Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"අර මිහිරි සීනු නාදය" මේ වන විටත් ලංකාවේ සාහිත්‍යය කෘති කියවන පාඨක දැලෙහි සුවඳ දුමක්ව පැටලී තිබේ. මේ ලියනගේ අමරකීර්තිගේ හයවන කෙටිකතා සංග්‍රහයයි. තවමත් සුවඳට දුම් දමන මේ කෘතිය ගැන ලංකාවේ සක්‍රිය විචාර මාදිලිය වන පුවත්පත් සාකච්ඡාව ආරම්භ වී තිබේ. මේ විචාරවලින් පොත ගැනටත් වඩා කතුවරයා ගැන සෑහෙන දුරට කතා කර ඇති නිසා විචාරකයෙක් නොවන මාතින් ලියවෙන, සාහිත්‍යය විචාරයක් ද යැයි කිව නොහැකි මේ රචනාව සමග "අර මිහිරි සීනු නාදය" ඇසෙන තෙක් මානයේ නතරවෙන්නට තීරණය කරමි. එවිට මේ කෙටි ලිපිය යනු මා "අර මිහිරි සීනු නාදය" කියවූ ආකාරය ගැන අතරින් පතර කරන අසම්පූර්ණ හේතු දැක්වීමකි.

පොතේ නමත් මතකයේ කොටන, දැනටමත් මේ සටහනේ පුනරුක්ත දෝෂයට හසු උන "අර මිහිරි සීනු නාදය" හිසින් එන පළමු කෙටිකතාව, 'මේ පොතේ සිත් ගත්ම කතාව' කුමක්දැයි යම්කිසිවෙකු ඇසුවොත් මා අමාරුවෙන් දෙන උත්තරය විය හැක. 'රංජනී' - 'සංජනා' නමැති පුරුක් දෙක එහි නම් වල ඇති රූපමය හා ශබ්දමය වෙනසත් අන්තර්දෘෂ්ටියේ තබා ගනිමින් 'මව්- දූ' පරම්පරා දෙක යා කරමින් ගෙතී ඇති මේ කතාව සුන්දර කතාන්දරමය ගුණයෙන්ද යුතු එකකි. එහෙත් මෙම ලිපියේදී මම එය මගහැර යමි.

නොනිදන අවදිය

නාඳුනන ශිෂ්‍යයකු විසින් තම නිර්මාණය පිළිබඳ අදහස් දැනගන්නා අටියෙන් මේ රචකයාට එවූ කෙටිකතාවක් ලෙස එනම් කෙටිකතා පොත අස්සේ වෙනත් රචකයෙකුගේ නිර්මාණයක් ලෙස ව්‍යුහගත කරන ලද්දකි මේ කතාව. විදර්ශන ප්‍රේමසිරි නමැති විශ්වවිද්‍යයාල ශිෂ්‍යයා තම සරසවි ජීවිතයේ ඇති ඒකාකාරී- දිනචරියාමය යථාර්ථයෙන් හෙම්බත්ව තමා අයත්වන ව්‍යුහයේ ගතානුගතිකත්වය කුඩුපට්ටම් කර දමන්නට ආචාර්යවරුන්ගේ කාලසටහන් කඩන්නට නිදිමරන ගමන් (නින්ද නොයාම ඔහුට හුරුවීම තුළ රෑට නින්ද යෑම සම්මතය කොටගත්තවුන් අන්‍යයා බවට හැරීම සමග වර්ධනය වූ විකල්ප කල්පනාවක්ද විය හැකිය.) තමාගේ ක්‍රියාවන් අව්‍යාජව සටහන් කර තැබීමක් හැටියට මේ කතාවේ අන්තර්ගතමය මතුපිට පිළිබඳ අපට රේඛීය විග්‍රයකට එන්නට පුලුවන. මේ කතාවේ කේන්ද්‍රීයයා- විදර්ශන ඉතාම සාමාන්‍යය නූතන විශ්වවිද්‍යයාල 'විද්‍යාර්ථීයෙකු' නොවේ. ඔහු ලෙක්චර්ස් නොයා දවල්ට නිදාගෙන රෑට සිකියුරිටි වැඩට යයි. ඉගෙනගන්නා ගමන් සල්ලි හොයන්නටත් වෙහෙසිය යුතු රටක ඉපදීම නිසා ඔහුට තමාගේ විෂය සටහන් ඉල්ලා ගන්නට සිදුවන්නේ තමාගේ බැචියෙකුගෙන් හෝ සින්නියකගෙනි. ඒ, ලෙචාලාගේ සටහන් ලියන්නට ඕනෑම පංතියක රුසියෝ වන්නේ කෙල්ලන් වීමේ උප- සංස්කෘතිමය යථාර්ථය ඔහු හොඳින් දන්නා නිසාය. සාමාන්‍යයෙන් අපේ සරසවි පංතිවල තථ්‍ය යථාර්ථයද එයයි. කතාවේ එන මේ 'සටහන්' හුදු විෂයයාත්මක සටහන් ගැන කියන්නක් නොවේ. එය අප සමාජ ව්‍යුහයේ 'සම්ප්‍රදාගරුක' ඒකාකාරී සංගීතය දෙස බලාගෙන ඇඳි සංකේත ස්වර පද්ධතියකි.

"මාලිකා නෝට්ස් ලියන්නෙ සී. ආර් පොත්වල. ලංකාවේ ආණ්ඩු ප්‍රතිසංස්කරණවල පිටු බාගයක් යනකොට මාලිකා ලියනවා මෙහෙම:

"ජේආර්ට බණිනවා." ඊට පස්සෙ විජේරත්නට අමතක වෙලා කිය කිය හිටපු දේවල්. මාලිකා ලියනවා මෙහෙම: "පැටලුණා" මුන්ට කියවන විට ලියන්ඩ දෙන්ඩත් බෑ. ජේ. ආර්ට බණින එක විද්‍යාත්මක ඉගැන්වීමක්ද? මේ හින්ද තමයි මට සිද්ද උනේ එරන්දි අක්කාගෙන් සටහන් පොත ඉල්ල ගන්න. එරන්දි අක්කා ගිය අවුරුද්දෙ මේ කෝස් එක කරල තිබුණ. එයත් සටහන් ලියන්නෙ සී. ආර් පොත්වල. එයත් කථීකාචාර්ය වචන රත්තරන් කියල හිතාගෙන මුතු අකුරින් ගබඩා කරලා තියාගන්නවා. එයාගෙ පොතෙත් මේ දේශනේ පිටු දෙකක් යනකොට එයා මෙහෙම ලියනවා: "ජේ. ආර්ට බණිනවා." ඊට පස්සෙ විජේරත්නට අමතක වෙනවා කිය කිය හිටපු දේ. මුංට වරදින්නෙත් කාල සටහනකට. මං මාලිකාගෙ පොතයි එරන්දි අක්කගෙ පොතයි දෙකම සංසන්දනය කරලා බැලුවා. සටහන් පොත් දෙකේම දළ වශයෙන් පිටු දෙකක් යනකොට විහිලුවක් එනවා. එකම විහිලුව. ජේ. ආර්, ඇමරිකන් ජනාධිපති හා සෝවියට් ජනාධිපති එකම ගුවන් ගමනක් යාම ගැන ප්‍රසිද්ධ පරණ විහිලුව. විනාඩි අටක් දහයක් ඕක කියනවා..."
(49, අර මිහිරි සීනු නාදය )

මේ ශිෂ්‍යයා ඉන්නෙ විශ්වවිද්‍යයාලයේ වර්තමාන කම්මැලිකමේ - එකම නැවත නැවත සිදුවීමේ/නිෂ්පාදනයේ දෛනිකත්වයෙන් හෙම්බත්ව, එම යථාර්ථය සුනු විසුනු කරන්නට සැළසුම් හදමින්. ඒ අතර ඔහු විශ්වවිද්‍යාලය නමැති ව්‍යුහයේ ධූරාවලීන් ගැනත් එම ව්‍යුහයේ තමන් ස්ථානගතවන තැනත්, තමන්ගේ ශිෂ්‍යය භූමිකාව වැඩකරන ආකාරයත් ගැන සෑහෙන සවිඥානික කෙනෙක්. මේ ඒකාකාරීත්වයේ පවතින විහිලුකාරී බව ඔහු දකින්නෙ ව්‍යුහයේම ප්‍රශ්නයක් හැටියට. ඒ නිසාම ඔහුට පුලුවන් විචාරශීලි දුරස්ථභාවයකින් තමාද අයත්වන මේ ව්‍යුහය දෙස බලන්නට.

