Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සරසවිය මල් පාරක් රහිත වූවකි. පාර පුරා මල් ඉසින්නට මල් ගස් තිබුනේ නැත. ඉඳහිට මග අවාරෙට සිටගෙන සිටි නා ගසක් නා මල් පුබුදුවා තිබිනි. මල් තියෙනවා යයි කියන්නට ඒ ඇති ය. නා ගස සතුව සදාකල් හිත තුල සගවාන සිටි දුකක් තිබිණි. ඒ නා දලු පාට තොල් ඇති යුවතියන් නැති බව ය. නා ගස් සෙවනෙහි පෙම් කරන්නට නැවතුණු යුවල එකින් එක නා ගස පරීක්ෂණයට බදුන් කළ ද නා දලු පාට තොල් ඇති ළඳක් සොයා ගත නොහැකි විය.

"මේ ගහේ කොල මූණට එනවා..." පෙම්වතියන් මුමුනණු ඇසේ. ඒ නා ගස මුහුණට ම එබෙමින් දෙතොල් පරීක්ෂා කරන අයුරු ය. ලතා දේශන සදහා එන්නේ අන්තිම මොහොතේ ය. කොහොමටත් මහාචාර්යතුමා ඇවිදින් පැය බාගෙකට පමණ පසුව ය. ලතා යනු ලතාගේ සැබෑ නම නොවන අතර සැබෑ නම බහුතරයකට අමතක ය. නැලවිල්ලේ පැද්දෙමින් සරසවිය සිපගන්නා ලතාගේ දෙපා හදිස්සියකටවත් ඉක්මන් නොවේ. ඇගේ ලෙලෙනා නිතඹ මත ඇලවුණු නෙත් ඈ පසුපසින් දේශන ශාලාව තෙක් දිවෙයි.

ලතාගේ දෙතොල් නා දලු වලට යන්තමින් සමකරන්නට හැකි යැයි නා ගස සිතූමුත් හරියටම ගැලපෙන්නේ නැතැයි යළිත් සිතුවේය. ලා රෝස සුදුමැලි පාටක් ස්වභාව ධර්මයා විසින් ඇගේ දෙතොල මත අලවා තිබිණ. බොහෝ සරසවි යුවතියන් මෙන් ඒ උඩින් පාට තවරන්නට ලතා සිතුවේ නැත.

ලතාට ඉහල බැච් එකේ අයියලා දුන් නමය ලතා.

"ලතා.... ලතා... ලතා.."සින්දුවක තාලයට මුමුණනු ලතාට ඇසුනේ වරක් දෙවරක් නොවේ.

සරසවියේ සුලලිත පෙම ගැන ලියවුනු කතන්දර ඇගේ සිතේ මල් නොපිබිදුවා නොවේ. නමුත් නෑසූ කන්ව නොදැකූ ඇස්ව සිටින්නට ඇය පුරුදු වූයේ සිය සිත තුළ අම්මා පිලිබදව වූ දුක නිසාය.

තමන්ට උගන්වන්නට ඇය නොවිඳිනා දුක් වින්දා ය. උදේ පාන්දර චීත්තයක් හැට්ටයක් ඇද තේ දළු නෙලන්නට යන ඇය ආපසු එන්නේ සවස් ජාමයේ ය. වතු දෙකක පමණ දිනකට දළු කැඩීමට ඇය පුරුදුව සිටියේ තමන්ටත් අක්කාටත් හරිහමන් විදියට උගන්වන්නට බව ලතා දැන සිටියාය. අරුමය කියන්නේ නා ගස මේ බව දැන නොසිටීමය. නා ගස දන්නේ රෝස පාට තොල් ගැන පමණය. යුවතියගේ සිත් සතන් තුල ඇති දුක නා ගස නොදැන සිටියා මෙන්ම දැනගන්නට උවමනාවක් තිබුනේ ද නැත.

ලතා කල එලියකට නො ඇන්දා ය. කන පාට ඇදුම් නිසා ඇයව කැපී පෙනුනේ නැත. සරසවිය යනු ඉගන ගන්නට ම පමණක් පැමිනෙණ තැනක් නොවේ. මේ බව පසක් කළ යුවතියන් විවිධ වර්ණ හැඩතල සිරුරට ගලපා ඇන්දෝ ය. ඔවුන්ගේ කැපී පෙනෙන සිරුරේ හැඩතල පිරිමි නෙත් ආකර්ෂනය කළෝය. නා ගසේ නෙත් හැර. නා ගස තවමත් රෝස පැහැ දෙතොලක් ගැන වද වෙමින් සිටියේය.

"සති අන්තෙ ගෙදර යන්නෙ නැද්ද?"

"අම්මා මොනවද කරන්නෙ?"

"තාත්තා මොනවද කරන්නෙ?"

"ඔයාගෙ ගම කොහෙද?"

මේ වචන ගැහැනියක් තවත් ගැහැනියකගෙන් අසන්නේ නම් ඒ කම්මැලිකම ගෙවාගන්නට ය. එහෙත් පිරිමියෙක් සහ ගැහැනියක් අතර සන්නිවේදනය වන මෙම වචන සමහර විටක අනාගතකාලීන පෙමකට ඉඟි ගෙනෙයි. ඉදින් ලතා සමග මේ වචන දෙඩූ අයත් සිටියහ. ඒත් ලතා දුන් උත්තර ඔවුන් උත්තේජනය කල දෑ නොවුනි. පේ‍්‍රමයේ බිජු, වපුළ තැන්වල ම වියලුණි.

ලතාගේ අධ්‍යාපන කටයුතු හැකි තරම් හොඳින් කරන්නට ඇය වෙහෙසුනා ය. දිවා රෑ නොබලා උගත්තාය. ඇයට ද සිහින හා අරමුණු තිබිණ. ඒවා ඒතරම් දුර ගිය දෑ නොවුණි. පළමු පන්තියේ සම්මානයක් මෙන් ඉතා සරල, ළඟින් ම පෙනෙන දෙයක් ගැන ඈ සිහින මැව්වා ය.

නිතින්දර බණ්ඩාර ලෙහෙසියෙන් උසස් සාමාර්ථ ලබා නොදෙයි. ඔහුට ඇවැසි ම උත්තරය ලබා දුන්නොත් පමණි ඔහු ලකුණු ලබා දෙන්නේ. ඇත්තට ම නම් එය අපහසු කාරියකි. අනිත් අයගේ සිත් කියවීම. නිතින්දර මහාචාර්යතුමා අනෙක් ඇදුරන් මෙන් සවස පහට සේවය හමාර නො කරන බව සිසුහු දැන සිටියෝ ය. උවමනා ඕනෑම වෙලාවක ඔහුගෙන් ප‍්‍රශ්න විචාරීමටත් පිළිතුරු ලබාගැනීමටත් හැකියාව තිබිණ. රාත‍්‍රී කුප්පි අතරෙහි මතුවන ප‍්‍රශ්න වලට ද ඔහු පිළිතුරු බැන්දේ කැමත්තෙනි.

එහෙත් ළමුන්ට නිවැරදි අධ්‍යාපනයක් ලබාදෙන්නට උත්සාහ ගන්නා මෙවැනි ඇදුරන් විභාග වලදී භාවිතා කරන්නේ ඉතාමත් තද ක‍්‍රියාමාර්ග ය. නිතින්දර බණ්ඩාර වැටුනේද ඒ ගණයට ය. ඔහුගේ විෂයයට 'බී'සාමාර්ථයක් ගන්නේ ද ඉතාමත් දක්ෂයෙකි.

හතර වන වසර නිබන්ධනය සදහා "කාන්තාව සහ ගෝලීයකරණය" මාතෘකාව තෝරාගත්තේ ලතා විසිනි. බණ්ඩාර සර් ගේ කැමැත්ත සහිතවය. නිබන්ධනය සදහා භාරකාර ඇදුරු වශයෙන් නිතින්දරව තෝරාගත්තේ ලතා පමණකි. හේතුව 'නොදනී'. නොදනී යනු, මේ සදහා ලතා විසින් නිතින්දර ඇදුරුව තෝරාගැනීමට හේතුව කතාකරු මෙන්ම ලතා ද නිශ්චිතව නොදන්නා බවය. හේතු නොදන්නා තීරණ අප හැමෝම ජීවිතේ මොනයම් අවධියක හෝ ගෙන ඇත්තෙමු.

"ඔය අත්දැකීම ලබන්න නම් ඇත්තටම වැලිකඩ යන්න ඕනෙ. හිරකාරියෝ ළඟ උවමනා තරමට කතන්දර තියෙනවා." නිතින්දර මෙසේ කීවේ ලතා විසින් අසන ලද පැණයකට ය.

