුවන ගැටළු සම්බන්ධයෙන් උපදේශකයෙකු ලෙස මම කටයුතු කළා.

මෙහි එන චරිත අතර විවිධ මට්ටම් වල ආගමික භක්තීන් නිරූපනය වෙනවා. නමුත් ඔබ ඓහිකවාදී ඉස්ලාම්භක්තිකයන් පිළිබඳ මෙහිදී ඉස්මතු කරන්නේ සිතාමතාද?

ඔබ මෙහි ඓහිකවාදී ඉස්ලාම් භක්තියකයන් ලෙස දකින්නේ මම මා එසේ හඳුනාගන්නා නිසා. විශේෂයෙන්ම පොතේ එය පැහැදිලි ලෙස නිරූපනය වුවත්, චිත්‍රපටයේ නම් එය නිරූපනය වෙන්නෙ ඉතා අල්ප වශයෙන්. අමීර්ගේ පියා සම්පූර්ණයෙන්ම අදේවවාදි පුද්ගලයෙක්, ඔහු කිසිම ආගමකට හෝ ඇදහිල්ලකට බැඳිලා නැහැ. අමීර් ට තියෙන්නෙ ඒ පිලිබඳ වූ අවිනිශ්චිතභාවයක්. ඔහු භෞතිකවාදියෙක්.

කතාව තුල එක්තරා මොහොතක ඔහු විශ්වාසය කියන තැනට පැමිණෙනවා, අනේකවිධ පීඩාවන්ටත් හිරිහැර ගණනාවකටත් දිගින් දිගටම ගොදුරු වීමෙන් අනතුරුව ඔහු තුල ඒ විශ්වාසය ගොඩනැගෙනවා. ඒ අනුව ඔහු බොහොම මැදහත්ව කටයුතු කරන ඉස්ලාම්භක්තිකයෙකු වෙනවා.

මම පැවතෙන්නෙ ඉතා ලිබරල් ලෞකික ඉස්ලාම් පසුබිමකින්. මගේ දෙමාපියන් දෙදෙනාම මුස්ලිම් බැතිබතුන්. එහෙත් ඔවුන් කවදාවත් ආගම කියනදේ බලහත්කාරයෙන් අප මත පටවන්නට උත්සහ කළේ නෑ.

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ මට තියෙන්න ඉතාමත් පිළිකුල් සහගත හැඟීමක්. එය මා ලියූ නවකතා දෙක තුලම ඔබට අත්විඳින්නට පුළුවන්. (The Kite Runner සහ Thousand Splendid Suns)



අමීර් මුස්ලිම් පල්ලිය වෙත ගොස් ඔහුගේ දෙවියන් හා සන්නිවේදනය පිළිඹිබු කෙරෙන චිත්‍රපටයේ අවසන් භූමිකාවට මා ඉතා කැමතියි. ඉතාම පිරිසිදු සැදැහැවත් ක්‍රියාවක් වෙන්නේ, ඔහු එම චාරිත්‍රය ඉටු කල සන්දර්භය ඉතාම නිවැරදි වූවක් නිසයි.

සැබෑ ඇෆ්ඝනිස්තානු ජීවිතය තුල ආගම කුමන ආකාරයේ භූමිකාවක් නිරූපනය කරන්නේද කියලා පැහැදිලි කළොත්? ඒ වගේම කතාව තුල එය ප්‍රතිබිම්බනය වන්නේ කෙසේදැයි පැහැදිලි කළොත්?

ඇෆ්ඝන් වැසියන් ඉතාමත් ආගමික වූ පිරිසක්.ඉස්ලාම් දහම ඔවුන්ගේ එදිනෙදා ජීවිතය හා දැඩිව වෙලිලා තියෙන්නේ. එය ඇෆ්ඝන් ජීවන රිද්මය සහ ජීවිතයේ විවිධ වූ අදියරයන් හැඩගස්වනවා. කාබූල් නුවර සිට සමස්ත ඇෆ්ඝනිස්තානය පුරාම එය එසේ සිදුවන අයුරු කුඩා කාලයේ සිට මට මතකයි.

චිත්‍රපටය තුල ඒ පිළිබඳ එතරම් අවධානයක් දිය යුතු නැතැයි මං හිතුවා. එහෙත් එය අවිධිමත් ලෙස එම චරිත වටා වූ එදිනෙදා ජීවිතය තුල කොටසක් ලෙස දක්නට ඉඩ සැලසීමක් කළා. එහි අවස්ථා දෙකක් ඔබට දකින්න පුළුවන්, චරිත දෙකක් යාඥාකිරීමෙන් අනතුරුව ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු වල නියලෙන අයුරු දැක්වෙන.

"සරුංගල් ලුහුබඳින්නා" හි මං වඩා කැමතිම දේ වෙන්නේ, මේ චරිත තුල ඇති විශ්වාසය සහ භක්තිය අත්‍යවශ්‍යයෙන්ම ගොඩ නැගෙන්නෙ මේ කතාන්තරය තුල ඔවුන්ට එක් එක් අවස්ථා අනුව මුහුණ දීමට සිදු වූ සිදුවීම් හේතු කොටගෙනයි. නුදුරේදීම හොලිවුඩ් සිනමාව තුල මුස්ලිම්වරුන් චරිත නිරූපනය කරන්නන් ලෙස දකින්නට ලැබේවි, හැබැයි ඒ කතාව තුල වූ මුස්ලිම්වරයෙකුගේ චරිතය හුදෙක් ඔවුන්ගේ ආගමික විශ්වාසය නිසාම නිරූපනය කිරීම සඳහා නොවෙයි, කතාව තුල ඉදිරිපත් වෙන වෙනත් කිසියම් අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට. ඉතිං එවැනි දේ තමයි ඉස්ලාම් විශ්වාසයේ ඇති විය හැකි ප්‍රාසංගික පිළියම් මම හුඟක් අගය කරන, ඒ වගේම තව තවත් සමාජයට දිය යුතු යයි සිතන.

