
නොයන් බෝ දුර
රැඳෙනු බැහැ දිනක් වත්
නොවැටහෙයි මට
මං කොහොම කියන්නද
එක් දිනක් කොයි තරම් නම් දිගු ද
පිටව ගොස් හැම දුම්රියම
දුර- ඈත ඉසව්වක
ගාල්කර ඇති විටෙක
පාළු නැවතුම් පළක හිඳින මෙන්
එනතුරා ඔබ නිදිබරව හිඳිමි මං.
නොයන් මා හැර
හෝරාවකට වත්
මං කොහොම කියන්නද
පුංචි අමනාප බිඳු එක් රොක් ව
ගමන් අරඹාවි එක්වරම
ව්‍යාකූල හද හුස්ම අහුරමින්
නිවෙසක් සොයා සරන දුමාරය
ගොනු වේවි මා තුළට.
අහෝ, ඔබගේ සිලුවටය
දිය නොවෙයි වෙරළ මත කිසිදාක
ඔබේ ඇසි පිය ඈත හිස් තැනෙක
නොසැලේවි කිසිදාක
සුහදිනිය,
එක් මොහොතකට වුව ද
මා අතැර නොමයන්න.
ඔබ ම'හැර ගිය විටෙක
උමතුවෙන් සරමි මම
මෙ මිහි මත හැම තැනෙක
විමසමින් ඔබ ගැනම
ඔබ එයි ද?
මියෙන්නට මා අතැර කොහි ගියෙද?
['Don't Go Far Off' By Pablo Neruda]
පැබ්ලෝ නෙරුඩා
පරිවර්තනය - චතුෂ්කා නිමේදි රණවීර



