
අන්ධකාර පොරෝණයෙහි සරණ සොයන
රාත්රියේ එක් බියකරු නිමේෂය
චංචල ගත රුධිර නහර වෙවුලද්දී
මැදියම් රැය නිදි ලොව දොර කවුලු ඇරෙයි
මොහොතින් ආලෝක මඟක ඇස දිව යයි
මුහුදු තෙරක් රන් සඳ වතුරෙන් නැහැවෙයි
සුදු පෙණ පිඬු වැල්ල සමඟ කතා කරයි
වළාකුළක් මඟ නැවතී බලා හිඳියි
ගල් තලයක වාඩි වෙලා හුදෙකලාව
කෙළවර නොපෙනෙන දිගු පන්හිඳක් රැගෙන
පත් ඉරු දහසක් අසළින් රඳවා ගෙන
කවුදෝ හිස බිමට නමා ගෙනම හිඳියි
ළං වී ඇසුවත් ඔබ කවුරුන් දැයි
හිස එස වූ විට ඒ මා වග වැටහෙයි
කුමක් කරන්නෙදැයි ඇසු විට පැවසී
මා කව්පද බඳිනා වග නොපෙනේ දැයි
යළි විමසමි නො හිමි කුතුහලෙන් වෙළෙමින්
යෝධ පන්හිඳේ කෙළවර කොතැන වෙදැයි
පෙර භවයෙහි ඇත්තේ පන්හිඳ කෙළවර
එතැනේ සිට ඇදෙයි මතක කවි පෙරහැර
එදා ලියා නිමවා ගන්නට බැරි වුණු
සිතුවිළි ගඟ ගලයි නංවමින් සිරිසර
ඉතින් දෑස සතුටින් පිබිදෙයි අලුයම
යළි සිහිනය සොයා හිඳියි රෑ මැදියම
[අලුත්ම සිහිනය - 2003]
මොනිකා රුවන් පතිරණ



