
මගෙ කවි පදරුත් විමසා
නෙක ගුණ පවසන විට ඔබ
පැතූ ඉසුරු නොමලද සේ
මා හද කම්පා වන්නෙය
ලෝ වැසි හැමගෙන් සැඟවුණු
ඔබේ සොඳුරු මුදු සෙනෙහස
මා හද ගැබ සුරැකෙන බව
සබඳිනි ඔබ නොදන්නෙහිය
හෙළනා දිගු සුසමෙන් මිස
බැහැර නොයන මගෙ සෙනෙහස
කවියක් සේ බිහිවන බව
සබඳිනි ඔබ නොදන්නෙහිය
ලියැවුණ කව් පද දහසක්
විමසා බැලු මුත් මෙතුවක්
ඔබ මිස එහි අන් අරුතක්
නැති වග ඔබ නොදන්නෙහිය
[තහනම් දේශයකින්-1972]
මොනිකා රුවන් පතිරණ