ඇෆ්ඝනිස්තානය තුල ඉස්ලාම් භූමිකාව තලිබාන්වරුන් විසින් වෙනස් කර ඇත්තේ කෙසේද?

ඇත්තෙන්ම එය ඉතා සංකීර්ණ ගැටළුවක්. මම හිතන විදියට ඉස්ලාම් විශ්වාසයන්ට ඔවුන් කර ඇත්තේ අනර්ථයක් බවයි. ඇෆ්ඝනිස්තානය තුල පමණක් නොවෙයි, මුළු ලෝකයේම එහෙමයි. කලින් තිබූ ඉස්ලාම් මුහුණුවර ඔවුන් විසින් මුළුමනින්ම පැහැරගෙන ගොස් තිබෙනවා. එය ඔවුන් තනිව සිදුකල දෙයක් නොවෙයි. අමානුෂික, ප්‍රචණ්ඩකාරී පිරිස් වල සහයෝගයෙන් ඉස්ලාම් විශ්වාසයන් යනු ශුන්‍යය වූ දෙයක් යැයි පෙන්වා තිබෙනවා.

මම දන්නා බොහෝ මුස්ලිම්වරු සිටිනවා, ඔවුන් කිසිවෙක් මෙබඳු අය නොවෙයි. එවැනි කල්ලි පිළිකුල් කිරීම සහ නොතකා හැරීම හැර ඔවුන්ට කළහැකි කිසිවක් නෑ. ඇෆ්ඝනිස්තානය තුල දිගින් දිගටම මැතිවරණ කිහිපයක් පැවතුනා. ඇෆ්ඝනිස්තානු වැසියන්ගෙන් බහුතරයක් තලිබාන් පාලනයෙන් තොරව ජීවත්වන්නට කැමතියි. මැදහත්ව කටයුතු කරන ඉස්ලාම් භක්තිකයන් මේ වෙනුවෙන් හඬක් නැගිය යුතුයි. මීට වඩා පොදු මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් ජනතා අවධානය ලබා ගත යුතුයි. හරියටම බින්-ලාඩෙන් සහ තලිබාන්වරු මාධ්‍ය අවධානය ස්වකීය ග්‍රහණයට නතු කරගනිමින් ඒ වෙනුවෙන් හඬක් නගමින් සිටින ආකාරය වගේ. ඉස්ලාම් දහම තුල මැදහත්ව කටයුතු කරන අය සමතුලිතව මෙය පවත්වා ගනිමින් මීට වඩා හඬක් නගමින් පොදු ජන අවධානය දිනාගැනීම ඉතා වැදගත්.

ආගමික නිදහස මුළුමනින්ම භුක්ති විඳින ඇෆ්ඝනිස්ථාන් සමාජයක් පිලිබඳ ඔබට බලාපොරොත්තුවක් තිබේද?

හැමවිටම ඔබට බලාපොරොත්තුවක් තිබීම අවශ්‍ය වෙනවා. "අපිට බලාපොරොත්තුවක් නෑ, බලාපොරොත්තු විරහිතයි, අපි මේක අත්හරිමු" යයි කීවොත් එය කිසිම අයුරක විකල්පයක් නොවෙයි. ඇෆ්ඝනිස්ථානය හැමවිටම ආගමික රටක් වේවි. එය හැමවිටම බොහෝම සාම්ප්‍රදායික එකක් වේවි. එහෙත් එවැනි සාම්ප්‍රදායික ආගමික සන්දර්භයක් ඇති රටක් තුල, ඔවුන්ගේ ආගමික ඇදහිලි හා විශ්වාසයන් නිසා හිංසාවට ලක් නොකරන, නියෝජනාත්මක දේශපාලනය තුල අපට සර්ව සාධාරණ ප්‍රමාණයක නිදහසක් හමුවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.



බටහිර පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදයක් යනු ඇෆ්ඝනිස්තානය තුල සිහිනයක් පමණයි. එය කිසිම මොහොතක යතාර්ථයක් ලෙස මට පෙනෙන්නේ නැහැ. එහෙත් මං හිතනවා කිසියම් ආකාරයක නියෝජනාත්මක දේශපාලනය ක්‍රියායාවලියක් වුවත් විටෙක එය එතරම් ඇදහිය නොහැක්කක්. ඒ වගේම නැවත වරක් එහි බොහෝමයක් රඳාපවතින්නේ බටහිර රටවල්වල විශේශයෙන්ම ඇමරිකාවේ කැමැත්ත සහ අඛණ්ඩ කැපවීම කියන දේ මතයි.

ඔබේ මේ සියළු සාර්ථකත්වයන් සහ ජනප්‍රියභාවයත් සමග ඔබ මේ මහ පොළොවේ පයගහල ඉන්නෙ කොහොමද?

ඒක බොහොම පහසු දෙයක්. මට දැන් වයස අවුරුදු 42 ක්. මේ වසර 42 කට මම මට ඕනෑතරම් ජීවත් වෙලා තියෙනවා, ඒ නිසා මම දන්නවා මගේ ජීවිතය තුල වඩා වැදගත්ම දේවල් මොනවද කියලා. මට බිරිඳක් ඉන්නවා. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. මට බොහොම ශක්තිමත් පවුලක් තියෙනවා, ඉතින් ඒක තමයි ඇත්තටම මගේ ජීවිතය. මම කිසිම වෙලාවක මගේ අරමුණු නාභිගත වන ලක්ෂය වෙනස් කරන්නේ නෑ. ඒක තමයි මගේ යථාර්තය.
පරිවර්තනය - නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails