
නිමිත්ත: ‘කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ දොරටුව අසල තිබූ විසල් වැටකෙයියා පඳුර කපා විනාශ කොට කැබලි වලට වෙන්කර දමා ඇත’
සුසුම් එකින් එක වැටෙනා ලෙස ළංව
පැතුම් පොදි බැදන් ජීවිතයම සෙව්ව
සුපෙම්වතුන් ඇවිදින් දවසම ගෙව්ව
සිහිල් සෙවණ වෙත කව්දෝ වින කෙරුව ?
ගිනි දිය වැටී දහවල මුළු ගත දැවුණී
නිල් දිය වගේ හොඳ හැටි සෙනෙහස බෙදුණී
මිහි ලිය හඬා වැටුණේ දුක වැඩි බැවිණී
මේ ළය නුහුලනා කඳුළක් ඉතිරි වුණී
සුනිල් අහස වෙත දෑතම ඔසවාන
මෙතින් බලා සිටි ‘වැටකෙයි’ මිතුරාණ
දෙඅත් සිඳ දමා ඔය හද රිදවාන
දුකක් ගෙනාවත් නිහඬව සිටියාන
දුකක් නැගෙන විට පෙම්වත් යුවලකට
නුඹේ සිහිල් උණුහුම උන් හට පිහිට
කැදලි තනන්නට නෙක නෙක සියොතුනට
ගතම පා සිනාසිණි විනයක් නොකොට
නොයෙක් තුරු කඳන් හැම තැනකම නැගුණී
දෙවරක් නොසිතාම ඒ ඒ හැම සිඳුණී
බරක් නොවී පොළවට නුඹ ඉතිරි වුණී
නුඹෙත් ගෙල කපා උන් හැම සිනාසුණී
සියක් මෙහෙවරක් කර පුදලා පේම
සතෙක්ටවත් කිසි කඳුළක් නොතියාම
සිහිල් සෙනෙහසක් දුන්නට හැමදාම
හිලව් බේරුවේ මරණින් දෝ මේම ?
සඳත් රෑට තනියම වැළපෙනව ඇතී
සියොත් රෑන ගොළු වී කව් කියන්නැතී
තවත් දරු රෑන මව් හට අහිමි වෙතී
හෙටත් රෑට නිල් බිජු තව පොහොණි වෙතී
පණ නළ සැඟව ඇත්දැයි මහ පොළව මත
කැන කැන බලයි රිදවා මිහි මව්ගෙ හිත
මොන දුක් ගෙනාවත් සිදු කර සෑම සැත
නෙක තුරු නැගේ පීදෙන නව ලොවක් මත
ළහිරු කිතලගම



