Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


මාලක දේවප්‍රියගේ "නිහොන් සැප ලැබේවා" රේඩියෝ කතා සංග්‍රහය දොරට වැඩීම, 2012 සැප්තැම්බර් 14 වන සිකුරාදා ප.ව. 3:00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී. ආරාධිත දේශන- "වාරණය, අවනතනොවීම සහ කලාකරුවාගේ භාවිතාව"‐ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, "සමාජ ප‍්‍රතිවිරෝධතාවයන් ස්වඋපහාසය ඔස්සේ මතුකිරීම"‐ ඩබ්ලිව්. එස්. විජේසිංහ, "ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආධිපත්‍ය තුළ රේඩියෝ නාට්‍යයේ අනාගතය"‐ තිලිණ සමරසූරිය

මාලක දේවප්‍රියගේ "නිහොන් සැප ලැබේවා" නම් වූ රේඩියෝ නාට්‍යය කෘතිය මුද්‍රණ ද්වාරයෙන් පළකිරීම සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය දෙදහස් එකොළහ වසර සඳහා අයදුම් කර ඇත. වසරක දිගු සමීක්ෂණ කාලයකින් ඉක්බිති එහි ප්‍රතිඵල නිකුත් වූයේ මුද්‍රණ ආධාර ලබාදීම සඳහා ප්‍රතික්ෂේපිත ග්‍රන්ථයක් ලෙසයි. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශය දෙදහස් දොළහ මැයි විසිදෙක දින මාලක දේවප්‍රිය වෙත ලිඛිතව ලබා දුන් 65-5-1-2011/20 සමීක්ෂණ වාර්තාවෙන් උපුටා ගත් උද්ධෘතයන් මෙලෙසයි:

"මෙම නාට්‍යය ග්‍රන්ථය මුද්‍රණය කිරීමෙන් හා ප්‍රකාශයට පත් කිරීමෙන් පාඨක පිරිස අතරින් වැඩි කොටසකගේ දෝෂ දර්ශනයට ලක්වීමට ඉඩ ඇත."

"පාඨකයාගේ සිත දූෂ්‍ය කිරීමට, සමාජයට අහිතකර බලපෑම් ඇති කිරීමට තුඩු දෙන අදහස් අන්තර්ගත වේ. උදාහරණ:- නිහොන් සැප ලැබේවා, භෂ්මාන්තර, මන විදමන නාට්‍යය."

"රාජ්‍ය තන්ත්‍රය සාවද්‍ය ලෙස දෝෂ දර්ශනයට ලක් කරන උග්‍ර මතභේදයට තුඩු දිය හැකි විවේචන ඇතුළත් වේ. උදාහරණ:- නිරාභිෂේකන."

"කිසියම් ආගමක් හෝ ජාතියක ගෞරවයට හානි කිරීමට තුඩු දෙන කරුණු ඇතුළත් වේ. බුදු දහමේ එන ප්‍රකට චරිත දෙකක් වන අහිංසක හා සුජාතා චරිත දෙක උපයෝගි කර ගනිමින් රචනා කර ඇති ආලයක දමනය නම් වූ කතාව උදාහරණයකි. නිරාභිෂේකන තවත් උදාහරණයකි. එසේම මන විදමන කතාවෙන් බුදු දහම සමච්චලයට ලක් කෙරේ."

"කතුවරයා ඇතැම් කතාවල දක්වා ඇති යෙදුම් බාළ පරපුර මෙන්ම තරුණ පරපුරද නොමග යවන සුළුය. නාටකයක එවැනි යෙදුම් ඇතුළත් වීමට වඩා එම නාට්‍යයම සාහිත්‍ය කෘතියක් වශයෙන් පළ කිරීමේදී ප්‍රතිඵලය භයානක විය හැකිය. ඒ කෘතියක් වශයෙන් නැවත නැවත කියවා බැලීමේ හැකියාව ඇති නිසාය. එවැන්නක් බාළ, මහලු සැම දෙනාටම එක සේ රස විඳිය හැකි එසේම කිසිවෙකුගේ මනස දූෂණය නොවන ලියවිල්ලක් විය යුතුය. මෙම කෘතියේ එන 2,6,7,8,9 අංක දරන කතා එම තත්වයේය."


මාලක දේවප්‍රියගේ ආරාධනාවෙන් ධනංජය කරුණාරත්න ඒ සඳහා රචිත සංවාදාත්මක ලිපියයි මේ.

******

ගුවන් විදුලි නාට්‍ය කලාව දැන් මෙසේ සාහිත්‍යයක් ලෙසට කියවා රස විඳීමටවත් නිර්මාණය වන බව අසන්නට ලැබීම පුදුමයට කරුණකි. ඒ පුදුමය ඇතිව මාලක දේවප්‍රියගේ "නිහොන් සැප ලැබේවා" නම් ගුවන් විදුලි නාට්‍ය එකතුව කියවීමි. ඒ කෘතිය දෙස පැති ගණනාවකින් අපට බැලිය හැකියි. ප්‍රථමයෙන් එය ගුවන් විදුලි නාට්‍ය නිර්මාණ නොකෙරෙමින් පවතින වකවානුවක අවම වශයෙන් එය සාහිත්‍යයක් ලෙසට කියවා රස විඳීමට ලියා පළ කළ උත්සාහයක් ලෙසට දිටිය හැක. අනිත් අතින් එය සිනමාව, වේදිකාව ආදී අනිකුත් ප්‍රසාංගික මාධ්‍යයන්ට අනුවර්තනය කිරීමට හැකි මූලාශ්‍ර පෙළක් ලෙසට ගත හැකිය. තවත් ලෙසකින් මාලක දේවප්‍රිය නම් අද දවසේ ජීවත් වන මිනිසෙකු ඔහුගේ සිතුම් පැතුම්, වේදනාවන් ගුවන් විදුලි මාධ්‍යය ඔස්සේ දැකීමට කැමති ආකාරය එහි ඇත. රසිකයින්, සමාජ විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින්, කලා විචාරකයින් ආදී ලෙස අපගේ කටයුත්ත වන්නේ එම නිර්මාණ විමසීමට ලක් කරමින් විවිධ යථාර්ථයන් ගොඩ නැඟීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා මෙම කෘතියේ ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ඇත. අවශ්‍ය නම් තවත් කෙනෙකුට මෙම කෘතියේ එන නාට්‍යයන් සංශෝධනය කර නැවත ලිවිය හැකිය. උදාහරණයක් ලෙසට මට මෙයින් ඒ සඳහා නිර්මාණයක් තෝරාගන්නා ලෙස කිසිවෙකු කීවොත් "භෂ්මාන්තර" නම් අපූරු නාට්‍ය අත්දැකීම මා තෝරා ගනු ඇත. එඩ්වඩ් ඇල්බිගේ සුප්‍රකට "ද සූ ස්ටෝරි" (The Zoo Story) නාට්‍යය මතකයට එන එම කෘතිය සුරංගනා කතා විලාශයෙන් ද ආභාසය ලබා ඇතැයි මට සිතේ. විශේෂයෙන් එහි කථා රසය ඉතා ඉහළ මට්ටමක පවතී. තවත් කෙනෙකු මට වඩා හාත් පසින් වෙනස් ප්‍රවේශයක් ගනු ඇත. මෙහි එන බොහෝ නාට්‍ය ඉතා පහසුවෙන් වේදිකා නාට්‍ය බවට පෙරළිය හැකිය. විශේෂයෙන් "රඟදෙන කපුවෝ" නාට්‍යය වේදිකාවට වඩාත් ගැළපෙන පරිදි ලියවී ඇත. මෙහි තේමාත්මකව බලන කල කසාදයේ සිට හොර පාස්පෝර්ට්වලින් ජීවත්වීම දක්වා සමකාලීන මිනිසාගේ වංචාකාරී ජීවිතයත් එම වංචාකාරිත්වය තුළින් හදාගත් අමුතුම සදාචාරයක් මත ජීවත්වන්නට කරනා උත්සාහයන් අනාවරණය කෙරේ.

මට විශේෂයෙන් කීමට අවශ්‍ය වන්නේ මම මේ "නිහොන් සැප ලැබේවා" කෘතිය හඳුනා ගන්නේ ලියා අවසන් කළ ගුවන් විදුලි නාට්‍ය එකතුවක් ලෙසට වඩා, ඔබට කැමති පරිදි ඔබේ උවමනාවට, දේශයට, කාලයට, ගැළපෙන පරිදි නිර්මාණය කර ගැනීමට ඉඩදී ලියා ඇති පිරිපහදු නොකළ (Raw) කෘති පෙළක් ලෙසටය. එයද නිර්මාණකරණයේ ඉතා විශේෂ විධික්‍රමයකි. අතීතයේදී කෘතියක් පිළිගැනීමට එය ලියා නිමකළ කෘතියක් බවට පත් වියයුතු වූ අතර අද කෘතියක් ලියා නිම නොකළ තත්වයෙන් ද පිළිගැනීමට සූදානම්ය. ලියා නිම කළ පරිසමාප්ත කෘති පිළිබඳ විශ්වාසයක් අපට දැන් නැත. මාලකගේ කෘතිය පිරිපහදු කිරීමට පෙර නිර්මාණකරුවා සිතූ ආකාරයද වඩාත් නග්නව මෙහි ඇතුළත් කර ඇත. ඉන් කියවෙන්නේ කෙනෙකුට අවශ්‍ය නම් මෙය තිබෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට බැරි බව නොවේ. ඉදිරිපත් කරන්නාට පිරිපහදු කර අර්ථකථනය කර ඉදිරිපත් කිරීමට ඉඩ හසර තබා විස්තර තොරතුරු ලබා දී ලියන ලද අපූරු අත්දැකීම් පෙළක් මෙහි ඇත. මාලක සාමාන්‍ය ලෙස සිතන්නෙකු නොවේ. මාලකගේ බොහෝ පරිකල්පන අධිතාත්විකය. එම ලක්ෂණ කෘතිය මතට ඇවිත් ඇත. සමහර විට එය ඔහුගේ උපවිඥානයෙන් එනවා විය හැකිය. කෙසේ හෝ අවසානයේ මෙය මා පෙර කී ලෙස විවිධ ආකාරයෙන් පරිශීලනය කරන්නන්ට ප්‍රයෝජනයට ගත හැකි නිතර බිහි නොවෙන ආකාරයේ රෝ (Raw) නාට්‍ය පෙළක් ලෙසට හඳුනාගෙන අපගේ අවධානයට ලක්විය යුතුය.

මාලකගේ ආරාධනාව පරිදි මම මීළඟට අදහස් කරන්නේ ඔහුගේ මෙම ග්‍රන්ථය ජාතික පුස්තකාල සංවර්ධන අංශය විසින් ප්‍රකාශන ආධාර සඳහා අනුග්‍රහයට නුසුදුසු කෘතියක් ලෙස ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස දක්වා ඇති කරුණු දෙස ඔබගේ අවධානය යොමු කිරීමටයි. එම ආයතනයට ඔවුන්ගේ ප්‍රතිපත්ති මත කිසියම් ග්‍රන්ථයක් ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතියට අත තැබීමට මා අකමැති අතර එවැනි විනිශ්චයක ගුණදොස් විමසීමට ද මම අදහස් නොකරමි. එහෙත් ඔවුන් මෙම කලා කෘතිය ප්‍රකාශ නොකිරීමට තීරණය කරන කරුණුවල ඇති න්‍යායික අර්බුදය පමණක් සාකච්ඡා කිරීමට මම කැමැත්තෙමි.

එකී කරුණු හුදකලාව එම ආයතනයෙන් පමණක් මතුවන්නක් නොව මේ වනවිට කලාවට එරෙහි රජයේ අධිපති මතවාදය ලෙස විශේෂයෙන් රජයේ සහ දක්ෂිණාංශික කොටස්වල මතය ලෙසට බලයක් අත්පත් කර ගනිමින් ආයතනික වශයෙන්, විශේෂයෙන් පෙරටුගාමී කලා ව්‍යාපෘතිවලට එරෙහිව සුලභව ක්‍රියාත්මක වන ආකාරය අපට දැකිය හැකිය. කලාවට අනුග්‍රහය දැක්වීමට ඇති අවස්ථා, කලා උත්සව, තරග, වාරණ මණ්ඩල මෙන්ම අධ්‍යාපනික ව්‍යාපෘතිවලදීද බොහෝ විට ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ කලාව පිළිබඳ මෙම ග්‍රන්ථය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති දෘෂ්ටියම බව හොඳින් විමසන විට අපට පෙනී යන යථාර්ථයයි.

මෙහි එන නිර්මාණ ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස දක්වා ඇත්තේ ගුවන් විදුලි නාට්‍ය ලෙසට ඒවායේ ඇති නිර්මාණාත්මක දුර්වලතා (Aesthetic faults) නොව ඒවායේ දාෂ්ටිවාදය, දේශපාලනය සහ ඒවා සමාජයට බලපාන ආකාරය පිළිබඳ ඔවුන්ට එකඟවීමට නොහැකි හේතුය. එනම්; කලාකරුවා ඔවුන්ගේ දේශපාලනයට අනුව නිර්මාණය නොකිරීමේ හේතුවයි. ඒවා සමාජයට 'නරක' ලෙසට බලපෑ හැකි යයි ඔවුන් කරනා අනුමානය තහවුරු කිරීමට කිසිදු උදාහරණයක් හෝ හේතුවක් ඔවුන් අපට ලබා දෙන්නේ ද නැත. එනම්; ඔවුන් කියනා පාඨකයාගේ 'සිත දූෂණය වීම' යනු කවර තත්වයක් ද, කෘතිය සේවනය කිරීමෙන් එකි තත්වය ඇතිවන්නේ කෙසේද යන්න අපැහැදිලිය. කෘතිය සමාජයට අහිතකර ලෙස බලපෑම මෙය ප්‍රතික්ෂේප කිරීමට හේතුව වන අතර එලෙස අහිතකරව බලපාන බව ඔවුන්ගේ අනුමාන තලයේ පමණක් පවතින්නකි. එවිට එය අහිතකරව බල නොපාන බවට අපි තර්ක කරමු.

ඔවුන් සිය වාර්තාවේ මුලින්ම දක්වා ඇති පරිදි මෙය පාඨකයින් වැඩි පිරිසගේ දෝෂ දර්ශනයට ලක්වීම නම් කරුණ ගනිමු. ලෝකයේ දෘෂ්ටිමය වශයෙන් පමණක් නොව ආකෘතිමය වශයෙන්ද නව මානයන් ගත් කෘති බහුතරයක්ම මුලින්ම රසිකයන් වැඩි දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක් වූ බව ඔවුන්ට කල්පනා නොවීම අතිශයින් කනගාටුවට කරුණකි. ඩී.එච්. ලෝරන්ස්ගේ "ලේඩි චැටර්ලිස් ලවර්", සල්මන් රෂ්ඩිගේ "සැටනික් වර්සස්", තස්ලිමා නස්රීන්ගේ "ලජ්ජා" ඔබ කවුරුත් දන්නා ප්‍රකට කෘති කීපයක් පමණි; තව දහස් ගණනකි. ඊට අමතරව කෆ්කා, සැමුවෙල් බෙකට්, ජේම්ස් ජොයිස් ආදී රචකයින්ගේ කෘති පවා මුලින්ම බහුතරය පිළිගත්තේ නැත. මේවා බොහෝ රටවල පිළිගත් කෘති බවට පත්වූයේ වැඩිදෙනාගේ පිළිගැනීමට ලක්වීමෙන් හෝ පවුලේ සියලුදෙනාට වැටහීම නිසා නොව 'විදග්ධ' සුළුතරයක් මෙහෙයවූ දැනුම පිළිබඳ ආයතනික බලය සහ යටත් විජිතවාදී ව්‍යාපෘති ආදී වෙනත් සංස්කෘතික හා දේශපාලනික ව්‍යාපාර හරහාය. එසේ පෙරටුගාමී කෘති බහුතරයගේ අප්‍රසාදයට ලක්වීම අනිවාර්ය තත්වයක් වන අතර පෙරටුගාමී රචකයෝ බහුතරය දිනා ගැනීමට උත්සාහ නොකරති. ඒවා අවශ්‍යයෙන්ම බහුතරය සිතන පතන ආකාරයට එරෙහිව ලියා ඇති අතර කලාවේ නව ප්‍රවණතා පැන නගින්නේ බහුතරයගේ හෙවත් ඔවුන්ගේ වචනයෙන් 'වැඩිදෙනාගේ' ඡන්දයෙන් නොවේ. එසේම බහුතරයට රිදවීම හෙවත් ඩිස්ටර්බ් (Disturb) කිරීම එම කලාවේ ප්‍රධාන වුවමනාවකි. ඩිස්ටර්බින් (Disturbing ) සහ ශොකින් (Shocking) යන පෙරටුගාමී කලාව තුළ අද නිතර කථාකරන වචන දෙක පසුකාලීන කලා නය්‍යායයන් තුළට පැමිණියේ පෙරටුගාමී කලා කෘති හරහා කලාව රසිකයාට රිදවීමේ එහෙමත් නැත්නම් හිංසා කිරීමේ සෞන්දර්යාත්මක දේශපාලනික ව්‍යාපෘතියක් බවට පත් වූ නිසාය.

පාඨකයාගේ සිත දූෂණය කිරීම ලෙස වාර්තාවේ දක්වා ඇති අනිත් චෝදනාව ගනිමු. ප්‍රථමයෙන් අප විමසිය යුත්තේ මෙය කියවන විට එම විනිශ්චය මණ්ඩලයේ සිටි පිරිසගේ සිත් දූෂණය වූවාද යන්නයි. දූෂණය වූවානම් ඔවුන් එම වෘත්තියට සුදුසු නැත. දූෂණය නොවූවානම් ඉන් කියවෙන්නේ දූෂණය නොවන අයද සිටින බවය. එසේනම් දූෂණය නොවන අනිකුත් පාඨකයාට මෙය කියවීමේ අවස්ථාව ලබා දෙන්නේ කෙසේද?

කලා කෘතියක් කියවා රසයක් ලැබුවා යැයි කිව හැකිය, රසයක් නොලැබුවා යැයිද කිව හැකිය. බිය, දුක, හාස්‍යය, ආනන්දය, ප්‍රඥාව ආදී භාව සහ අත්දැකීම් ලැබුවා හෝ නොලැබුවා යැයිද කිව හැකිය. එහෙත් කලා කෘතියකින් 'සිත දුෂණය වූවා' යැයි කිව හැකිද? මා දන්නා තරමින් කලා කෘතියක් ඇසුරු කර 'සිත දුෂණය වූ' තත්වයකට පරිවර්තනය වූවකු ගැන මෙතෙක් වාර්තා වී නැත. කලා කෘතියකින් විය හැකි අනර්ථය පිළිබඳවද මෑතක සිට අධ්‍යයන රැසක් කෙරී අති අතර ඒ අනූව කලා කෘතියකින් විය හැකි බරපතලම අනර්ථය නම් එය වෙනත් විධියකට කියවා තවකෙකුට හානිකර අදහසක් ඇති කර ගැනීමට ඇති හැකියාවය. ඒ සඳහා අදාළ වන්නේ කෘතියේ අන්තර්ගතය නොව කලා කෘතියක් ලෙසට එහි ඇති ඊටම ආවේණික සන්ධර්භයීය මූලාශ්‍ර, දෘෂ්ටිවාද, ව්‍යංග්‍යාර්ථ, සංකේත, යටිපෙළ, වක්‍රෝක්ති ප්‍රකාශ, කාව්‍යමය සංකල්ප ආදී එකිනෙක මත මිශ්‍රව සහ අමිශ්‍රව පවතින අතිශය වියුත්ක සංයුක්ත ලක්ෂණ වන අතර ඒවා නිවැරදිව ග්‍රහණය නොවී කෘතිය විසින් අපේක්ෂිත අකාරයට ඒ හා සම්බන්ධ විය නොහැක. මීට අමතරව කලාව රසවිඳීමට හේතුවන අධ්‍යාපනික, සාමාජයීය, සංස්කෘතික හා සන්ධර්භයීය ආදී සීමාවන් රැසක් කෙනෙකුට බලපානු ලබයි. ඒ අනූව කෙනෙකු අනර්ථකාරී අදහසක් ඇති කරගැනීම ඕනෑම කලා කෘතියකින් පමණක් නොව විවිධ මට්ටම්වල මිනිසුන් ජීවත්වන සංකීර්ණ සමාජයක් තුළ ප්‍රවෘත්තිවල සිට ඕනෑම නිදහස් ප්‍රකාශයකින් පවා සිදුවිය හැකිය. මනමේ නාට්‍යයෙන් ගැහැනිය චපලයි යන අති භයානක අනර්ථකාරී අදහස ඇතිකර ගත්තවුන් ඕන තරම් මට හමුවී ඇත. 'ප්‍රේමයෙන් මන රංජිත වේ, නන්දිත වේ - පූෂ්පයෙන් වන සුන්දර වේ, ලංකෘත වේ' ලෙස වූ යෙදුම් පවුලේ සියලු දෙනාටම තේරෙන භාෂාවක්ද? අතිශය කාව්‍යමය භාෂාවකින් ලියා ඇති තම මව සමග සහවාසයේ යෙදෙන ඊඩිපස් නාට්‍යය වැනි කෘතියක් කිසිදිනක සාහිත්‍ය ඇසුරු නොකළ මිනිසකුට ලබා දී නාට්‍යයෙන් කියන්නේ කුමක්දැයි විමසා බලන්න. මේ අනූව කෘතිය කෙතරම් විශිෂ්ට වුවද කෙනෙකු අනර්ථකාරී අදහසක් ඇතිකර ගැනීම වැළැක්විය නොහැක.

සමාජයක් යනු ආගම්, ජාති වර්ගයන්ගෙන් මෙන්ම සංස්කෘතික, සාමාජයීය, අධ්‍යාපනික ආදී විවිධාකාර සීමාවන් සහ මට්ටම් තුළ මිනිසුන් ජීවත්වන සංකීර්ණ අවකාශයකි. එහිදී එක් කොටසකට හෝ 'වැඩිදෙනෙකුට' අවැසි පරිදි සුළුතරය සෑහීමකට පත්විය යුතුයැයි ඔබට කිව නොහැකිය. 'බහුතරය', 'වැඩිදෙනා', 'පවුලේ සියලුදෙනා' ආදී ලෙස සමාජය අතිශය පටු ලෙස සහ ඒක රේඛීයව වටහාගෙන ඒවා ප්‍රධාන මිම්ම කොට කලාව සහ මිනිස් අයිතිවාසිකම් ආදිය පිළිිබඳ තීරණය කළ නොහැකිය. වර්තමානය තුළ දියුණු දැනුම සමග අප හඳුනාගෙන ඇති ප්‍රධාන ධාරාවට බාහිරව පවතින අතුරු ධාරාවන්ගේ (Marginalized) අයිතීන් සහ වුවමනාවන්ද පිළිිගත යුතුය. ඒ අනූව ගොළු, අන්ධ ආදී ආබාධිත තත්වයන් මෙන්ම ද්වි ලිංගික, සම ලිංගික ලිංගික නැඹුරුතාවය, දෙමළ, මුස්ලිම්, ඉංග්‍රීසි, ආදිවාසී ආදී වාර්ගික වෙනස්කම්, වමත්කරුවන්, තනිකඩයින් සහ තවත් විවිධාකාර සම්ප්‍රදායයන්, මතිමතාන්තර, විශ්වාස සහ ජීවන විලාසිතාවන් මත ජීවත්වන්නන්ගේ වුවමනාවන් පවතී. කලා රසිකත්වයද එසේම වන අතර විවිධ සුළුතර සමාජ ධාරාවන්ට පමණක් රස විඳිය හැකි කලා කෘති ද පවතී. බොහෝ පෙරටුගාමී කලා ව්‍යාපාරවල ඇති ලක්ෂණයක් නම් ඒවා අර ප්‍රධාන ධාරාවේ පීඩනයට යටත්ව සිටින අතුරු ධාරාවන්ගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටීමයි. මාලකගේ කලා කෘතියේ නැඹුරුව ඇත්තේ මෙම කලා විනිශ්චය මණ්ඩලය විසින් ආරක්ෂා කරන 'වැඩිදෙනෙකුගේ' ප්‍රධාන ආගම, පවුල, ජාතිය ආදී ප්‍රධාන දහරාව විසින් හඳුනා නොගත් සහ එහි පීඩනයට ලක්වූ සුළුතරයගේ රසඥතාවය ඇතුළු මේ අතුරු ධාරාවන්ගේ පාර්ශවය දෙසටයි.

කිසියම් ජාතියකට හෝ ආගමකට අගෞරවයට තුඩු දෙන කරුණුවලට මීළඟට චෝදනා කරයි. ලොව බිහිවී ඇති පෙරටුගාමී කලා කෘතිවලින් හරි අඩකටත් වඩා විවේචනය කර ඇත්තේ ඍජුව සහ වක්‍රව ආගම සහ ජාතිකත්වයයි. ඊට හේතුව මිනිසා ඔහු හෝ ඇය බිහිවූ සංස්කෘතියේ නිෂ්පාදනයක් නම් එකී මිනිසාගේ ආකල්පමය අර්බුදයන් හෝ වෙනත් සමාජ භාවිතයේ අර්බුදයන් ඇත්නම් ඒ පිටුපස ඔහු හෝ ඇය නිර්මාණය කළ ජාතිය සහ ආගම අනිවාර්යයෙන් සිටී. සාහිත්‍යයේදී ඇරිස්ටොපානිස් තරම් ඈත ඉතිහාසයේ සිට ලේඛකයින්ගෙන් උදාහරණ ඇති අතර වඩාම පිළිගත් ශේක්ෂ්පියර්, බ්‍රෙශ්ට් වැන්නන් මෙන්ම මුනිදාස කුමාරතුංග වැන්නන් පවා ඊට උදාහරණ වශයෙන් ගත හැකිය. මහගමසේකර මුළු සිංහල ජාතික ගීයම පදයෙන් පදය විවේචනය කර එම ගීතයෙන් කියන්නේ ජාතියේ ශ්‍රේෂ්ඨත්වයට වඩා බංකොලොත්භාවය යැයි පෙන්වා දුන්නේය. මයිකල් මෝ තම "මෝඩ සුද්දෝ" (Stupid White Men) නම් කෘතියෙන් නමින්ම කියනා පරිදි සුදු ජාතීන්ගේ අගතිය ඉතා දරුණු ලෙස විවේචනය කළ අතර සුදු ජාතික රටවල එය අලෙවි වාර්තා තැබීමෙන් කියවෙන්නේ ඔවුන් එය පිළිගත් ආකාරයය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලේඛකයාට ඒවා විවේචනය කිරීමට පූර්ණ නිදහසක් ඇත. එසේම එම විවේචනයට එරෙහිව පෙරළා විවේචන හෝ මත පළ කිරීමටද නිදහසක් ඇත. එහෙත් මේ දෙපාර්ශ්වයෙන් කවර පාර්ශ්වයකට හෝ අනෙකා විවේචනය කිරීමෙන් වළකින්නැයි කියන්නට හෝ බාධා පමුණුවන්නට හෝ අයිතියක් නැත. එහෙත් විවේචනයට හා විසම්මුතියට අවසරයක් නැති වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය සහිතව ක්‍රියා කරන අගතිගාමී සමාජයන් විවේචනය දකින්නේ අපහාසයක් ලෙසටය. බුදු දහමේ එන චරිත ද අවශ්‍ය නම් මුළු බුදු දහම ද විවේචනයට විවෘතය. එය ගෞතම සිද්ධාර්ථම පිළිගෙන ඇත. එසේම මෙම විවේචනයට නුසුදුසුයි කියන බෞද්ධ පුරාවෘත්තිවල එන චරිත සහ ඒවායේ ප්‍රතිරූප ද මූලාශ්‍රය කුමක් වුවත් පවතින්නේ සමාජමය ගොඩ නැංවීමක් ලෙසටය. එබැවින් ඒවා ද නිර්මාණයන්ය. කෙසේ හෝ ගෞතම සිද්ධාර්ථගේ සිට කාල් මාක්ස් හරහා අතුරලියේ රතන දක්වා ඕනෑම කෙනෙකුට තමා දකින ආකාරයට අනූව ජීවිතය විග්‍රහ කිරීමටත්, ඉන් ගැලවීමේ මාර්ගය ඉදිරිපත් කිරීමටත් අයිතියක් ඇත. එසේම එම අදහස් හදාරන්නේද වෙනස් කරන්නේ ද නැත්නම් ඒවාට වඳින්නේ ද යන්න තීරණය කිරීමටත් අනිකාට අයිතියක් ඇත. අනෙක් අතට බුදුදහමේ දේපළ අයිතිය ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලාව පිළිබඳ විනිශ්චය මණ්ඩලයකට පවරාදී ද නැත.

මීළඟට ඔවුන් රාජ්‍යතන්ත්‍රය සාවද්‍ය ලෙස දෝෂ දර්ශනයට ලක් කිරීම ගැන වාර්තාවේ චෝදනා කරයි. නැවතත් කිව යුත්තේ වරක් චෙකෝෆ් කී ලෙස "රජය යනු දෙවියන් වහන්සේ නොවේ" යන්නයි. දෙවියන්ද රජයද යන දෙකම විවේචනය කළ හැකිය. එය සාවද්‍යද නිරවද්‍යද යන්න පාඨකයා තීරණය කරනු ඇත. සාවද්‍ය නම් පාඨකයා එය ප්‍රතික්ෂේප කරනු ඇත.

එසේම බාල, මහලු හැමදෙනාටම එකසේ රස විඳිය හැකි නොවීම ඔවුන්ගේ වාර්තාවේ තවත් චෝදනාවකි. බාල, මහලු සැමදෙනාටම එක සේ රස විඳිය හැකි යනු අවුරුදු හතේ ළමයාටත් හැත්තෑවේ මහල්ලාටත් රස විඳීමට හැකි දෙයක් නිර්මාණය කිරීමයි. එය කළ හැකි එකම ක්‍රමය අවුරුදු හතේ ළමයාට කෘතිය නිර්මාණය කර පවුලේ සියලුදෙනා රස විඳීමයි. නැතහොත් හතයි හැත්තෑවයි අතර සියලු දෙනාටම තේරෙන ලෙස කළ හැකි වෙනත් ක්‍රමයක් නැත. සාමාන්‍යයෙන් ළමුන්ට "ළමා සාහිත්‍යය" ඇත. මෙම කෘතිය මාලක ළමුන් සඳහා ඉලක්ක කර නැති බව පැහැදිලිය. එසේම මා පෙර සඳහන් කළ බොහෝ සාහිත්‍ය කෘතීන් ද ළමුන්ට කළ ඒවා නොවන අතර ඒවායේ "වැඩිහිටියන්ට පමණයි" යනුවෙන් සඳහන්කර ද නැත. අවශ්‍ය නම් දැන් ඕනෑම ළමයෙකුට "ලේඩි චැටර්ලිස් ලවර්" කෘතිය වෙළඳෙපොළෙන් ගෙන කියවිය හැකිය. එසේත් නැත්නම් ඒ බොහෝ පොත් දැන් ඉන්ටනෙට් ඔස්සේ කියවිය හැකිය.

එමෙන්ම විනිශ්චය මණ්ඩලයක් යනු රටේ සිටින පරමාදර්ශී පාඨකයින් නොවේ. ඔවුන්ට වඩා පුළුල් රසිකත්වයක් තිබිය හැකි වෙනත් විධියකට කෘතිය කියවන පාඨකයන් අපමණවත් සිටිය හැකිය. එබැවින් විනිශ්චය මණ්ඩලයක සිටින දෙතුන් දෙනෙකු විසින් රටේ සිටින මිලියන ගණනක පාඨකයන්ගේ විවිධ රසිකත්වයන් හා ඔවුන්ට අවශ්‍ය හා අනවශ්‍ය දේ තීරණය කළ නොහැකිය. විශේෂයෙන් මාලකගේ කෘතිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති හේතුවලින් පෙනෙන්නේ කෘතියක් පාඨකයා විසින් තෝරා ගත යුතු ආකාරය, කිවයුතු නොකිවයුතු ආකාරය සහ එහි ගුණදොස් විමසන විචාරකයාගේ කොටස ආදී සියලුම අංශ මෙම විනිශ්චය මණ්ඩලය විසින් කරන්නට ගොස් ඇති බවයි.

විනිශ්චය මණ්ඩලය විසින් කල්පනා කර ඇති සමහර කරුණු ද ඇතුළුව කෘතියක සාර්ථක අසාර්ථක බව සහ එය රසවිඳීමේ ඇති සංකීර්ණතා ආදිය විමසීම විචාරකයාගේ කටයුත්ත වන අතර කෘතියක තිබිය යුත්තේ මොනවාද, නොතිබිය යුත්තේ මොනවාද, ඒවා කෙසේ හසුරවන්නේද, කවර අර්ථයක් මතුකරන්නේද ආදිය නිර්මාණ කරුවාගේ කටයුත්තය. කිසියම් කලා කෘතියකින් කිසියම් පුද්ගලයකුට හෝ ජනකොටසකට කිසියම් හානියක් සිදුවී ඇත්නම් එය එසේ වන්නේ කෙසේද යන්න නඩු විභාගයකින් තහවුරු කර පෙන්වීම සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රමවේදය වේ. මෙසේ කලා කෘතියක් කෙනෙකුට ග්‍රහණය කර ගැනීමට හෝ දරා ගැනීමට නොහැකිවීම නැතහොත් එමගින් කිසියම් විශ්වාස පද්ධතියක් (උදා:- සිංහල සභ්‍යත්වය?) අපහසුතාවයට පත්වීම කලාවේ විවිධ අවස්ථාවල එය තම නොනවතින පියවර තබන විට ඇතිවන වැළැක්විය නොහැකි නෛසර්ගික ලක්ෂණයක් වන අතර කළ යුත්තේ ඊට කලබල වී වාරණය කරන්නට යාම නොව, කලාවේ ඇති එම ගතික ලක්ෂණය තේරුම් ගන්නට තරම් පරිණත වීමයි. ඒ සමඟ ගනුදෙනු කළයුතු නව දේශපාලනය හා සෞන්දර්යය සොයා ගැනීමයි. එකඟ නැත්නම් විචාරය හරහා කලාවේ කතිකාව පුළුල් කිරීමයි. එසේ විනා කිසිදු සංස්කරණ වාරණ ක්‍රමවේදයකින් මේ ප්‍රශ්නය විසඳිය නොහැකිය.



එබැවින් කළ යුත්තේ කලා කෘතියෙන් හානි සිදු වෙනවා යැයි සිතන පිරිසට කලාව රසවිඳීමට හේතුවන අධ්‍යාපනික, සාමාජයීය, දේශපාලන හා සන්දර්භයීය සීමාවන් හඳුනාගෙන හැකි තරම් එම සීමාවන් ජය ගැනීමට අවශ්‍ය පුළුල් සංස්කෘතික හා බුද්ධිමය පරිසරයක් ඇති කිරීමයි. ඔවුන් විශාල වශයෙන් දැනුම් හා තොරතුරු ගැවසෙන පුළුල් සංස්කෘතික පරිසරයක් තුළට ගෙන ඒමයි. මිනිසුන්ට පුළුල් මතයක් හා බුද්ධියක් ඇති වන්නේ විවිධ ශෛලියේ කලා කෘති විවිධ දෘෂ්ටිවාද අදහස් විශාල සංඛ්‍යාවක් ගැවසෙන පරිසරයක ජීවත් වන විට බැවින් කලාව වාරණය හැමවිටම අවසන් වන්නේ මිනිසුන් පටු හා අඩු අත්දැකීමක් ඇති අය බවට පත් කිරීමෙන්ය. රජයකට හැමවිටම වාරණය අවශ්‍ය වන්නේ මෙකී පුළුල් බුද්ධිමත් සංස්කෘතික පරිසරයක් ගොඩ නැගීමට අවශ්‍ය දැනුම නිර්මාණ ශක්තිය හා නිවැරදි ප්‍රායෝගික සැලසුමක් නැති වූ විටය.

-ධනංජය කරුණාරත්න
[නාට්‍ය අංශය- වොලොංගොං විශ්ව විද්‍යාලය ]

ධනංජය කරුණාරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails