Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පොඩි පුතණුවන් තම උපාධිය සම්පුර්ණ කරගෙන පශ්චාත් උපාධිය සදහා සැරසෙන බව දැනගන්නට ලැබුණි. මට මතක ලෙස ඔහු සරසවියට ඇතුලත් වුයේ අපටත් පසුවය. නමුත් අපට අද සිදුව ඇත්තේ අපගේ උපාධි සිහිනය පසෙක ලා බලා සිටීමටය. ඔහුට ඔහුගේ දරුවන් වටිනවා සේම අපගේ දෙමවුපියන්ට අපව වටිනා බව මතක් කර දීමට කැමැත්තෙමු. අපගේ දෙමවුපියන්ට ද අපට ද අනාගත බලාපොරොත්තු දහසක් ඇත. අපට ඉහළට යාමට ඇති එකම මග අධ්‍යාපනය පමණි. අපගේ දෙමවුපියන්ට අපව පිටරට ගොස් ඉගැන්වීමට මුදල් නැත. නමුත් ආණ්ඩුව විනාශ කරමින් යන නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අපගේ හැකියාවේ නාමයෙන් අද අප උපාධි සිහිනය දකින්නෙමු.

ප්‍රශ්නය ඇත්තේ කොතනද? සැමදා සටන් වලට ගැසූ ලේබලය වුයේ ජනතා විමුක්ති පෙරමුණේ ලේබලයයි. නමුත් අද මේ රටේ සාමාන්‍ය ජනතාව අතර එය ප්‍රතික්ෂේප වී යන විට අද අලුත්ම ලේබලයක් ගසා ඇත. ඒ බටහිර අධිරාජ්‍ය ගැති, දේශද්‍රෝහී ලේබලයයි. ආණ්ඩුව කරන වැරදි දැක දැක නිහඩව සිටීම දේශප්‍රේමීත්ව ද? විශ්ව විද්‍යාල ආචාර්යවරු, සිසුන් දේශද්‍රෝහීන් ද? ගුරුවරු, උසස් පෙළ සිසුන් දේශද්‍රෝහීන්ද? 2005 ජනපතිවරණයේදී ජනපතිතුමාට ශක්තියක් වූයේ මේ පිරිසම නොවේද? මේ ආණ්ඩුවේ හැටිය අප හරියාකාරව තේරුම් ගත යුතුය.

දරුවන් ඉම්බ පමණින්, දරුවන් අතට ගෙන නැලවූ පමණින් දරු දුක ඇති වන්නේ නැත. කල යුත්තේ සැබෑවටම දරුවන් හට ආදරය කිරීමයි. සැබෑවටම දරුවන් හට ආදරේ නම් දරුවෙකුගේ මූලිකම අවශ්‍යතාවක් වන අධ්‍යාපනයට ප්‍රමුඛතාව දීමයි. නමුත් අද සිදුවන්නේ කුමක්ද? මේ රටේ සිටින ඉහළම බුද්ධිමතුන් පිරිස වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මහ පාරට ඇද දැමීමයි. අප දන්නා කිසිම කලෙක ඉතිහාසයේ මෙය සිදු වී නොමැත. ආචාර්යවරු පඩි පත වැඩි කර ගැනීමට මේ සටන ගෙන යනවායි රාජ්‍ය මාධ්‍ය ප්‍රමුඛ වාහිනී තෙපලමින් යයි. අප කියන්නේ ආචාර්යවරු තම වැටුප ගැන කතා කල යුතුයි. විදුලි බල මණ්ඩලයේ රියදුරෙකු රු.50,000ක වැටුපක් ලබනවානම් ආචාර්යවරයෙකුට රු.60,000ක වැටුපක් ඇතිද? ඉංජිනේරු පීඨයකින් පිටවන සාමාන්‍ය සිසුවෙකු ඇරඹුමේදී රු.50,000-60,000 වැටුපක් ලබන විට ඔහුව තැනූ ආචාර්යවරයා රු.60,000ක වැටුපක් ලැබීම සාධාරණද? වසර 15-20ක් තම ජීවිතය අධ්‍යන කටයුතු වෙනුවෙන් වැය කරන ආචාර්යවරයෙකු තම වැටුප ඉල්ලීම අසාධාරණද? මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් බුද්ධිමතුන් බවට පත් කල ඔවුන්ට සමාජයේ හිමි තැන මෙයද? මේ රටේ ජනතාව වැටුපේ තරම ගැන නොසිතිය යුතුද? බැලිය යුත්තේ ආචාර්යවරයෙකු කල කැප කිරීම අනුව ඔහුට ලැබෙන වැටුප සාධාරණද කියාය.









අනෙක මේ රටේ මෙතෙක් පැවති කිසිදු වෘත්තිය අරගලයක් මෙතරම් මානව හිතවාදී වූයේදැයි නොදනිමි. තම පඩි පත දෙවන තැනට දමා එයට එහා ගිය අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන් කිරීමට බල කෙරෙන මෙහෙයුමක් දක්වා මෙම අරගලය පුළුල් කිරීම පිලිබදව ඔවුන් තුල ඇති මානුෂීය හැගීමයි. ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් අතර ආණ්ඩු පෙරලීම් හෝ අධිරාජ්‍ය මැදිහත් වීම් අප නම් නොදුටුවෙමු. ඊනියා දේශප්‍රේමීත්වය මුලට ගෙන රටේ ගෙන යන සැබෑ අරගල විනාශ කිරීමට සැරසෙන ආණ්ඩුවේ දේශප්‍රේමීත්වය ගැන අප නැවත වරක් සිතා බැලිය යුතුය.

තව කාරණයක් ඇත. ආණ්ඩුව කියන්නේ ලංකාව ආසියාවේ ආශ්චර්ය කරනවා කියාය. අධ්‍යාපනයෙන් තොර ආසියාවේ ආශ්චර්යක් මටනම් සිතා ගත නොහැකිය. පාරවල්, ගොඩනැගිලි, වරායන්, ගුවන්තොටුපළවල් හැදූ පමණින් ආශ්චර්යය පහළ වන්නේ නැත. ආශ්චර්ය පහළ වීමට නම් ජනතාව පළමුව බුද්ධිමත් නිරෝගීමත් පිරිසක් වීම අත්‍යවශ්‍යයය. සිතන්න ගල් යුගයේ සිට අප මේ ආ ගමන ආවේ අධ්‍යාපනය නිසා නොවේද? ඇදුම් පැළදුම් පවා සොයා ගත්තේ අධ්‍යාපනයේ දියුණුව නිසා නොවේද? අනිත් සත්වයින් පරදවමින් මානව සංහතියක් ලෙස සත්වයින් අතර බුද්ධිමත් තැනට පැමිණියේ අධ්‍යාපනය නිසා නොවේද? මේ අපව නැවත දක්කාගෙන යාමට සැරසෙන්නේ ගල් යුගයකට නොවේද? නැතිනම් පාලකයන් කියනා පරිදි නටන රූකඩන් පිරිසක් තැනීමට නොවේද?

ආණ්ඩුව විශ්ව විද්‍යාල වසා දැමුවේ නැවත යථා තත්වයට පත් කිරීමටයැයි පවසමිනි. මාස ගනනක් විශ්ව විද්‍යාල තුල අධ්‍යන කටයුතු නොකරන බව ආණ්ඩුව නොදැන සිටියාද? ජනාධිපතිතුමන් මෙය නොදැන සිටියාද? මේ වර්ජනය පිළිබද පැවසුවේ ගිය වසරේ සිට නොවේද? නමුත් ආණ්ඩුව කලේ ආචාර්යවරු රැවටීම නොවේද? මහජනයා රැවටීම නොවේද? ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසදීමට උවමනාවක් තිබුනානම් ඕනෑ තරම් කල් තිබුණි. ආණ්ඩුවට මුදල් නැතිද? යුද්ධයට වියදම් කල මුදල් වලට සිදුවන්නේ කුමක්ද?

අද අධ්‍යාපනය ට යොදා තිබෙන රූකඩ දෙස බලමු. මොවුන්ට රටක බුද්ධිමතුන් හසුරවනවා තියා කුඩා තේ කඩයක්වත් පාලනය කිරීමට තරම් මොළයක් තිබෙන අයදයි සැක සහිතය. මොවුන් ප්‍රශ්න විසදන්නට හදන්නේ කටින්ය. නැතිනම් තග දමාය. සංවාදශීලී නැත. තර්කානුකුල නැත. අහිංසක දරුවන් ගැන සිතන්නේ නැත. මෙවැනි මෝඩයන් අධ්‍යාපනයේ ඉහළ පුටු වල තැබීමෙන් අධ්‍යාපනය ගැන ආණ්ඩුවේ ස්ථාවරය අපට හොදින්ම පැහැදිලිය.

අද අධ්‍යාපනයේ අර්බුදය ඔඩු දුවා ඇති තරම සැලකුවහොත් විශ්ව විද්‍යාල, උසස් පෙළ සිට ශිෂත්ව විභාගය දක්වාම අවුල්ය. සාමාන්‍යයෙන් වරදක් කල පසු ඒ වරද නිවැරදි කර නැවත මෙවැනි වැරදි සිදු නොවීමට ක්‍රියා කිරීම බුද්ධිමත් බවේ ලක්ෂණයකි. නමුත් මොවුන් කරන්නේ නැවත නැවත එම වැරදි සිදු කිරීමයි. එසේ කිරීමට හේතුව අප සිතා බැලිය යුතුය. ආණ්ඩුවට අවශ්‍ය රාජ්‍ය අධ්‍යාපනයට රටේ හිමිතැන අහිමි කර රට තුල පෞද්ගලික උපාධි කඩ විවෘත කිරීමටයි. සිතන්න, මේ ආණ්ඩුවේ සිටින එකම අයකුගේ දරුවෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල තුල ඉගෙනුම ලබනවාද? ඒ ඇයි? මේ කිසිදු අයෙකුගේ දරුවෙකුට රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමේ දක්ෂතාවයක් නොමැති නිසා, ඔවුන් කරන්නේ රටේ ජනතාවගේ මුදල් වලින් තම දරුවන් විදෙස් රටවලට යවා ඉගැන්වීමයි.

මර්වින්ලාගේ පුතාලා මම සාමාන්‍ය පෙළවත් සමත් නැතැයි ද එත් මට තිබෙන්නේ ලක්ෂ 400 ක කාරයකයි කියන්නේ ද ඉතාමත් ආඩම්බරයෙනි. අයිෆා, කාල්ටන් කාර් රේස්, කාල්ටන් රගර් තරග, කවිතා, නායකත්ව පුහුණු සඳහා විශාල වශයෙන් මුදල් ඇති බව පෙනේ. නමුත් අධ්‍යාපනයේ මුලික අවශ්‍යතා සදහා මුදල් වෙන කරන්නේ නැත. ජනාධිපති උපදේශකයින් සිය ගනනක් සිටින රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් උපදෙස් දෙන්නේ හරක් ද?

දැන් දැන් ආචාර්යය සටන වටා දහස් ගණනින් ජනතාව එකතු වෙමින් සිටිති. තව දුරටත් විසදුම් නොලැබුණහොත් කල යුත්තේ මෙය සියලු දෙනාගේම සටනක් බවට පත් කිරීමයි. ඒ සදහා එක තැනකට ජනයා පෙළ ගැසෙමින් සිටිති. ආණ්ඩුවේ කටු කන යුක්ති වැනි එවුන් යොදාගෙන සිසුන් මෙම සටනට එරෙහියයි සමාජයට පැවසීමට නීච උත්සාහයක ආණ්ඩුව නිරත වෙමින් සිටියි. මේ යුක්තිලා යුක්තිය ඉටු කරන්නේ කාටදැයි සියළු සිසුන් හොඳින් ම දනිති.

සියලු සිසු ප්‍රජාව ආචාර්යවරුන් සමගය. අපට ඔවුන් සමග විවිධ මතවාද තිබෙන්නට පුළුවන. ඔවුන් අපේ ගුරුවරුන්ය. මේ සටනේදී වැහි, කුණාටු නොසලකා අප ඔවුන් සමග සිටින්නේ ඒ නිසාය. ජයග්‍රහණය දක්වා අප සටන් කල යුතුය. අප කල යුත්තේ එයට ශක්තියක් වීමය. ඒ සඳහා අප ආරාධනා කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය. හර්ද සාක්ෂියක් ඇති කිසිවෙකුට මේ ව්‍යසනය දෙස තවත් බලා සිටිය හැකිද? තව දුරටත් බොරු බේගල් වරට නොරැවටී මේ අරගලය සමගින් එක් වන ලෙස අප ඔබට ඇරයුම් කරන්නෙමු. ඒ ඔබගේ දරුවාගේ, ඔබගේ මුණුබුරන්ගේ අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙනි.







බුද්ධික ප්‍රභාෂ් ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails