
සඳ එළිය රිදවන්නෙ මෙතරම් ම
මා කළ වරද කිව මැන....
සොහොන් යායක සිහිළ ගෙන
දිගු නියැති අතැඟිලි පොවා
කාඩ කොරොපොතු පිරුණ හැව ඇති
පොළඟෙකු සේ මා වෙලාගෙන
බිඳ බිඳ මා සිර කරන
ඇටකටු බිඳෙන හඞට කන්දෙන
සඳ එළිය
ඇයි මෙතරම් ම රිදවුම් මා හට....
තියුණු අකුණු එළියක
රිදී නිල තැවරුණ දෙනයනක
රහසේ සැඟවුණ කතාවක
අකුරු පේළි ලිහ ලිහා
ගැලපුව සිහිනයකි එ'දවස....
දුරාවාරෙක රෑ තනිව
පෙති දෙපෙති වී හිනැහුණ
සුරඟනන් ඇවිත් දුක සැප සෙව්ව
නමක් නැති හත් පෙති මලක
සුවඳක් දැනේ නාස් පුඩු අගට....
ලද පෑ ගෙන වෙනස් වන
කටුසු ජීවිතයකට ලොබ නොබැඳ
එ'මල වෙනුවෙන් ඉකිබින්ද
අතීතය පිළුන් වී හමාරය....
කල්ප කාලයක් මුලුල්ලේ
හද බිතේ පොසිලයක් වී වැඩුණ
තවමත් හීනියට හුස්මක් ගන්න
කාටවත් නොපෙනෙන නොදකින
දඩබ්බර වූ සිහිනයක්
දෑස් අරී ඉඳ හිට
සඳ එළිය රිදවන යාමයට....
ගිනි කඳු නිවා ඇවිලුණ
පසකින් තබා මල් පරවුණ
තව තවත් ළය පාන්නෙමි
සීරි ලේ ගලන හදවතින්
රහසේම ගෙට වැටුණ සඳ දියට
ලොල්ව සඳවතක රිදවුමට....
හාරද්දි හාරද්දි හදවතේ පතුළටම
තෙතට උණුහුමට
නුඹට සමුවුණ දෙය
කාටවත් ම නොකියන
එකමෙ'ක පොරොන්දුව පිට....
නිරාෂ ගුණසේකර



