
සේද මිහිදුමෙන් ඇස පිස
හීල් හිරි පොදට ඇහැරුණ
ශෝභමාන රූමස්සල
සිනාසෙයි සකී
නීල කඳුකරේ සුළඟක
වූ රහස් අසා ඇහැරුණ
ප්‍රේමනීය හන්තානත්
සිනාසෙයි සකී
සිවු දිගින් නගා ජයගොස
සිය දහස් සියොත් පිරිවර
නිල් ගුවන අරා පියඹනු
බලාපන් සකී
රන් රිදී සොයා නොව
ලා බාල ළපැටියන් තටු මත
ශෝභමාන රූ තවරන සිහිනයකි සකී
රාව දෙන සියොත් ජයගොස අසාපන් සකී
උගුල් දැල් අරන් සැඟවුන
සිංහ වෙස් දැරූ සිවලුණි
කොලොං තොට තොපේ බිම් මත
සිංහයන් නැතී
හී ලෙසින් විදින ජලයට
කඳුළු ඇහැරෙනා දුමකට
දේශයක පැතුම් පලවා හරින්නට බැරී
එකට ගෙන තුඩින් කොටු දැල
පියාඹන නැකත ආ දින
නිවටයිනි තොපේ අවි වල
ගිනි සැරය මදී.
චිරන්ත ජයසේන



