
අපේ ගෙදර කේතලේට
අනෝතත්ත විලේ වතුර
අපේ ගෙදර තේ හැන්දට
හිඟුරානෙම සීනි මදිනෙ
නේද රත්නෙ
වස්සානෙට
ගිම්හානෙට
කෝටු අතට එක මිටකට
සංසාරෙම බර ඇද්දට
ජීවිතයම මට කවියකි ඔයා ගාව
තාමත් මේ මගෙ තනියට
ඔයාගෙ දාඩිය මගෙ ළඟ
අනේ රත්නෙ
අර අන්තිම දවස් ටිකේ
මං හිටියේ සුදු ඇඳගෙන නිදාගෙනම
අපි බලන්ට ආපු සෙනඟ කන්දරාව
ඒ කවුරුත්
තේ බිව්වද බත් කෑවද
කීපවිටක් මං බැලූවේ නැගිටින්නයි
නැගිටල කුස්සියට ගිහින්
ආපු අයට තේ හදන්න බත් බෙදන්න
අනේ රත්නෙ තරහ නෑනෙ
මං හිටියේ බැරිකමටයි නිදාගෙනම
රුක්අත්තන පෙට්ටියක්ද සංසාරෙම
අපි නොදන්න වෙන ලෝකෙක
අපි නොදන්න වෙන නගරෙක
ලේන්බාන් වීදිය ඇති නේද රත්නෙ
මං තනියම හුළඟ එක්ක ගාට ගාට
ඒ ලෝකේ ලේන්බාන් වීදිය හොය හොයා යන්නෙ
ඒ වීදියෙ තියෙන ගේක
ජනේලෙ ළඟ මං ඉන්නව මඟ බලාන
කොපි කොළයක් කාබන් පෑනක් තියාන
කෘශ ළැම කිරි ශිරා ඇතුළෙ
ඔයාගෙ දාඩිය තියාන
විටක් කකා
ඔයා ඒවි මං බලන්න
ඔළුව ඇදට බිම බලාන
මටම ලියපු
කවියක් මිට මොලවාගෙන
කුමාර හෙට්ටිආරච්චි