"අයිවර් ජෙනිංස්ලා මුන්ට ක්වාර්ටස් හදල දීල අපිට හොස්ටල් හදල දෙන්න ඇත්තෙ ආචාර්යවරුයි ශිෂ්‍යයොයි හරි හරි ශාස්ත්‍රීය සංවාද කරයි කියල වෙන්ඩැති. ඒකට අපි. උන් ක්වාටර්ස්වල බුදි. අපි හොස්ටල්වල බුදි. උනුත් කරන්නෙ බොරු අපිත් කරන්නෙ බොරු. උන් කරන බොරු දන්නෑ වගෙ ඉඳලා අපි කරන්නෙත් බොරු. අපි ඔක්කොම හොරු." (58 පිට, අර මිහිරි සීනු නාදය)

සිකියුරිටිකාරකමෙන් ලබාගත් උරුමයක් වූ "රෑට ඇහැරගෙන සිටීමේ සූරකම"ත් ඔහු සතුව තිබෙන නිසාත් කොහේ හරි වැටී ඇති යතුරු එකතුකර ගැනීමේ පුරුද්දට ණයවී කරදරයක් නැතිව අනුන්ගේ ගේ දොරවල් ඇරගැනීමේ හැකියාව ලැබෙන නිසාත් මේ පුරුදු- ඇබ්බැහිකාරයින්ගේ කාලසටහන් කැඩීමේ කාලසටහන හදාගන්නට විදර්ශනට ඒ තරම් අමාරු නොවේ. ඔහු පීඨාධිපතිගේ සිට විවිධ ආචාර්යවරුන්ට ජෙනිංස් උරුමයෙන් ලාබෙට ලැබුණු ක්වාටස් වල පල් වෙන්නට ඇරපු එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට හරවයි. මැද රෑ මේ ගෙවල් වලට රිංගන ඔහු කුස්සියේ සිට නිදන කාමරය දක්වා පිළිවෙල සම්පූර්ණයෙන්ම පිටපොට ගසයි. විදුලිය ටිප් ස්විචයෙන් ම විසංධිකර දමයි. ජංගම දුරකථනයේ සිට බිත්ති ඔරලෝසුව දක්වා වෙලාවද වෙනස් කරයි. මේ "වෙනසක්" ගැන නොදන්නා ආචාර්යවරු තමන්ගේ දිනචරියාමය පුරුදු නිසාම ඇතිකරගන්නා අකරතැබ්බ ඉදිරියේ වෙනසේ මිහිර විනිවිඳියි. කතාවේ පාඨක අවධානය කේන්ද්‍ර ගත කොට ඇත්තේ විදර්ශන විසින් මධ්‍යයම රාත්‍රියේ ආචාර්යවරුන්ගේ නිවෙස්වලට හොරෙන් ඇතුල්වී නිවසේ සම්මත පිළිවෙල සම්පූර්ණයෙන්ම නොපිට ගසන අවස්ථාව මේ යැයි මම සිතමි.

අදහස් දැනගැනීමට තමන්ට එවූ කෙටිකතාව අපට කියා අවසන් කරන මේ කෙටිකතාවේ තථ්‍ය කථකයා ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන සරසවි ආචාර්යවරයා අතින් අවසන් වන හැටියට අමරකීර්ති අප කියවන "නොනිදන අවදිය" කෙටිකතාවේ අවසාන හරියේදී මෙසේ කියයි.

"එදින මා සුපුරුදු පරිදි උදේ පහට අවදිව දිනපතා කරන පැය දෙකක ලිවීම සඳහා උඩුමහලට යන්නට ගියෙමි. වැසි දවසක් නිසා දෝ විදුලි බලය ඇණහිට තිබිණ. මා සාලයට එන විට කවදාවත් නොවූ ලෙස මගේ දකුණු කකුලේ දණහිසින් පහළ ඇට කටුව ස්ටූලයක දාරයේ හැපිණ. එය කෙතරම් වේදනාත්මක වීද යත් විසි වී ගිය මගේ හිස වැදුණේ වෙනදා එතන නැති උස් පිත්තල පහනේ තුඩකය. මගේ උපැස් යුවළද විසි වී ගියේය. නළලෙන් ගලන ලේ පහර මුහුණ මත වැටෙන විටම අපේ ශිෂ්‍යය කෙටිකතාකරු විදර්ශන ප්‍රේමසිරි ගැන කෘතවේදී හැඟීමක් මා තුළ ඇති විය." (67 පිට, අර මිහිරි සීනු නාදය)

මේ කෙටිකතාවේ තේමාත්මක ඉලක්කය වෙත දැන් අපට කෙලින්ම එළඹෙන්නට පුලුවන. මේ කතාවෙන් පොහොර දමන්නේ ඉස්සර වගේ දැන් විශ්වවිද්‍යයාලෙ කෙල්ලො කොල්ලොවත් අචාර්යවරුවත් ශාස්ත්‍රීය වැඩ කරන්නේ නැති බව කියාපාන දෘෂ්ටිවාදයකට නොවේ. විශ්වවිද්‍යයාලය තුළ තම පරිසරය ගැන විවෘත සංවාදයකට සෘජු අර්ථයෙන්ම මැදිහත්කර ගත හැකි මේ කෙටිකතාව පවුල, ලංකාවේ රාජ්‍යය ආයතනික ව්‍යුහ ඇතුලු එක් එක් ව්‍යුහයන් දෙසද, සමස්ත සමාජ පැවැත්මේ සම්මුතිගත ආකෘතීන්වල මුලාව දෙසද විවේචනාත්මකව බැලීමේ ආවේශය සපයන, එම ව්‍යුහ නැවත කියවන්නට ආරාධනා කරන රූපකාර්ථවත් කෙටිකතාවක් ලෙස වටහා ගත යුතු ප්‍රබන්ධයකි. සාහිත්‍යය කෘතියක් ලෙස සම්මත යථාර්ථවාදී ප්‍රතිනිර්මාණයේ ඉම් පෙදෙස් ඉක්මවා යන මෙවැනි කෙටිකතා කියවිමේ බොහෝ ආකාර තිබේ. මේ කෘතියේ සාහිත්‍යයික කලාත්මකත්වය හා බහු අර්ථ වටහාගැනීමටත් කලා කෘතියක් හැටියට හැකි උපරිමයෙන් එයට සාධාරණය ඉටුකරන්නටත් බොහෝ න්‍යායික එළඹුම් පාවිච්චි කළ හැකිව තිබියදී මා කැමති ම මෙවැනි කතා සමාජීය අරමුණකිනුත්- සමාජමය අර්ථයෙනුත් කියවන්නට ය. ඒ ඔස්සේ කෘතිය සාමාන්‍යය පාඨකයා වෙත ගෙනයාම සෑහෙන ප්‍රයෝජනවත් විය හැකිය.

ඇමෙරිකානු නව විචාරකයින් සහ පශ්චාත් ව්‍යුහවාදීන් ඉදිරියේ වැරදිකරුවෙකු වෙමින් කතුවරයායේ අභිප්‍රායන් ගැනත් මඳකට සිතමින් රෝලන්ඩ් බාත් මරා දැමූ කතුවරයා ටිකක් වෙනස් විදිහට මුත් මෙහි යළි කැඳවීම මේ කෘතිය කියවීමේම උපකාරකයක් හැටියට පාවිච්චි කරන්නට පුලුවන. අමරකීර්ති 'මේ කතා' ගැන තමන්ගේ කුඩා සටහන මෙසේ අරඹයි. "අප දැන් ජීවත් වන මොහොතද අප ඒ මොහොත ගත කරන හැටිද පිළිබඳ භාවනාව පිණිස යොදා ගන්නා පඨිතමය ව්‍යුහයක් ලෙස කෙටිකතාව භාවිත කළ හැකිද යන්න පිළිබඳව මගේ අලුත්ම කෙටිකතා එකතුව කැප කරමි." (පෙරවදන- අර මිහිරි සීනු නාදය) සමස්ත කෘතිය ගැන කතුවර අභිප්‍රාය නොසළකා මේ කෘතියේ එන කතා ටික කියෙව්වත් ගතානුගතිකව නොසිතන - හෘද සාක්ෂියට ටිකක් හෝ කන්දෙන්නට කැමති බුද්ධිමත් පාඨකයාට අප ගතකරමින් ඉන්නා මේ මොහොත ගැන භාවනාවේ යෙදෙන්නට මේ කතා මගින් සැපයෙන හෙළිදරව්කිරීම්, අන්තර්දෘෂ්ටි, රූපකාර්ථ කරන ඉඟි කිරීම් හා ආවේශයන් බොහෝය. මේ කෘතියේ එන හැම කතාවක්ම වර්තමාන ලංකාවේ එදිනෙදා යථාර්ථය තුළ හමුවෙන බොහෝ සමාජ විචාර කතිකාවත් හා සම්බන්ධය.

නැවතත් අපි නොනිදන අවදියකට පිවිසුණොත් ඒ කෙටිකතාවෙන් අසන්නටත් ඒ ගැන කල්පනා කරන්නටත් ඇති ප්‍රශ්න බොහෝය. විශ්වවිද්‍යයාල ආචාර්යවරයෙක්ද වන කතුවරයා මේ කතාව විදර්ශන නමැති කෙටිකතාවේ ප්‍රබන්ධ කථකයා නාඳුනන එහෙත් සැබෑ ලෝකයේ (ප්‍රබන්ධ යථාර්තයත් මේ කතාවේ තථ්‍ය යථාර්තය හා ප්‍රබන්ධ යථාර්තය ලෙස නැවත කලවම් වෙයි.) අඳුනන්නටත් ඉඩ ඇති ශිෂ්‍යයෙකු තමාගේ කතා නායකයා කර ගන්නේ ඇයි? විදර්ශන සිකියුරිටි වැඩ කරන්නේ දුප්පත්කමට ද? ලෙක්චර්ස් නොයා දවල්ට නිදියන මෙවැනි අය විභාග සමත් වන්නේ කෙසේද? විදර්ශනට ගුරුවරුන්ගේ දිනචර්යාවන්ට කෙණෙහෙලිකම් කරන්නට සිතෙන්නේ ඇයි? ඇයි කෙල්ලො සටහන් රුසියො වෙන්නෙ? විදර්ශන තමාගේ කෙරුවාවල් කෙටිකතාවක බහා මේ රචකයාට ම යවන්නේ ඇයි? කෙටිකතාවේ නම ‘නොනිදන අවදිය‘ යනුවෙන් තබන්නේ ඇයි? විදර්ශන රෑ තිස්සේ කරන මේ ක්‍රියාවන්ගෙහි රූපකාත්මක යටි පෙළ කුමක්ද? මෙවැනි සරළ ප්‍රබන්ධමය ප්‍රශ්න කෘතියෙන් අසන ගමන් සමාජ කතිකාව පිළිබඳ සංකීර්ණවත් ප්‍රති- සංස්කෘතිකවත් හිතන්නට එම ප්‍රශ්න හා ප්‍රබන්ධමය පිළිතුරු මගින් සෑහෙන ආලෝකයක් ලැබේ. තමාද උගන්වන විශ්වවිද්‍යයාල ව්‍යුහයේ නූතනම මොහොත ගැන විචාරාත්මකව කල්පනා කිරීම මගින්ම එක්තරා ආකාරයකින් කතුවරයා ආදර්ශයක් සපයයි. මෙය කතුවර වර්ණනාවෙන් ලිහිල්ව වටහා ගත්තොත් දැන් ලංකාවේ සෑම පුරවැසියෙකුටම තමන් සමාජයේ ව්‍යුහගතවී ඇත්තේ කුමන ස්ථානයක වුවත් ඒ ගැන විවේචනාත්මකව මඳක් ඈත සිට කල්පනා කරන්නට කරන ඉඟිකිරීමක් ලෙස වටහා ගැනීමෙහි වරදක් නොවේ. විශ්වවිද්‍යයාල සංදර්භයක ස්ථානගත කරන ප්‍රබන්ධය මගින් ගොඩනගන රූපකය සමාජයේ නොයෙක් ව්‍යුහ සමග නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වෙයි. එමගින් පාඨකයාද තමා මුල් බැස ඇති ව්‍යුහය පිළිබඳව සියුම්ව සිතන්නට තමාගේ ඉන්ද්‍රියන් මගින් සෘජුව සංජානනය නොකරන දේ පිළිබඳව පාඨක පරිකල්පනය අවුළුවයි. සාහිත්‍යය කෘති ඥානන මාර්ගයක් ලෙස වැඩ කරන එක විදිහකි එය. කලාව මගින් සුවිශේෂී ලෙස සපයන ඉන්ද්‍රීය සංජානනය මේ භෞතික- පාරභෞතික ලෝකය පිළිබඳව නැවත සිතන්නටත්, වෙනස් යථාර්ථයන් ඇති බව පරිකල්පනය කරන්නටත් මනසට දක්වන පොහොසත් දායකත්වයයි. පොත කියවා හමාර වී විදර්ශනලා ඇත්තටම ඉන්නවද කියල හොයන්නත්, කෘතියේ එන බොහෝ චරිත හා සමාන ලක්ෂණ සහිත සැබෑ ලෝකයේ හමුවන පුද්ගලයන් කවුදැයි සොයමින් කාටද මේ මඩගහල තියෙන්නේ වැනි අපබ්‍රංශ ගැන සිතමින් කියවීම පටු කර ගන්නවාට වඩා මේ කෙටිකතා කියවිය යුත්තේ සමාජ ව්‍යුහය පිළිබඳව සාකල්‍යයෙන් වටහා ගන්නට උත්සාහ ගනිමිනි.


සිහල- බොදු රමණය දෙස යතුරු සිදුරෙන් එබී බැලීම

මෙම ලිපියේදී කෙසේවත් මගහැරයා නොහැකි තව කතාවකි "යතුරු සිදුර". මා හිතන හැටියට මේ කතාව ලංකාවේ සෑම පුරවැසියෙකුම කියවිය යුතු එකකි. ඒ එය හුදු සාහිත්‍යය ලියවිල්ලකින් සෑහෙන ඈත් කොට මේ මොහොත තුළ කතිකාමය තලයේ සක්‍රියව රඳවා ගත යුත්තකි. මෙය කතාන්දරයක් නොවේ. පෙරදිග මුතු ඇටයේ මේ දැනුත් ඇත්ත මුතු වගෙ පෙන්නන නිකම්ම නිකං ගොළු බෙලි කටු ගැන උත්ප්‍රාසාත්මකව ලියූ ලියවිල්ලකි. අද වන විට ලංකාවේ තම තත්වය මහන්තත්වයන් දක්වා විහිදුවාගැනීමේ ලාභදායීම සහ නොවරදින මාර්ගය වන්නේ පිරිසිදු සිංහලකම බෞද්ධ තින්තෙන් පින්තාරු කර ගැනීමයි. මේ කාර්යය විශිෂ්ට ලෙසම ක්‍රියාවට නගන්නෝ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයකරුවෝ ය. දම්සක් ලක්විජය සූරිය ප්‍රියන්ත එවැන්නෙකි. බොරු නමක් සේ පෙනුනත් තමන්ගේ නම් වලටත් වඩා සැබෑ නමක් සේ කතාව තුළත් පිළිගැනීමට ලක්වෙන මේ නම ම අර කී සිංහල බෞද්ධකම ගැන කදිම හැඟවුමකි. මේ අති සාර්ථක නිවේදකයා මුළු රටේම හෘද ස්පන්දනය අත්තට ගත් බව කතුවරයාම මුල් ඡේද වලදී ම කියයි. එහි අර්ථය හරියටම ඒත්තු යන්නේ කතාව ඉවර වෙන්නට කිට්ටුවීගෙන එන විටය. ලංකාවේ ස්ත්‍රීන්ට සිදුවන ලිංගික අතවරයන් නිර්භයව ‍යතුරු සිදුරෙන් පෙන්වන මේ ගවේෂණාත්මක තරුණ මාධ්‍යයවේදියා වසර ගණනක් තිස්සේ ජනප්‍රියතම ටෙලි ජනමාධ්‍යයවේදියාගේ සම්මානයට අඛණ්ඩව හිමිකම් කියයි.