"සර් මේ ගැන ගණිකා වෘත්තියේ යෙදුන කෙනෙක්ගෙන් ම අහන්න ඕනේ..." ඒ ලතා ගේ පැනය විය.

අම්මා නම් කියන්නේ 'වේස ගෑණු කියාය. 'කිසිපදනමක් නැති නමක් බව ලතාට සිතින."එහෙනම් උඹ කිරි දීලා නලවපන්" ඒ බව අම්මාට කියුවානම් පිළිතුර වනු ඇත්තේ මෙයය...

නා ගස ඇත්තටම ගණිකාවන් ගැන නො දැන සිටියා වන්නට හැක. නීත්‍යානුකූල ගණිකාවන් සරසවි බිමට නොපැමිණි බැවිනි. නමුත් වාසි තකා සිසුන් දෙතුන් දෙනාට පෙම්වතියන් වුන සිසුවියන් නොසිටියේ නොවේ. නා ගසට රැකියාව වැදගත් නැත. තොල් නා දලු වලට සම නම් ඇවැසි වන්නේ එපමණය.

"මම හෙට ඇපොයින්මන්ට් එකක් ගත්තා. යමු. මාත් එක්ක වාහනේ යන්න ඇහැකි."

සර් තනියම යන්න මම බස් ඒකේ එන්නම් යැයි කියන්නට දිව නොනැමුණි.

ලතා සිය ජීවිතයේ මෝටර් රථයකින් ගමන් යන පස්වන අවස්ථාවය මේ...

කහ පාට දෙදණ තෙක් දිග ගවුමට ලතාගේ ඇගේ හැඩතල මොනවට කැපී පෙණින. ගවුම පුරාවට දුඹුරු පැහැ පුන්චි මල් ඉහිරී තිබිණ. නිතින්දර සර්ගේ වයස අද නම් පොඩ්ඩක් වත් පේන්නේ නැතැයි ලතා සිතුවාය. කලු කොටු කමිසයට ගැලපෙන්නට කලිසම ඇද තිබිණ. වැලිකඩ සිට ආ පිට පැමිණෙන අතර වාහනය නැවැත්වූයේ කහ පාට මල් ගසක් යටය.

"අපි මොනව හරි බීලා යන්...."

"ළඟ කඩයක් නෑනෙ සර්..."

"කඩයක් තියෙන්නම ඕනෙ නෑ මොනවා හරි බොන්න..."

සර් වාහනෙන් බැස දුවගෙන එනවාත් තමන්ව කිටිකිටියේ සිරකොට සිපගන්නවාත් ලතාට යන්තමින් මතකය. ඉන් පසුව මතක තමන් නිහඬවම පසුපස අසුනේ ඉඳගෙන උන් බව ය. තමන් ඉදිරිපස අසුනෙන් පසුපස අසුනට ගියේ කෙලෙස දැයි ඇයට අමතක ය.

"මට නම් හිත හදා ගන්න පුළුවන් ඔයාට පුළුවන්ද කියලයි මට බය"... නිතින්දරගේ වචන ය.

"කොහොමත් ඉතින් ඔයාට ෆස්ට් ක්ලාස් එකක් ලැබෙනවා... ඔයාගේ තොල් හරි සිනිඳුයි කෙල්ලෙ. ඒ මදිවට රෝස පාට... ඕන කොල්ලෙක් පිස්සු හැදෙනවා"

කොල්ලෙක්... නිතින්දර සර්...... ? ? ? ? ?

වාහනෙන් බැස ලතා සරසවි පාරේ දිව ගියේ අසිහියෙන් මෙනි. බොහෝ දුරක් දිව ආපසු හති හලන්නට නැවතුනේ ඉබේම ය. නා ගස මුල ය. නා ගස කේඬෑරි වී ඇතැයි ලතාට සිතුනි. "අනේ මට සමාවෙන්න අම්මේ..." ලතා ඉකිගසා හැඬුවා ය.

නා ගස හදිසියේ නින්දෙන් ඇහැ ඇරී ලතා දෙස බැලුවේ ය. කෙල්ලගේ තොල් නා දලු වල පාටට ම සමය. හදිසියේ සුදුමැලි දෙතොල් නා දලු පැහැය ම වූයේ කෙසේද?

හේතුව නොවැදගත් ය. නා දලු දෙතොල් හිමි කෙල්ලෙක් සිටී.. සරසවිය තුළ ම.

නා ගසේ හදිසියේ මල් පිපී ලතාව වසා ගති.

දසුනි හෙට්ටිආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails