
දුකේදීම පමණක් පිහිටට පැමිණී
ඉතාම ගන යකඩෙන් හදවතක් හිමී
මිතුරු තුමෙක් විය තනි නොතනියට හිටී
මෙතුන් පදේ තෝරාලා කියන් සකී
ගෙවී පාට පැස්ටල් පැන්සල් මකන
කඳුළු වලින් සිතුවම් පුරවා හඬන
ඉතාම ඇල්මෙන් අකුරට යන පුතුන
දිහා බලා මා තරමට හූල්ලන
අලව්වේ සති පොළේ ගිනි ගහන කූටකේ
සූරියා අඳී සස ලපේ පෙම්බර සඳ වතේ
දළු පලා ලෙසේ මැලවෙතේ සොඳුරු රූ ඇගේ
මේ දුක් අසා හැඬූ සුන්දරම මිතු සඳේ
මඟුල් කරඳ හෙවනේ බීඩි මීදුමේ
නෙලුන් දෙනිය මානේ රා පැහෙන මායිමේ
හිතේ බැඳුණ දුක නුඹ සමඟ සේදුවේ
තුරුල්ලේ ළඟින් හිඳ නුඹ කිමද ගොළු වුණේ
හිතේ වීරියට වැඩි වැඩ කෙරුවාද
නුඹේ හදත් ගිනියම් වී දැවුණාද
හදේ ලිහිසි තෙල තුනියට හැරුණාද
ප්රසාරණය උහුලා ගනු බැරි වීද
බිඳී රිදී මුදු සිර වීද හදවතේ
මකා දමනු බැරි සීරුම්ද හද බිතේ
මිනිස් සුවඳ තිබුණා දැවුණු තෙල් මතේ
නුඹත් නිහඬ දා සිව් කුසක් හාමතේ
වීසි කැති හරඹයෙහි දුබලතින් වෙහෙසුණු
තියුණු දෙපෙති පිහිදමි වෙර වඩා කැරකුණු
විසල් උයන්වල ඇත නුඹ නොමැති සලකුණු
සදය සිනාලයි ලියලන තණ පඳුරු...
චිරන්ත ජයසේන