තමා උගත් පාසල ජාතික තලයට රැගෙන ගිය, දහම් පාසැල් විභාග ද විශිෂ්ට ලෙස සමත් වූ පුදුමාකාර පුණ්‍යවන්ත හදවතක් තිබූ අවුරුදු දහතුනක හිරිමල් දැරියක් දූෂණය කොට මරා දමා තිබුණේ හිටපු රණවිරුවෙකු විසිනි. මෙවැනි දැරියක දූෂණය වූ විට 'යතුරු සිදුර' බලන්නට අතුරු සිදුරු නැතිව කවුරුත් එකතු වේ. ලංකාවේ නිර්මල සිංහල බෞද්ධ අපි බෙහෙවින් කම්පා වෙන සිතැත්තෝ වෙමු. මේ රණවිරුවාට ඇය හමුවන්නේ යුද්ධය හමාර කොට ගමට ආ පසු පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ නායකත්වයෙන් සංවිධානය කළ රණවිරු උපහාර උළෙලේදීය. හාමුදුරුවන්ම ලියූ ජාතික වීර පුත්‍ර ගීතය ගායනා කරන කණ්ඩායමේ නායිකාවද ඇයයි. නිල් පාට අව් කණ්ණාඩි වලින් ඇගේ ලස්සන නිල් ඇස් දකින ඔහුගේ හිත එදා සිටම ඈ පසුපස දුවන්නට පටන් ගනී. ආරූඪ නමකින් කලු පටියකින් ඇස් වසා මිනීමරු රණවිරු තිරය මත තම කටහඬින් සිදුවීම ගැන විස්තර කරයි.

"ඒ ඇස් දැක්කදාම මාව පත්තු උනා. තව අවුරුදු විස්සක් වත් පහුවෙලා මං ඉපදුනා නං කියල මට හිතුනා..... මං දවසක් රබර් වත්තෙ අඩිපාරෙදි එයාව හම්බ වෙලා දණගහල කිව්වා එකපාරක් ආදරේ කියන්න කියලා. රට වෙනුවෙන් මැරෙන්න ගිය මට ඔයා වෙනුවෙන් මැරෙන එක මොකක්ද. මාමා යන දිහාක ගිහිං මැරෙන්ඩ මට වෙන වැඩ තියෙනවා. කියල එයා කිව්වෙ පුදුම උඩඟු විදිහට. මං එවෙලේ හිතා ගත්තා මං මැරෙන්නෙ ඒ ඇස් වල ලස්සන අන්තිමට බලපු පිරිමියා විදිහට කියල. මං පව් කරලා ඇති. පව් වලට බය වෙලා වීරයෝ වෙන්ඩ බෑ..." (37 පිට- අර මිහිරි සීනු නාදය)

'ශ්‍රී' නොමැති ලංකාව තුළ අප ගතකරමින් ඉන්න මේ නිමේශයේ ඔඩු දුවා ඇති බරපතල ප්‍රශ්න රාශියකි. ඒවා පුවත්පත් පිටු/වෙබ් පිටු පුරා නැවත නැවත පුනරුච්චාරණය වෙයි. ආර්ථික- සමාජීය- දේශපාලනික මේ ප්‍රශ්න සියල්ලටම ආණ්ඩුව පිළිතුරු සපන්නට වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මේ කතාව මගින් ඉතාම සංකීර්ණව පෙන්වන ඒකමානී සිංහල ජාතිකවාදයි. ‍රටේ සියලු ප්‍රශ්න සඟවා තබන්නට රාජ්‍යය හිතවත්කම් දිනෙන් දින වර්ධනය කරන්නේ මේ අන්තගාමී සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයටයි. එහි ඇති සංකීර්ණකම ලෙහෙසියෙන් විස්තර කළ නොහැකි කාරණයකි. දකුණේ සිංහලයන්ට එය පාරභෞතික දෙයක් ලෙස සිතන්නටවත් නොහැකි තරම් ස්වභාවික- ආත්මීය දවටනයක් කොට ඇත. ඒ සංකීර්ණකම අල්ලා ගත් මා කියවා ඇති සාර්ථකම ප්‍රබන්ධය මෙයයි. මෙම ප්‍රබන්ධයේ සාරාංශ කරන්නට කතාවක් නැත. මෙම රචනයේ සංකීර්ණකම ඇත්තේ එහි භාෂාව තුළමය. එබැවින් මෙය ප්‍රබන්ධ කතාව මෙන්ම විචාරය යන දෙකම එකක් වූ සාහිත්‍යයමය පඨිතයකි. මෙම කතාව නැවත කියවන ලෙස ඉතාම සාමාන්‍යය රසිකයෙකු හැටියට මම පාඨක ඔබෙන් ඉල්ලමි.

මෙවැනි ලිපියක සාරංශ කිරීම හා නැවත කියවීමේ ඇති සීමාකම නිසා මගහැර ගියත් මේ කෘතියේ එන 'අලුත් ලෙච්චමී', 'සුවඳ දුම් දැල', 'රතුවන් රත්නවල්ලි' යන කතා සියල්ලම සමාජ විචාරය හා දේශපාලනික අර්ථයෙන් නොනිදන අවදියකටවත් යතුරු සිදුරකටවත් දෙවැනි නොවෙයි. එම ප්‍රබන්ධ කතා සමාජයේ නොයෙක් කතිකාවන් හා තුලනාත්මකව කියවීම කෘතියට කරන සාධාරණයකට වඩා කතුවරයාත් කියන අප ගත කරන මේ මොහොත සම්බන්ධයෙන් හොඳ භාවනාවකි. භාවනාවක් පමණක් නොව බොහෝ භාවනාවන්ගෙන් මුදවන ප්‍රති- භාවනා ගොන්නක් මේ කෘතියේ එයි. සාහිත්‍යය විචාරයක්ද නොවන මේ රචනාව මගින් එම කෘතියෙහි සාහිත්‍යයික බවට හෝ සමාජ කතිකාවට සාධාරණය ඉටු කරන්නට නොහැකිය. නවකතාවකට වඩා කෙටිකතා පොතක් ගැන පුවත්පතක ලිවීමම සාපේක්ෂව අමාරු වැඩකි. හැම කෙටිකතාවක් ගැනම වාක්‍යයකින් දෙකකින් හෝ ඡේදයකින් නිගමනාත්මක විචාර ලියා අන්තිමේදී අඩුපාඩු ටිකකුත් කියා කරන සම්මත ගුණදෝෂ විවේචනයත් සාධාරණ කියවීම් නොවේ. අනික මෙවැනි ප්‍රබන්ධ කතාවල නිර්මාණාත්මක ව්‍යුහමය ලක්ෂණ ගැනත් සාහිත්‍යයික බව අගයන්නටත් නම් සිංහල සාහිත්‍යය විචාරය තව සෑහෙන දුර යා යුතුය.

අර මිහිරි සීනු නාදයේ ඇහෙන මේ කතා ගැන පාඨකයෙකු හැටියට මට කවදාවත් අතිසාර්ථක වන්නට නොහැකිය. ඒ එම එක කෙටිකතාවක් පවා කතිකාවන් බොහොමයක් අතපතගාන හැටි අසුවෙන වාරයක් පාසා ඒවා ඔස්සේ ගොස් පාඨකයා අතරමංවීමයි. මේ ඇදවැට්ටීම පාඨක චින්තනය පුබුදුවාලන වැදගත් ක්‍රමයක් ලෙස විශිෂ්ට සාහිත්‍යයකරුවා ප්‍රයෝජනයට ගනියි. නැවත නැවත කියෙව්වත් වාග්මයත්වයට නැගිය නොහැකි මොනවා හෝ මේ කෘති වල ඉතිරි වෙයි. වචනයේ භාෂාවට නැගිය නොහැකි දේ භාෂා නිර්මිතයක් වන ප්‍රබන්ධ කතාව තුළම හමුවීම තරමක් අමුතු දෙයක් වුවත් කලාත්මකත්වය ඇත්තේම එතැනයි. භාෂාවේ අපොහොසත්කම් භාෂාවෙන් ජයගැනීමේ තනි තනි වචන වාක්‍යය- ඡේද මගින් ඒකත්වයෙන් යුතු සමස්තයක් සමෝදානය කරන නිර්මාණාත්මක භාෂා සෙල්ලම් ගැන නැවත හොයන්නට යළිත් මේ පොත කියවන්නට සිතමින් සටහනේ අන්තිම වාක්‍යයට ඉඩ තබමි. දේශපාලනික- සමාජීය කාරණා ගැන සෘජුව සහ තරමක් රළුව කතා කරන, එහෙත් සාහිත්‍යයික කලාත්මකත්වය ප්‍රචාරණ බවිනුත්, වාර්තාකරණ ප්‍රතිනිර්මාණවාදයෙනුත් මුදවා ගත් විශිෂ්ට සිංහල සාහිත්‍යය කෘති ඇත්නම් ඒ "අර මිහිරි සීනු නාදය" වැනි මතක හිටින හඬවල් කිහිපයක් විය යුතුය.

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails