
එකම දෙයක් පමණක්ම හිතුවට සෙනඟ ගඟ
එක එක විදි වලට අමුණා
සෙනේ ගං ඉවුර ගැන..
කොච්චර තියෙනවද
සංස්කෘතික කටයුතු
ආදර පාර අහබඩ
පැටලෙන විටදි
පෙම් පලහිලව් වල..
රෑ එකට දෙකටත්
අක්බාර් පාලම
අරගෙන පසුබිමට
අහසත් කරනවා නා නා කටු වැඩ
සඳ කාන්තිගෙ මූණත්
ඇඳෙනවා එක එක පාටට විඩින් විඩ
රන් කූඩුවක හිරෙන් පැන ආ
මාලෙ නැති ගිරා කෙල්ලක්
ගඟ ලඟම කසාදෙත් කරගෙන
හරි හම්බ කෙරුවට
දාඩිය පෙරාගෙන මහ දවල්
ඇඟමැලි කඩ කඩා
රෑටත් ඇහැරගෙන හැමදාම
පුංචි නැති පවුලත් රත්තරං..
කියාදෙන පාඩම් හෝඩි පොත් නැතිවත්
දන්නෙ වෙන කවුරුන්ද අපි ඇර
අහිංසක පැටවුන්ට ඈනුමක් යනකොටත්
කිරි හදන් එන
කිරිලි අම්මටත් හිනා යන හැටි!
එක පැටික්කියක් ඇහුවා
අම්මි මං නිදන්නද?
ඉටිපන්දමත් මූණටම ළං කරන්
තාත්තා රවන හැටි පේනවනෙ අම්මටත්
පුරුෂෝත්තම තමයි ගිරා පවුලුත්..
මල් නං මහම මහ කම්මැලියි
නේද මැණික..
නැත්තං
අපේ කෙඳිරිලි සද්දෙටත්
බුදියයිද ඔච්චරම මයන්නක් වගෙ
ලී ඉරන ගෙරවිල්ලෙ නේද..හ්ම්ම්..
මාළුවොත් නිදි නෑ පව් උන්
ආගන්තුකත් නෑ අපි දැන්
කියනදේ අහන්නැත්තං
මාළුවෝ...
සිංදුවක් වත් කියමු බං
කල්ලඩි කතාවත් බොරු නං
ඉවුර ළඟටම ඇවිදින්
පේනවද මේ පලහිලව් බලපං
අත්දැකීමෙන්
පද ටිකක් මං ලියන්නං
තනුව නං උඹ දාපං
පොඩි දේශපාලනේකුත් මුහු කරමු
අර එකම වාක්කිය
එකේක විදියට රස කරන සෙනඟට
හීන් හින්ටෙකකුත් ගහමු
මෙහෙම රෑ ඉන්නකොට
සඳ කාන්තිල කල්චරල් වැඩ ගැන
ඉරිසියත් හිතේවිනේ
හංගපු හරිය මම
සිංදුවෙම ලියන්නං..
සුදර්ශන සමරවීර



