
එක්කාසු කරගත් සොච්චමෙන් - සත සත
මාස ගණනක් සිහින් කොට ම'පඩිපත
ගොස් සගනුවර මහ පොත් සල්පිල වෙත
මිලදී ගතිමි රිසි රිසි පමණ - පතපොත
කියවන අටින් වසරක් පුරා - එන
සල්පිල් සමය එළැඹෙන තෙක් - තව
යා නොහැක - සිස්ය - දැන් අතමිට
බර දැනෙයි - මඳින් මඳ දෙවුරට
ඔලගුවෙක ලා - ගත් - පිය
නැඟුවෙමි අටින් - දුර යන
බසයකි - බොහෝ තදබද
එද නුවරින් පිටව යමි මඳ'ඳුර ද සමඟ ම
නැඟෙන්නෙ කෑකෝ හඬ - සෑම පැත්තෙන්
වෙහෙසුණු හඬින් හඬන්නා වාගේ ය - මහ හඬින්
නඟයි ගොර ගොරය ඇංජිම සැර - වැරෙන්
හඬයි බිළිඳෙක් හුන් මව් උකුලෙන්
ර්
සෙනෙහස විඳින යුවළෙකි කෙළවර - අසුනින්
මුවා වී උනුන් දෙතොල'ග රස - සොයමින්
කුලී යහන් ගැබ නොලබන පහස - මුවින්
නොබැණ හිඳිති දුටු උන් නොදුටුව - විලසින්
සරාගික කතක් සිටි පුරඟනක වෙසින්
පුම ලිගු සොයයි අහරට සිහ දෙනක ලෙසින්
නිදමින් හුන් පිරිමි ගොරවති මහත හඬින්
දැක තළුමරත් ඇතමෙකු නොපතන විලසින්
හිස් බඩ සිටි අයෙක් නැති අහරක් කුසට
හිස් බඩ පිරුණු ගුද සුසුමක් වා ගැබට
හිස් කම වසා පැතිරෙන දුඟඳ ඉව කර
හිස් හරවමින් හකුළයි නාස් තද කර
සළෙලෙකු රතැස් අඩවන් කොට නුරා පෙමින්
තලයි දුබල ගත ඇති අවසඟව යමින්
දහවල කම්හලෙහි තුඟු යුග කවුලු දොරින්
පණනළ පිටත් කළ ඇගෙ සියොළඟ වෙළෙමින්
තැවරෙයි මගේ මුව මතුපිට - සීරුවට
හමන මඳ සුළඟ සීතලට - මුසු කොට
නඟන පිළිකුල සැර දුඟද - වමනය
හෙලුවෙන් සිටි අයෙකු බීමතින් නිදිබර
උසුලාගෙන දෙපය සිටගෙන කයෙහි බර
ඇදෙයි බසය - දැන් ගම්පහ ද - පසුකර
දිලි විදුලි එළි පෙළ - පිහිටි දුර දුර
අඳුර දුරහැර සිත්තම් අඳියි එළිකර
පයේ දැවටෙමින් යමක් වුත් මා අසළට
මුදා ගෙන'ත හැරියෙන් යළිදු බසයට
ඇහිඳ ගෙන මනෝලොවින් සුවිපරම් කොට
සිගරට් පියනක් සමඟ පැන්සලයකි මොට
කාගෙදෝ අත'කුරුය කුරුටමින් එහි ලියූ
නිම නොකළ නොකවියකි අගමුලක් නොගැලපූ
ඇහිඳගෙන දෝතින්ම පුරන්නට සිත් පිරූ
නොකව් කව ලියන්නට පද වැලක් මා ගෙතූ
පේරාදෙණිය පාලම
සරසවිය කොළඹ යා කළ
මත හිඳ කවේ අවසන
ගොතන්නට හිතෙයි මට රෑ මැදියම
දහසක් ගෙවා ගත් පොතපත මහබරට
විසි කර හළෙමි ගඟ මහවැලිය පතුලට
පොතකින් ලැබිය යුතු යම් දිවියක ගැහැට
ලදුයෙන් මගම බසයක දකිමින් ඇහැට
දහසක් බුදුන් දැක අරුණෙහි ආලෝක
බුදුවන නමුත් බසයක යන මහ රෑක
බුදුවනු නොහැකි වෙද පිට දී පොල්ලකට
බාගෙට බුදු උනෙමි නොලැබ කුසතණ මිට
දමිත් වැලිකල



