
නිදිගත් නගරයේ
මායිමද පසු කර ඇවිද යමි
අවසාන පහන් කණුවේ එළියද
තුනී වෙයි
තාර පාර දිග වැතිරුණු
මගේ දිගු හෙවනැල්ලේ හිස
ඔබ වෙසෙන ගම්මානයේ
අඳුරු බඞවැටි අතර සැඟව ඇත
මා එනබව
ඔබට දැන්වූයේ නැතත්
ඔබේ කුටියේ
පහන් දැල්වෙන තෙක්
හුරුපුරුදු දෙවැට අද්දර
නැවතී සිටියෙමි
පෙර විලස
ඔබේ රුව කවුළුවෙන් මතුව
රහසේම සන් කොට
මා ඔබ වෙතට කැඳවීමට
මෙතරම් පමා මන්ද
ඔබ කවුළුව විවර කළේ නැත
නුදුරු සුදු ගඟ ඉවුරේ
උණ පඳුරු සැලෙන හඬ පමණි
අවසානයේ මම
ඔබේ කට හඬ හඳුනා ගතිමි
ඔබ මිහිරි සරින්
දරු නැලවිළි ගීතයක් ගැයුවාය
මා ආපසු යා යුතුව තිබිණි
ඊට පෙර
ඔබට දෙන්නට ගෙන ආ
ඉසුරුමුණි පෙම් යුවළ කැටයම
කවුළුව අද්දර තබා යමි
පසුගිය සිවු වස පුරා
මා එය නෙළූයේ
සබන් කැටයකිනි
දුම්රිය ස්ථානයේ අඳුරු අහුමුළු
යාචකයන්ගෙන්ද
මලානික විදුලි පහන්
සුදුමැළි මෙරුවන්ගෙන්ද
පිරී තිබිණි
පාන්දර කෝච්චිය පැමිණීමට
තව පැයක් ඉතුරුව තිබේ
එතෙක්
මට මේ බංකුව මත
නිදා ගත හැකිය
[හිරු – නිම්තෙර-1994 ඔක්තෝබර් 2]
අජිත් සී හේරත්



