
හදවත ගැහෙන හඬ
තුඟු තුරෙක
තුරුළුව අසන,
තුර කිති කවා
හොරැහෙන් බලන
තුරු අත් පහර
විඳ විඳ සැලෙන
විහඟුන්
බිඟුන්
අප ගැන කියන
කව් ගී අසා
විළියෙන් හිඳින
තුර හා පිබිද
තුර හා නිදන
සිහිනය බිඳුන
බිත්තියට තබා බැඳි
මල් වැලකි මම.
හේ මළ කඳකි
හැඟුමන් නොමැති
මා හද ගැහෙන බවවත් නොදත්
සැඬ හිරු රැසින්
රත් වී නිවී
කිසිවක් නොදැන
සුවසේ වෙසෙන.
මල් වැල නිසා බිත්තිය හැඩයි....
මෙතැනින් යනෙන
කවුරුත් කියති
පොර කා හැපී
බිත්තිය සමග
වෙහෙසී වදන මල් දරු කැකුළු
හැර වෙන සතුටක් නොමැති
බිත්තිය සමග මා සතුටින්ද
කෙදිනෙක පැමිණ
අසනුද කවුරු.
["ගඟ දිය මතක" කාව්‍ය සංග්රහයෙනි.]
සජීවනී කස්තුරිආරච්ච්



