Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේක පෙලක් වෙලාවට මහ මෝඩම මෝඩ කතන්දරයක් වෙන්ටත් පුලුවනි. ඒ උනාට කමක් නෑ.. මම කොහොමත් කරන්න කැමති වෙලා හිටියෙ මෝඩ වැඩම තමයි. කාට හරි කියන්න පුලුවන්ද සබන් බුබුලු වලට ප්‍රේම කරන එක තරම් මෝඩ වැඩක් ලෝකෙ තව කොහෙවත් තියෙනවද කියල.. මම එකම මෝඩ වැඩේ තුන් පාරක් කරපු මහා ශ්‍රේෂ්ඨ මෝඩයෙක්.. ප්‍රේම භරිතව තව මෝඩ වැඩ කීපයක් කරන්නත් හිතේ තියෙනව..

පලමු වැනි සබන් බුබුල මට මුන ගැහෙනකොට මම හිතන හැටියට මට වයස දාසයයි. හිතෙන හැටියට කිව්වෙ මම වයස මතක් කරන් හිටපු නැති හන්ද.. කොහොම හරි මම එතකොට හිටියෙ ඕලෙවල් පන්තියෙ. ඒ කාලෙ තමයි අර භාතිය සන්තුශ්ලගෙ වසන්තයේ සිංදුව ජනප්‍රිය උනේ. එයාට සිංදු කියන්න බැරි උනාට මට එයාව පෙනුනෙ සන්තුශ් වගේ. ඉතිං අපි ප්‍රේම කරන්න පටන් ගත්තා.. (මම හිතන හැටියට...) එයා සතියකට දෙපාරක් මට එයාගෙ යාලුවෙකුගෙ අතේ ලියුමක් එව්වා.. මම පිලිතුරු ලිවුම යැව්වා.. එයා හැමදාම ලියුමටයටින් අත්සන් කලේ "මේ ඔබට සදා පෙම් බැඳි...." කියල.. ඒක එයා කොහෙන් හොයා ගත්තද මම දන්නෙ නෑ.. එයා දැනගෙන ඉන්න ඇති මම කවි ලියන බව.. කොහොම හරි මම ලියුමෙ ආසම කෑල්ල තමයි ඒ කෑල්ල.. ඒ ඇරුනහම ඒ ලියුම් වල තිබුනෙ එයා කාපුවයි බීපුවයි නාපුවයි විතරයි.. මාස හයකට විතර පස්සෙ ටියුශන් පංතියෙ කවුරුත් නැති වෙලාවක මට කුලුඳුල් හාද්ද ලැබුන.. ඒක නැවත නැවතත් ප්‍රති වාදනය කරන්න සුදුසු සිදුවීමක් නෙවෙයි.. තත්පර තිහකටත් අඩු කාලයක් තුල සිදු වුනු අහඹු සිදුවීමක්.. මට හිතුනෙ මම ආනන්තරීය පාප කර්මයක් කරපු හැටියට.. ඊට ටික දවසකට පස්සෙ එයා කොන්ඩෙ කපන විදිහ වෙනස් කරල තිබුනා... එයාට තිබුනෙ හරි ලස්සන බොකු‍ටු කොන්ඩයක්. එතනින් පස්සෙ එයාව මට සන්තුශ් විදිහට පෙනුනෙ නෑ. ටිකෙන් ටික ලියුම් අඩු වෙලා ගියා. අන්තිමට මම දැක්ක එයා තව කෙල්ලෙකුගෙ අතින් අල්ලගෙන බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා.. සබන් බුබුලු බි‍ඳෙනවනෙ... මට දුක හිතුනෙ නැතුව ඇති..

දෙවැනි සබන් බුබුල මුන ගැහෙනකොට මම හිටියෙ උසස් පෙල පංතියෙ.. ප්‍රේමයක් කියල දෙයක් හරියටම මට දැනුනෙ අන්න ඒ වතාවෙ තමයි. ඒක මහා අමුතු හැඟීමක්.. ගස් වල මල් පිපෙනවා.. කුරුල්ලො කෑ ගහනවා.. දෙයියනේ පුදුමාකාර ෆැන්ටසියක්.. ප්‍රේමය මුලදි ඒකපාර්ශවික වෙලා සෑහෙන වෙහෙසක් දරල මම ද්වීපාර්ශ්වික කර ගත්තා.. අපි ඒ කාලෙ ඉගෙන ගත්තෙ පෘශ්ඨවංශී හා අපෘශ්ඨවංශී සත්වයින් ගැන. ඒත් එයා මනුස්ස ගනයේ කෙනෙක් නිසා හැම වෙලේම බය වෙන්න තියා ගත්තා. ගහකින් ගෙඩියක් වැ‍ටුනත් එයා බය උනා.. හයියෙන් හුලඟක් හැමුවත් එයා බය උනා.. අන්තිමට තමන් බය වෙන්නෙ මොකටද කියල හරියටම නොදැනත් එයා බය වෙන්න පටන් ගත්තා.. නිකං පුරුද්දට වගේ.. ඒත් මම ජීවිතේ පරදින්න කැමති කෙනෙක් නෙවෙයි.. වැටෙන්න වැටෙන්න නැගිටින කෙනෙක්. අවදානමක් ගන්න කැමති කෙනෙක්.. සබන් බුබුල නොබිඳ තියා ගන්න මම සෑහෙන්න උත්සහ කලා.. එයාට ලස්සන තොල් දෙකක් තිබුනෙ.. පිරිමියෙකුට ඒ තරම් ලස්සන තොල් දෙකක් පිහිටීම මම දැකපු පලමු හා එකම අවස්තාව තමයි ඒක.. සබන් බුබුලට ඉර එලිය වැ‍ටුනම හරිම ලස්සනයි.. සුදු ආලෝකය පාට හතකට කැඩෙන හැටි මම හැමදාම ආසාවෙන් බලන් හිටියා.. එයා හරියට මත් පෙත්තක් වගේ.. මම එයාගෙ හැම ඉරියව්වක්ම, කොටින්ම කියනව නම් එයා දවසකට ඇස්පිය ගහන වාර ගාන පවා මතක තියා ගත්තා.. එයා මට ප්‍රේම කලා ඇත්ත වශයෙන්ම.. ඒත් එයා හුඟක් නීතිගරුකයි.. සුදු පාට අය මට ගැලපෙන්නෙ නෑ නෙ... සබන් බුබුල බි‍ඳෙන්න ලං උනා.. මං ඇඬුව හොඳටෝම.. වෙරලෙ ආසාවෙන් හදාපු වැලි මාලිගාවක් ‍රැල්ලට ගහගෙන යද්දි පොඩි එකෙක් අඬන විදිහට, සමහට විට ඊටත් වඩා දුකකින් දවස් ගානක් මම ඇඬුවා.. එච්චරයි.. මම ආගම වෙනස් කරලා පන්සල් යන්න පටන් ගත්තා.. කාටවත් ආපහු ප්‍රේම කලේ නෑ..

තුන් වෙනි සබන් බුබුල ආවෙ නැකතට... පෝරුමස්තකාරූඪ වෙලා පොතේ අත්සන් කරල හරිම පිලිවෙලට.. ඒ කාලෙ තමයි මම හිනා වෙනව වෙනුවට විරිත්තන්න පුරුදු උනේ.. අන්තිමට මට හිනා වෙන්න අමතකම උනා.. එයා අර දෙන්නටම වැඩිය වෙනස් කෙනෙක්.. දේදුණු වර්න වලට අකමැති.. හරිම අවර්ණ කෙනෙක්.. අපි හොඳින් ජීවත් උනා.. (මම හිතන හැටියට) මම හිස් තැනක් එක්ක හුස්ම ගන්න පුරුදු උනා.. වැඩිපුර කවි ලියන්න පටන් ගත්තා.. පස්සෙ පස්සෙ හිස්තැන මගෙ ඇ‍ඟේම කොටසක් වෙලා හිස්තැන හිස්තැනක් බව මට අමතක උනා.. ඒත් අපිට ඕනෙ දේවල් මේ ජීවිතේ කිසිම තැනක සිද්ද වෙන්නෙ නෑ නෙ.. අම්ම නම් ඒකට කියන්නෙ කර්මය කියල.. අන්න ඒ කර්ම විපාක මටත් පල දුන්න.. අන්තිමට මම මගෙ උපන් වාසගම පාවිච්චි කරන්න පටන් ගත්ත..

මේ ලෝකෙ හැම කෙනෙකුටම තමාටම වෙන් වෙච්ච විශේශ කතාවක් තියෙනව.. ඒත් මිනිස්සු හැම වෙලේම කැමතියී තමන්ගෙ කතාව අමතක කරල අනුන්ගෙ කතාවකට ඇහුම්කන් දෙන්න.. විනිශ්චය කරන්න.. සුදු හුණු ගාපු සොහොන් කොත් හැම තැනම.. ඉතාමත් හොඳ ගැහැණු හා ඉතාමත් හොඳ පිරිමි...! මම කවදාවත් දකුණු කම්මුල හරවන්න පුරුදු උන කෙනෙක් නෙවෙයි.. මේ හැම දේම කර්මයට බාර දීල නිහඬව ඉන්න මට හිතෙන්නෙ නෑ..

ඉන් පස්සෙ තමයි අමාරුම කාල උදා උනේ.. ඉතාමත් හොඳ පිරිමි බොහෝ අනුකම්පාවෙන් මට උදව් කරන්නත් ඉතාමත් හොඳ ගැහැණු හැම විටම වප‍රැහින් මා දිහා බලන්නත් සැදී පැහැදී හිටිය.. මෙලොව සිටින හොඳම ස්වාමිපුරුශයන් ලද වාසනාවන්ත මෝඩ ගැහැණුන්... මට හිනා යන්නත් එනව.. ! ! ජීවිතේ එකම පාටට ගලාගෙන යනකොට අර ලස්සන තොල් දෙක ආපහු මාව හොයාගෙන ආව.. ඒත් සබන් බෝල හැම විටම බිඳී යා යුතුයි කියන නියමය මම අමතක කලේ නෑ.. ජීවිතේ සමහර දේවල් තියෙනව අපිට වෙනස් කල නොහැකි.. වෙනස් කල විට පැවැත්මක් නැති...

මම දැන් එකම පුද්ගලයා සමඟ දෙවෙනි වරටත් ප්‍රේමයෙන් බැඳී පසු වෙනව... සියලු දේ ඇතිවීම් නැතිවීම් අතර දෝලනය වන බව මම දන්නව.. ඒත් එතෙක් සතුටින් ඉන්න අපි ගිවිසගෙන තියෙනව..

නර්මදා ධනංජි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails