
එළිවන තුරා නුඹ පමණි ළඟ තනියට
පොත් මේසයට හැමදා වඩින සකිසඳ
ඈ නොකී ඇදුරන් වියතුන්
වැඩ හිඟන රාක්ක පාමුල
ශාස්ත්‍ර මතවාද
බළල් පොර පරයා ඇවිළෙන
ගිනි අකුරු අතරේ
නිවුනු එක සත්වයා නුඹමය
කමක් නැත මනු සතකු නොවුණාට
පොත් මත පා තියා
ඉහල යන්නට නොසිතන...
සයනයක මුදු සුව
පොත් මතින් නිති විඳ විඳ...
සාහිත්‍ය පඬියන්
කැත කළ සාහිත්‍ය පිටු මත...
අපුලක්ද නොහිතා
බොල් හීන නොබලා සැතපෙන...
මාලු කරවල සුවඳකට
කිරි හදන සද්දයට
යෙහෙලියකගේ ඤාව් හඬකට පමණයි දුවන්නේ
ශාස්ත්‍ර මේස අතහැර..
සාරේට වඩා පැවැත්ම උතුම් බව
සාත්රේවත් කීවාද...
චූල ආශා, විසල් අරමුණු
අතර ගැටුමක් නොමැති පූසෝ
කරකවා රැවුල් ගස් එංගල්ස් සේ උඩට
පෙන්නන්න ඔය මූණ
චූල ආශා වසා
මහ මූණු පැළඳ ගත්
ඇමීබාවන් සදිසි නරයින්ට
ගොඩවුනේ ඇයි
ලියන මේසයකට...
තැනක් ලැබුනේ නැතිද
එෆ්. එම් රෑසියෝ
මෙගා නළු බටු බැට්ටියෝ
ගායන තාරකා පොඩි මැද
කවියකට ගෑවී
ඉතිහාස ගත වෙතැයි හිතුනාද...
''මහා කවියෙකුට පූසෙක්ව''
පොතක්වත් යම් දිනක ලියැවේද...
සරසවිය උඹ දෙස
ඇසක්වත් ඉඟිමරා බැලුවාද....
කරවල තරම්වත්
ලක්දිවට නොවටිනා පොත පත
කොට්ටයට මෙට්ටයට තියාගෙන
සැතපීම සැපතකැයි සිතුනාද...
ඉසුරු ප්‍රසංග



