Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයට දින 75 ක් ගත වෙමින් ඒ සඳහා රජය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය අතර පැහැදිලි එකඟතාවයක් නොමැති තත්ත්වයක් යටතේ එම අරගලය ඉතා බරපතල සමාජ ගැටුමක් බවට පරිවර්තන වෙමින් සිටින පසුබිමක සමස්ත අරගලය සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කිරීම වඩාත් උචිත යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. එසේම එය කාලීන අවශ්‍යතාවක් ලෙස ද නිගමනය කළ හැකිය.

මෙම සමාජවිද්‍යාත්මක විශ්ලේෂණය ප්‍රබල සමාජවිද්‍යාත්මක න්‍යායක් මත පදනම්ව සිදුකිරීමෙන් එහි ඇති වටිනාකම මෙන්ම විශ්වාසනීයත්වය සහ වලංගුභාවය ද තහවුරු කරයි. මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය අරගලයක් බැවින් එය විශ්ලේෂණය සඳහා 'ගැටුම පිළිබඳ න්‍යාය' (Conflict Theory) වඩා උචිතය. එසේම ගැටුම පිළිබඳ න්‍යායේ සාම්ප්‍රදායික රාමුවට සීමා නොවී එහි නව ප්‍රවණතාවයක් මත පදනම් ව විශ්ලේෂණය කිරීමෙන් මෙම වෘත්තීය අරගලය පිළිබඳව නව සිතිජයන් මොනවාදැයි පුළුල් අවධානයක් යොමුකර ගැනීමට ඉඩ ප්‍රස්ථා විවර වේ. මෙම විශ්ලේෂණය ගැටුම පිළිබඳ කෘත්‍යවාදය (Conflict Functionalism) මත පදනම් වනු ඇත. ඇතැම් විට මෙම විශ්ලේෂණය ශ්‍රී ලංකාවේ බොහෝ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට නැවුම් න්‍යායාත්මක සංසිද්ධියක් විය හැකිය. මන්දයත් බොහෝ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 'මාක්ස්වාදය' නම් වූ සාම්ප්‍රදායික ආකෘතියට පමණක් සීමා වී ඇති බැවිනි.

ගැටුම පිළිබඳ කෘත්‍යවාදයට අනුව ඕනෑම සමාජයක් විවිධ උපව්‍යුහයන් මත ගොඩනැඟුණු අන්තර් සම්බන්ධතා සහ අන්තර් යැපීම් මත සංවිධානය වී ඇත්තේය. නමුත් එම පද්ධතියෙහි අසමානතා, ආකෘතීන් සහ ගැටුම් පවතී. එය පද්ධතියේ වෙනස්වීමට මෙන්ම අනුවර්තනය (Adaptation) සහ අනුකලනය (Integration) අඩු වැඩි වීම කෙරෙහි සෘජු බලපෑම් ඇති කරයි. ඇතැම් විට සමාජ පද්ධතියේ ගොඩනැගෙන ගැටුම්, ප්‍රචණ්ඩත්වය, නොගැලපීම් සහ අපචාරයන් පද්ධතියට හානිකර තත්ත්වයක් ඇති කරන අතරම පද්ධතියේ අනුවර්තනය සහ අනුකලනය වැඩි කිරීමට ද හේතු වේ.

ශ්‍රී ලාංකික සමාජය ද පසුගිය දශක තුනක කාලයෙහි යුධ ගැටුම්, දේශපාලන ගැටුම් සහ විවිධ කණ්ඩායම් අතර ගැටුම් මත පීඩනයට පත්ව සිටී. එසේම මෙම ගැටුම් මත වෙනස් වූ සමාජයකි. එමෙන්ම මෙවැනි සමාජයක් යුධ ගැටුම් වලින් මිදී සාමකාමී තත්ත්වයකට පත් වූ විට පද්ධතියේ එතෙක් සැඟව පැවති සෙසු ගැටුම් මතු කරමින් නව සමාජ ගැටුම් සහ අර්බුද නිර්මාණය කරයි. මෙය න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකව ද නිවැරදි සහ යාථාර්තවාදී තත්ත්වයකි. එසේම මේවා වැළැක්විය හැකි දේවල් ද නොවේ. එකම පිළිතුර වන්නේ පසුව එළඹෙන ගැටුම් උදෙසා සාමකාමීව සහ සහජීවනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට ගරු කරමින් විසඳුම් (කෙටි කාලීන සහ දිගු කාලීන) සෙවීමයි. ඒ අනුව වෘත්තිකයන්ගේ ගැටලු හෝ මෙවන් සමාජයක අනිවාර්යයෙන්ම අපේක්ෂාකළ යුතු තත්ත්වයන් මිස වෙනත් බලවේගවල ප්‍රතිඵලයක් හෝ ක්‍රියාකාරිත්වයක් නොවේ. ගැටුම් දෙස එවැනි දෘෂ්ටියකින් බැලීම එම ගැටුම් විසඳාගැනීමට ද පහසු කරයි. නමුත් මෙවන් ගැටුම් දෙස බැලීමේ දී එහි ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම වැදගත්වන අතර එහිදී අවධානය යොමු කළ යුතු මතයන් හතරක් පෙන්වාදිය හැකිය.

ගැටුමේ හේතූන් හඳූනාගැනීම

සාමාන්‍යයෙන් ගැටුම්වාදීන් පෙන්වා දෙන අන්දමට පුද්ගලයින් හෝ කණ්ඩායම් අතර ඇතිවන 'ප්‍රතිවිරෝධතා' හෝ 'ගැටුම් පිළිබඳ රුචිකත්වයක්' මෙම ගැටුම් ගොඩ නැගේ. එමෙන්ම එම ගැටුම හා සම්බන්ධ සෙසු පාර්ශවයන් අතර ඇතිවන උනන්දුව මත එය ඉදිරියට ඇදී යයි. ඒ අනුව එකිනෙකා අතර ගැටුම පිළිබඳව ඇතිවන අවබෝධය ඉතා වැදගත්ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය වසර 2008 දක්වා කාලයක සිට පැවත එන්නකි. එහෙත් රජය ත්‍රස්තවාදයට එරෙහිව ගෙන ගිය යුද්ධය මත එය නිලීන සාධකයක් ලෙස පැවති නමුත් අදාළ පාර්ශවය අතර තම ඉල්ලීම් පිළිබඳව සොයා බැලීම් සහ එකඟතාවයන් ගොඩනැගෙමින් පැවතුනි. එය යුද්ධය අවසන් වී වසර දෙකක් ගතවන විට ක්‍රමයෙන් ප්‍රකට සාධකයක් බවට පත් වූ අතර රජය ද ඉතා ප්‍රතිජනනාත්මක ලෙස ප්‍රතිචාර දක්වනු ලැබීය. 2014 වසරේ දී උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ ජනාධිපතිවරයා මාධ්‍ය වලට සහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප සැළකිය යුතු මට්ටමකින් (මහාචාර්යවරයෙකුගේ වැටුප ලක්ෂ තුනක් දක්වා) වැඩි කරන බවයි. එහෙත් මේවා හුදු ප්‍රකාශ පමණක් වීම නිසා සාකච්ජා වලින් විසඳාගැනීමට බලකර සිටීමට ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයට සිදුවිය. එම තත්ත්වය ප්‍රතිවිරෝධතා නැතහොත් ගැටුම පිළිබඳ රුචිකත්වයන්ය. එය සංකේත වැඩවර්ජන, ස්වේච්ජා තනතුරු ඉවත්වීම ආදී ප්‍රතිවිරෝධතා ගණනාවක් පෙළගැස්වීමට සමත්විය. ඒ අතරතුර උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ නොහික්මුණු සහ මුග්ධ ප්‍රතිචාරයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ දේශපාලන ගැති භාවය මත පදනම් වූ නිද්‍රාශීලී සහ පසුගාමී ක්‍රියා පිළිවෙත් හේතුකොට ගනිමින් මෙම වෘත්තීය ගැටළු සමාජ ගැටුමක් දක්වා වර්ධනය කරනු ලැබීය. එතැන් සිට 2012 වසරේ රජය සිදුකළ රැවටීම්, මඟහැරීම් සහ නොසලකා හැරීම් මෙම ගැටුම සමාජගත කිරීමට හේතු වූ බව පෙනේ. අවසානයේ ජනාධිපතිවරයාගේ අන්තවාදී ප්‍රකාශය (වර්ජකයින් සමඟ සාකච්ජා නොකරන්නේය යන ප්‍රකාශය) සහ අනිවාර්ය බේරුම්කරණයකට යොමු කර රජය තම වගකීමෙන් තාවකාලිකව ඉවත් වීමට දරණ උත්සාහය මෙම ගැටුම ජාතික මට්ටමේ වෘත්තීමය ගැටුමක් දක්වා ගෙනයාමට හේතු වූ බව පෙන්වා දිය යුතුය.


මෙයින් තහවුරු වන්නේ මෙම ගැටුමට ඉතිහාසයක් ඇති සේම ඒ සම්බන්ධව රජය තම අවධානය නිසි පරිදි යොමු නොකර හිතුවක්කාර ප්‍රතිචාරයකට තල්ලු වී ඇති බවයි. රජයේ අභිමානය, විපක්ෂයේ දුර්වලකම මෙම වෘත්තීය ගැටුමට නායකත්වය දෙන ඇතැම් අය පිළිබඳ රජයේ ස්ථාවරත්වය ආදී කරුණු මත ගැටුමට විසඳුම් සෙවීම නොසලකා හැර තිබේ. ඇතැම් විට තම විරුද්ධ පාර්ශවයන් බිලිබා ගැනීමේ විශේෂ දක්ෂතාවයන් පිළිබිඹු කරන මෙම රජය තමන්ට හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කීපදෙනෙකු හරහා මෙම වෘත්තීය අරගලය දුර්වල කරගත හැකි වේ යැයි තක්සේරුවකට පැමිණීම හෝ එවන් උපකල්පනයන් මත පිහිටා කටයුතු කරනවා ඇත. එවන් උත්සාහයන් රජයේ මාධ්‍ය ඔස්සේ නිතර දකිය හැකිය.

ගැටුමේ ප්‍රචණ්ඩත්වය

ගැටුම පිළිබඳ කෘත්‍යවාදයට අනුව ගැටුමට තුඩු දෙන සිද්ධීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් යථාර්ථවාදී සිද්ධීන් (Relaistic Issues) සහ යථාර්ථවාදී නොවන සිද්ධීන්(Non-relaistic Issues) යනුවෙනි. යථාර්ථවාදී සිද්ධීන් පවතීනම් එය හඹායෑමේ ඉලක්ක ඇති අතර ඒවා ඉටුකර ගැනීමේ දී අදාළ පාර්ශව අතර ගැටුමේ තීව්‍රතාවය අඩුය. යථාර්ථවාදී නොවන සිද්ධීන් යනු ඉලක්ක ඔස්සේ හඹා ගොස් ඉටු කරගත නොහැකි තත්ත්වයන්ය. ඇතැම් සමාජ ඇගයුම්, විශ්වාසයන්, සංකල්පවේද සහ පැහැදිලි ලෙස නිර්වචනය නොවූ රුචිකත්වයන් ය. සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, පංති ගැටුම, සූරාකෑම ආදී සංකල්පවේදයන් සහ සංසිද්ධීන් මීට උදාහරණයන්ය. එවැන්නක් සමාජයෙහි දැකිය හැකි නමුත් පැහැදිලි නිෂ්ඨාවකට අනුව ළඟාකර ගත හැකි තත්ත්වයන් නොවේ.

මෙහිදී මතුවන ගැටළුව වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටුම අයත්වන්නේ මින් කුමන වර්ගයකට ද? යන්නයි. වැටුප් වැඩිකරගැනීම ඇතුළු තම වෘත්තියට අදාළ තත්ත්වයන් ප්‍රවර්ධනය කරගැනීම යථාර්ථවාදී සිද්ධීන්ය. එයට තමන්හට නෛතික මෙන්ම සදාචාරාත්මක අයිතියක් ද ඇත්තේය. මෙවැනි ඉල්ලීම් යම් ප්‍රමාණයකට ඉටුකරනු ලැබුවද රජය ඉතා සූක්ෂම ලෙස තම පොරොන්දු වලින් මඟහැරීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය තම ශාඛා සමිති සමඟ ඇතිකර ගත් එකඟතා මත රජයට එරෙහිව වඩා පුළුල් වූ සහ අභියෝගාත්මක ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් තම අරගලයට නව මුහුණුවරක් ලබා දුන්නේය. එම ඉල්ලීම් අතර ප්‍රබල සහ අභියෝගාත්මක ඉල්ලීම දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප්‍රතිශතයක් රටේ සමස්ථ අධ්‍යාපනයට වෙන් කිරීම සඳහා බලකර සිටීමයි. මෙය ඉතාමත් ආකර්ශනීය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු වෘත්තිකයන් හට ද අදාළ වූවකි. එසේම ඒ සඳහා රාජතාන්ත්‍රික පසුබිමක් ද පවතී. එනම් යුනෙස්කෝ ප්‍රතිපත්ති පිළිගැනීමයි. එසේම මෙය යථාර්ථවාදී ඉල්ලීමකි. ලෝකයේ සෙසු රටවල් මෙන් ශ්‍රී ලංකාව ද මෙම ප්‍රතිපත්තිමය වෙනසකට එකඟකරවා ගැනීම යථාර්ථවාදී නොවන්නක් නොවේ. එයට අනුව රජයට තම ප්‍රමුඛතාවයන් පෙළගස්වා ගත හැකි සේම නිශ්චිත කාල රාමුවකට අනුව එය බලගැන්වීම පිළිබඳව එකඟතාවයකට එළඹිය හැකිය. විශේෂයෙන්ම රජයේ වියදම් හි ඇති නාස්තිය, දූෂණය, අල්ලස වැනි තත්ත්වයන් නැතිකර ගැනීමෙන් සහ කාර්යක්ෂම බදු අයකර ගැනීමකට යාමෙන් මේ සඳහා අවශ්‍ය මුදල් පහසුවෙන් සපයාගත හැකිය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ තවත් ප්‍රබල ඉල්ලීමක් වන්නේ ඔවුන් වෙනම වෘත්තිකයන් පිරිසක් ලෙස පිළිගන්නා ලෙසයි. ඊට අදාළ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට පදනමක් ලෙස අදාළ යෝජනාව ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර එයට ද යථාර්ථවාදී සිද්ධියක් ලෙස පිළිගත හැකිය. මන්ද යත් විශ්වවිද්‍යාල ආචාර්යවරු අනිකුත් වෘත්තීන්ට වඩා අනන්‍යවුත් ක්‍රමවේදයකට අනුව බඳවා ගැනීම් සහ උසස් වීම් සිදුකරන නිසාය. ඔවුන් තම සේවය සඳහා පැය විසිහතර පුරාම අනුගත වී සිටින්නන්ය. රජය සිදුකළ යුතු වන්නේ එම සේවය තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාකාරිත්වය දර්ශක ඉවහල් කර ගනිමින් වඩා කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ඔවුන්ගේ සේවය ලබාගත හැකි මට්ටමක් වෙත පිවිසීමයි. එසේ නොමැතිව ඔවුන් බූරුවන්, මෝඩයින්, කඩාකප්පල්කාරීන් ලෙස හංවඩු ගැසීමට සූදානම් වීම නොවේ. එසේ කිරීමට උත්සාහ කිරීමෙන් තමන්ගේ අමනෝඥ ස්වභාවය ප්‍රදර්ශනය වීම වැළැක්විය නොහැක.

මෙම අරගලයේ තවත් ඉල්ලීමක් වන්නේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් සංවිධානය වී ඇති රාජ්‍ය නොවන ආයතන නොවන පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්තිමය තීරණවලට එළඹීමට රජයට බලකර සිටීමයි. මෙය ද යථාර්ථවාදී සිද්ධියකි. නමුත් මෙයට රජයේ විශාල උනන්දුවක් ඇති වුවද එය පුළුල් විවෘත භාවයකින් සිදු කිරීමට සූදානම් වීමක් දැකිය හැකි නොවේ. එවැනි අධ්‍යාපන ආයතන වලට රජය අවසර දී ඇතත් ඒවා නියාමනය කිරීමට තරම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නැත.

එකඟ වූ පරිදි ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම් ලබා දෙමින් බුද්ධිමතුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වල රඳවා ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලීම තවත් යථාර්ථවාදී සිද්ධියකි. 'මහින්ද චින්තනය' යටතේ රජය පිළිගෙන ඇති ප්‍රතිපත්තිය මත මේ සියළු ඉල්ලීම් ලබා දීමට සහ ඒ ඔස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවය රටේ ජාතික සංවර්ධනය උදෙසාත්, දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහාත් රජයට හැකියාවක් ඇත. නමුත් ඒ සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය අතර රජයට එවැනි වැඩපිළිවෙලක් ඇති බවක් නොපෙනේ.

රජය මෙම සාධාරණ ඉල්ලීම් වලින් බැහැර වීම යනු යථාර්ථවාදී සිද්ධීන්ගෙන් බැහැරව යථාර්ථවාදී නොවන සිද්ධීන් වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තල්ලු කර හැරීමකි. එය මේ වන විට සිදුවෙමින් පවතී. වර්තමානයේ තම සමාජ භූමිකාවෙන් විවිධ හේතූන් මත නිද්‍රාශීලීව සිටි බොහෝ වෘත්තීය සමිති ගණනාවක් මෙන්ම තවමත් තම වගකීමම වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස දායකත්වය සපයන වෘත්තීය සමිති ගණනාවක් මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයට සහාය දීමට ඉදිරියට පැමිණ ඇත. මෙය අදූරදර්ශී ලෙස කටයුතු කරන, එසේම දැඩි අභිමානයකින් සිටින රජයකට එරෙහිව සංවිධානය වීමක් වුවද යථාර්ථවාදී නොවන ගැටුමකට යාමක් විය හැකි දැයි සැකයක් උපදී. ඒ අනුව එහි වගකීම පැවරෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයට සහ එහි නායකත්වයටය.

එසේම ගැටුමේ ප්‍රචණ්ඩත්වය ඉහළ යා හැකිය. විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම දෙමව්පියන් ද මෙම සටනේ කොටස්කරුවන් වනු ඇත. සිසුන් නවක වදය දෙමින් යථාර්ථවාදී නොවන සිද්ධියක තවමත් එල්බ සිටින්නාක් මෙන් ඔවුන් ‘ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන සුරැකීම' යන තේමාව යටතේ වීදි බසිනු ඇත. ඇත්තටම ශ්‍රී ලංකාවේ සැබෑ නිදහස් අධ්‍යාපනයක් තිබේද? එය කුමන මට්ටමකින් පවතින්නේද? එහි පුද්ගල හෝ පෞද්ගලික අංශයේ දායකත්වයේ මට්ටම කුමක්ද? ආදී ප්‍රශ්න වලට කිසිවකු ළඟ නිසි පිළිතුරු නැත. රජයට ද නිසි පිළිතුරක් නැත. ඇතැම් විට මෙම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස එවැන්නක් සොයා බැලීමට රජය පියවර ගන්නවා විය හැකිය. නමුත් මේවා යථාර්ථවාදී නොවන සිද්ධීන්ය.


ගැටුමේ ප්‍රචණ්ඩත්වය තීව්‍ර කරන තවත් සාධකයක් වන්නේ මෙම අරගලය ප්‍රබුද්ධ කණ්ඩායම් කීපයකට නතු වීම සහ ඔවුන් වටා අනුගාමිකයින් පිරිසක් නිර්මාණය වීමෙන්ය. එවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයින්ට මෙම ගැටුම පාලනය කරගත නොහැකි වනු ඇත. නැතහොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ දැනට ඇති කෘත්‍යාත්මක අනුකලනය සහ ස්වාධීනත්වය ගිලහෙනු ඇත. එයට හේතු වන්නේ අරගලය සම්බන්ධයෙන් තමන් සතු බලය සෙසු හවුල්කරුවන් අතර බෙදී යාමෙනි. ප්‍රධාන ගැටුමට අමතරව ප්‍රකට සහ නිලීන ගැටුම් ගණනාවක් පෙළගැසෙනු ඇත. එපමණක් නොව මෙම ගැටුම ප්‍රබල සමාජ ව්‍යාපාරයක් බවට පත් විය හැකිය.

ගැටුමේ කාල පරාසය

යථාර්ථවාදී සිද්ධීන් මත පදනම් වූ ගැටුමක කාල පරාසය සීමාසහිතය. එයට හේතුවන්නේ එවන් ගැටුම් සඳහා ඉලක්කයන් පවතින බැවින් එහි ජයග්‍රහණය හෝ පරාජය පැහැදිලි බැවිනි. එහෙත් යථාර්ථවාදී නොවන සිද්ධීන් මත ගොඩනැගෙන ගැටුම් වල කාල පරාසය පිළිබඳ සීමාවක් නැත. එය සමාජ ව්‍යාධියක් විය හැකිය. එවිට එය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙන්ම රජයට ද අහිතකර වනු ඇත. ඉහතින් දැක්වූ පරිදි දැනට දින හැත්තෑපහකට වඩා ඉක්මගොස් තිබේ. එය තව තවත් ඉදිරියට යා හැකිය. එසේම එය දරා ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හැකියාව තිබුණ ද ඔවුන්ගේ අරගලය යථාර්ථවාදී නොවන සිද්ධීන් මත පදනම් වූ අරගලයක් බවට පරිවර්තනය වන්නේ නම් තත්ත්වය තවත් බරපතල වනු ඇත. රජය තම වගකීම කාලයට බාර දී වැටුප් නොලැබෙන විට ආචාර්යවරුන් සේවයට පැමිණෙනු ඇතැයි බලා සිටීම රජයේ උපාය මාර්ගයක් වුවද ඵල රහිත වනු ඇත. මන්ද යත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කම්කරු පන්තිය නියෝජනය කරන්නා වූ පිරිසක් නොවීමත් ඔවුන් මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියේ සාමාජිකයින ලෙස මෙවන් තත්ත්වයන්ට අනුගතවීමේ හැකියාවක් ඔවුන් සතු බැවිනි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්තමාන වැටුප පිළිබඳව සංසන්දනාත්මක විමර්ශනයක යෙදීම වැදගත් වේ. මහාචාර්යවරයෙකුට වඩා රජයේ ආයතනයක රියදුරෙකු මාසික වැටුපක් ලබන අවස්ථා ද ඇත්තේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතිකාල දීමනා නොමැත. ඔවුන්ට ඇත්තේ ශාස්ත්‍රීය දායකත්වයක් උදෙසා ලබාදෙන දීමනාවන්ය. ඒවා ඒ ඒ ආචාර්යවරුන්ට විවිධ වන අතර ඔවුන් උගන්වන සිසුන් සංඛ්‍යාව මත සහ විභාග පවත්වන කාලයට පමණක් සීමා වනු ඇත. මහාචාර්යවරයෙකුගේ මූලික වැටුප රු. 50,905 කි. සියළු මාසික දීමනා එක්වූ විට එය රු. 108,000 කි. රජයේ ආයතනයක් ලෙස විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරි වරයෙකුගේ මාසික වැටුප රු. 159,536.71 කි. ලිපිකරුවෙකගේ මාසික වැටුප රු. 89,383.44 කි. සනීපාරාක්ෂක කම්කරුවෙකුගේ මාසික වැටුප රු. 71,659.00 කි. තත්ත්වය මෙසේ නම් විශ්වවිද්‍යාල ආචාර්යවරු තම ජීවිතයම අධ්‍යාපනයට කැපකර රටේ අනාගත පරම්පරාව උගතුන් බුද්ධිමතුන් බවට පත් කිරීමේ ජාතික වගකීම වෙනුවෙන් මීට වඩා සාධාරණ වැටුපක් ඉල්ලීම අසාධාරණ යැයි පවසන්නේ කුමන සාධක මත දැයි බුද්ධිමත්ව විමසා බැලීම වටී. ඔවුන්ගේ ඉතා ඉහළ සේවයක් ලබා ගැනීමට නම් ආකර්ෂණීය වැටුපක් ලබාදීම රජයේ වගකීම වේ. සාමාන්‍ය පෙළවත් සමත් නොවූ දේශපාලඥයින් පවා ලබන වැටුප සහ දීමනා ඇතුළු වරප්‍රසාද දෙස බලන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලබන වැටුප සොච්චමක් යැයි මෙකී දේශපාලනඥයින්ටම තේරුම් ගැනීමට නොහැකිවීම මෙම ගැටුම තව තවත් ඉදිරියට තල්ලු කර දැමීමට හේතු වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරයා තම සමාජ ගරුත්වයට සරිලන සේ තම ජීවිකාව පවත්වාගෙන යාමට මෙම සුළු වැටුප කෙසේ කළමනාකරණය කරගත යුතුද? යන උභතෝකෝටික (Dilemma) ප්‍රශ්නයට මැදිව සිටී. මෙවන් පසුබිමක් තුළ රජය තම වගකීමෙන් මිදී පලා යන්නට උත්සාහ කරන විට මෙම ගැටුමේ කාලය සහ ගැටුමේ ස්වරූපය ද, එහි හවුල්කරුවන් ද වෙනස්වනු නියතය.

ගැටුමේ ප්‍රතිඵලය

ගැටුමට තුඩු දෙන්නේ යථාර්ථවාදී සිද්ධීන් ද එසේත් නැතිනම් යථාර්ථවාදී නොවන සිද්ධීන් ද යන්න මත ගැටුමේ ප්‍රතිඵලය වෙනස් වේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සමඟ විමසා බැලීමේ දී පහත සඳහන් ආකාරයේ ප්‍රතිඵල හඳුනාගත හැකිය.

එනම්,

01. 'නිදහස් අධ්‍යාපනය' සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියළුදෙනා අතර උනන්දුවක් ඇතිවීම සහ එයට එරෙහිව ඇති බාධක පිළිබඳව ද ඔවුන් අතර උනන්දුවක් ඇති වීම: 1982 දී රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාව සහ ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ රජය ආරම්භ කළ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව 1986 දී ඇති වූ විරෝධතාවයට පසුව මේ දක්වා නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රබල විරෝධතාවයක් වර්ධනය වූයේ නැත. වර්තමාන සන්ධාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මත මහින්ද චින්තනයේ නිදහස් අධ්‍යාපනය සුරැකීමට බොහෝ දේ ඉදිරිපත් කර තිබුණ ද එය යථාර්ථයක් දැයි ගැටළුවක් මතුව තිබේ. එසේම නිදහස් අධ්‍යාපනය මායාවක් බවට පත් වෙමින් පවතීදැයි සැකයක් පහළ වී ඇත. ඒ අනුව නිදහස් අධ්‍යාපනය සුරැකීමට නම් රජය ඒ සඳහා සිදු කරන ආයෝජනය වැඩි කළ යුතුය. රජයේ සංවර්ධන වැඩ පිළිවෙල පූර්ණ වැඩපිළිවෙලක් වීමට නම් අධ්‍යාපනය ඔස්සේ මානව සම්පත් දියුණු කළ යුතුය.

02. ජනතාවට නායකත්වය ලබාදිය හැකි බුද්ධිමතුන් සහ දේශපාලඥයින් අතර දුරස්වීමක් නැතහොත් ධ්‍රැවීකරණයක් (Polarization) සිදුවීම සහ ඒ මත පදනම් වූ ප්‍රතිවිරෝධතා, ආතතීන් සහ ගැටුම් වර්ධනය වීම: මෙම තත්ත්වය රජයක පැවැත්වීමට සහ ස්ථාවරත්වයට සෘජු බලපෑමක් ඇති වනු ඇත. මේ වන විට එවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති අතර එවැනි තත්ත්වයකට නොගොස් දෙපාර්ශවය අතර සමතුලිතතාවයක් පවත්වා ගෙන යාමට වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා අසමත් වී තිබේ. එ. ජා. ප. රජය සමයේ උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස දීර්ඝකාලයක් කටයුතු කළ ඒ. ඩී. එස්. හමීඩ් මහතා මෙම සමතුලිතතාවය ඉතා හොඳින් පවත්වාගෙන යනු ලැබීය.

03. විශ්වවිද්‍යාල වල ස්වාධීනත්වය පිළිබඳව උනන්දුවක් ඇතිවීම සහ ඊට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ ප්‍රගතිශීලී බලවේගවල විරෝධතාවන් මතු වීම: මෙය වත්මන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන අතර ඒ සම්බන්ධයෙන් රජය සමඟ එකඟතාවයකට එළඹීම දුෂ්කර වනු ඇත. එය යථාර්ථවාදී නොවන සිද්ධියක් වන බැවින් ගැටුම සහ ගැටුමේ තීව්‍රතාවය වැඩිවනු ඇත.

04. වෘත්තීය අරගල මැඩපැවැත්වීම සඳහා රජය විවිධ රෙගුලාසි සහ දැනට පවතින නෛතික පදනම උපයෝගී කරගනු ඇත. එසේම සෘජු නොවන සැඟවුණු මර්දන ක්‍රියාමාර්ග වලට පිවිසීමේ ඉඩකඩ වැඩිවීම.

05. අරගලයේ යෙදෙන්නා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය තම කේවල් කිරීමේ බලය වර්ධනය කර ගැනීම උදෙසා ඉතා දැඩි වෘත්තිමය ක්‍රියාමාර්ග වලට ගමන් කිරීම : දැනට ඔවුන් උසස් පෙළ සිසුන්ගේ විභාග පිළිතුරුපත් බැලීම, අධීක්ෂණය කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර විශ්වවිද්‍යාල වලට අලුතින් සිසුන් බඳවා ගැනීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ. මෙය විශ්වවිද්‍යාල වල අධ්‍යයන කටයුතු පරිපාලනය කිරීමට නොහැකි වීමෙන් සිදුවන්නා වූ ගැටළුවක් වන අතර එය රජයට සෘජු බලපෑමක් ඇතිකළ හැකි එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තම කේවල් කිරීමේ බලය වැඩිකර ගැනීමට හේතුවන්නකි.

06. අනෙකුත් වෘත්තීය සමිති සහ සමාජ කණ්ඩායම් වල උනන්දුව සහ සහයෝගය ලැබීම: මෙය ඉහතින් පෙන්වා දුන් පරිදි විශාල සමාජ ගැටලුවකට මුල පිරීමක් මෙන්ම ගැටුමේ කාලය සහ එහි ප්‍රචණ්ඩත්වය වැඩි කිරීමට හේතු විය හැකි බැවින් ඉතා සුපරික්ෂාකාරීව මෙහෙය විය යුතුය. මෙහි සෘජු බලපෑම රජයට එල්ලවන බැවින් රජය මෙම අරගලය දෙස තම සෘජු මැදිහත්වීමක් ලබා දී විසඳුමක් කරා ළඟා වීමට ක්‍රියාකල යුතු වේ. එය රජයේ වගකීමය. එය පැහැර හැරීම දැනටමත් සිදු වී ඇති බැවින් මෙම ගැටුම වටා ගොනු වී ඇති ඇතැම් සමාජ ගතිකයන් (Social Dynamics) නොසලකා හරිමින් විසඳුමක් කරා ඒමට සැබෑ සහ අවංක ප්‍රයත්නයක් දැරිය යුතු වේ.

ඇතැම් විට තවමත් රජයේ 'අත්‍යවශ්‍ය සහයෝගිතා සභාගයට' මෙම අරගලයේ බරපතලකම අවබෝධ නොවී තිබෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා විය හැකිය. එසේත් නැතිනම් මෙම සභාගයට තවදුරටත් උසස් අධ්‍යාපන ඇමතිවරයා, ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ රජයට පක්ෂපාත විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිපදෙනා හරහා ප්‍රශ්නය යටපත් කරගත හැකි යැයි විශ්වාස කරනවා විය හැකිය. එසේ නම් සැබවින්ම මෙය මායාකාරී තත්ත්වයක් බව කිව යුතුය.

07. දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුන්ගේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නතරවීම සහ එය ඔවුන්ගේ අනාගත සැළසුම් වලට යම් ප්‍රමාණයේ බලපෑමක් ඇති කිරීම : මෙම තත්ත්වය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර මනා අවබෝධයක් ඇති නමුත් පවතින වර්ජනය යටතේ එයට විසඳුමක් සොයාගත නොහැකි වී ඇත්තේ රජය සමඟ සිදු කරන කේවල් කිරීම් වලට එය බාධාවක් වන නිසාය. මෙම අරගලය රජයට ඕනෑතරම් සාකච්ජාමය විසඳුම් විසඳීමට ඉඩ සලසා දුන් නමුත් රජය ඒවා මඟහැර තිබේ. අවුරුදු 4 ක කාලයක් ගතවීමෙන් පෙනෙන්නේ රජයේ මෙම විසඳුම් සෙවීමේ දක්ෂතාවයයි. නැතහොත් කලාවයි.

08. මෙම අරගලය දියාරු කර දැමීම සඳහා 'අනවශ්‍ය සහයෝගිතා සභාගයට'උපකාරී වන පුද්ගලයින් සහ කණ්ඩායම් වල ක්‍රියාකාරකම් මත එකිනෙකාගේ ගරුත්වයට හානි පැමිණවීම හා ඉතා පහත් අන්දමේ ක්‍රියා සහ ප්‍රකාශනයන් මත සමාජ සාරධර්ම සහ සදාචාරාත්මක පර්යාය උල්ලංඝනය වීම වැනි නිශේධනාත්මක සාධක රැසක් ඉදිරියට ඒමෙන් සමාජ පර්යායට සහ සංස්කෘතික පර්යායට හානි සිදුවීම: මෙවැනි තත්ත්වයක ප්‍රතිඵලය සමාජ සහ සංස්කෘතික පර්යායට දිගුකාලීන අයහපත් ප්‍රතිඵල ඇතිකළ හැකිය.


මේ අන්දමින් බලන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය අප සමාජයට වැඩි යහපතක් ඇති කරන්නා වූ සමාජ ප්‍රගතිය දිරිමත් කරන්නා වූ අරගලයක් ලෙස අර්ථ නිරූපණය කළ හැකියි. ගැටුම් ඇති වුවද රටේ අනාගත පරපුරේ අධ්‍යාපන ක්‍රියාවලියේ යහපැවැත්ම තහවුරු වනු ඇත. සිදුවන නිශේධනාත්මක හෝ අයහපත් බලපෑම් අවමකර ගැනීමට සියලු පාර්ශවයන්ට වගකීමක් ඇත්තේය. විශේෂයෙන් රජයක් ලෙස එම වගකීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙම අරගලය තවත් දුරදිග නොගොස් විසඳා ගැනීම රජයේ ස්ථාවරත්වයට ද ඉවහල් වනු ඇත.

මෙම ගැටුම පිළිබඳ කෘත්‍යාත්මක විශ්ලේෂණය ඔස්සේ එහි ප්‍රධාන පැතිකඩයන් පිළිබඳව අවධානය යොමු කරනු ලැබුව ද එහි ඇති නිලීන සාධක රැසක් ද හඳුනාගත හැකිය. එම සාධක සියල්ලම විශ්ලේෂණය කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. අවසාන වශයෙන් පෙන්වාදිය හැකිවන්නේ ශක්තිමත් විපක්ෂයක් නොමැති ශ්‍රී ලංකාවෙ සමාජ අර්බුදයන් හි ප්‍රධාන සංසිද්ධියක් තේමාකර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිදුකර අත්තේ තම සමාජ වගකීම, තම වෘත්තිය ගැටළු විසඳා ගැනීමට දරණ උත්සාහය හරහා ඉටුකර ඇති බවයි. එය සමාජ ප්‍රගමනයට සෘජු දායකත්වයක් ලබා දී තිබේ. එසේම මෙය විපක්ෂ දේශපාලඥයින්ට මෙන්ම වෙනත් සමාජ බලවේගයන්ට පූර්වාදර්ශයකටත් වඩා පරමාදර්ශයක් වනු ඇත. ඉතා දැඩි සේ අවධාරණය කළ යුතු කරුණ වන්නේ මෙම අරගලය රටේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට පමණක් සීමා නොකර සෙසු සමාජ අර්බුද සඳහා ද විසඳුම් සොයන්නා වූ සමාජ ප්‍රතිසංස්කරණයක් දක්වා වර්ධනය කරගන්නේ කෙසේද? යන්නයි. එය රජයේ මෙන්ම මෙම අරගලයේ හවුල්කරුවන් හෙට දිනයේ තීරණය කරනු ඇත.

කේ. කරුණාතිලක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails