
හිත හෝස් ගා පත්තු වී
නිවී යනවා
වතුරේ ඔබන ගිනි පෙල්ල මෙන්
අතීතේ දියට බැස
පිහිනමින් යන සඳ වරෙක
ආ පසු කිසි දිනක
ළඟාකර ගත නො හැකි ඈතක
ඒ බිඳුණු සබඳකම්
දැල් වී නිවෙන තරු ය
කාටත් නොකියා
ඉඳ හිට හිත රිද්දන
පටුනක නම්වලින්
පරිච්ඡේද පෙරලමින්
හොයන්නට නොහැකි තැන්වල
ලියවුණු සෙල් ලිපි ය
ඒ සබඳකම්
ගිනි ගෙන දැවී
සුළඟකින් නිවී
මිහිදන් උනත්
භෂ්ම ඈතට ඉගිලී
ඉඳිකටුවකින් අනිමින්
නොහිතනම මොහොතක
ඉරුණු තැන් මහන්නේ
ඒ සබඳකම්..
උදය ආර්. තෙන්නකෝන්



