
"මගේ කිරි දරුවා
පොළොවේ ගැසූ අලියා
බිම හෙළමි
හිස් කබල දැදුරු කර
නිල බල ගිනි බිඳිමි"
තනියම කතා කරන
හුදෙකලා මිනිසෙක්
තුවක්කුවක් අතින් ගෙන
වැව දෙසට පිය නගන
හඳපානා ගල වැවට
සඳ එළිය ගලන විට
සොඳුරු දසුනකි නෙතට
එහෙත් ඉඳහිට
කුංචනාදය නැගෙන විට
ත්රාසජනක වනු මිසක
සොඳුරු වෙද එය කෙලෙස
බලව මේ අසිරිය
දෙනෙත සනහන දසුන
කිරි උතුරන සඳපාන
තැවරී වැව් ජලය මත
කිරිකැටි අලි පැටියා
ටිකිරි සොඬ'ගින් රැගෙන වැව් දිය
විදින සැටි අහසට
මව් පිය දෙදෙන අසල සිට
කිරි වතුර නාන සැටි
තුටු සයුරක ගිලෙන සැටි
ගසකට මුවා වී හිඳගෙන
කුරුමානම ඇල්ලුවද
කොකා ගස්සන්නේ කෙලෙස
ඇඟිලි තුඩු වෙව්ලන විට
කුංචනාදය තුල ගැබ් වූ
තියුණු වේදනා ස්වරය
හද පත්ල පාරන විට
කොකා ගස්සන්නේ කෙලෙස
හුදෙකලා මිනිසා එම
තුවක්කුව ගෙන කරට
ආපසු යන අතර
තනියම කතා කරත
"කොහොම ගිනි බිඳින්නද
නපුරු වල් අලියාට
වැවට බැස දිය කෙළින
කිරි දරුවා ඉදිරිපිට"
සුදත් ගාමිණි බණ්ඩාර



