
ටයි කෝට් ඇඳන් උඹ වැතිරිලා හිටිය, සීරුවට
අත්තම්ම විතරක් මිදුලෙ, අඬ අඬා හිටිය හීනියට
මළගෙදර පහුකරන් ආපු මම හැරුණ මහ වීදියට
ඉස්සර දවස් මතක් කරන්න වාගෙ,
තරුත් පායල තිබුණ අහසෙ පේලියට
"මිතුර නුඹ වෙන්වුණේ හිතාගන්නත් බැරි විදියට "
ඉස්කෝලෙ කට් කරපු දවසක හෙමිහිට
සාක්කුවෙ ඔබාගෙන දෙකට නවපු පොත් ටික
දුව ගියේ, රට සල්ලි හොයාගෙන උඹ වැල්ලට
පිට්ටනියේ පයිප්පෙන් වතුර බී බඩගින්නට
හුළඟ එන අතට හැරි හැරී නැටු කෙහෙරැල්ල
කංස කූරක පහස හුරු පුරුදු හසරැල්ල
තරහ ගිය හැම විටක එසවුණා මැදැඟිල්ල
තාම මතකයි උඹට තිබුණු ඒ දැඟලිල්ල
ඇහුව හැම එකාගෙම මුවේ මදහාස නැංවුව
එදා රෑ අර නාකි සුද්දිවත් ළඟට කැන්දුව
තවම ඇහෙනව වගෙයි, බොංගෝ නාදයක රැන්දුව
කැඩුණු ජර්මන් වලින් උඹ කියපු ඒ සිංදුව
පෝස්ටර් ගැහුව, ජන්දේ කාලෙට පිට පිට
පාට මොක වුනත්, ඒක රුපියල් දාහෙ කුලියට
කුණුහරුප කියාගෙන බැනල එලෙව්වත් ඉඳ හිට
ප්ලේන්ටිත් අරන් දුන්න උඹ, ඉස්ටේසම ළඟ හිටපු පිස්සිට
"ජීවිතේ කොහොමද?" කියල කවුරුහරි ඇහුවම
මහපට ඇඟිලි උස්සල "එල කිරි" යි කී ලස්සන
නෑ බෑ නොකිය, ඕනෙ වැඩකට අත ඉස්සුන
කාටවත් බෑ පුරවන්න නම් උඹෙ හිස්තැන
උඹ ගැන කියන්නට මේ තරු එළිය මදී
දෑසින් කඳුළු කැට මතුවෙයි පපුව රිදී
බැණ බැණ හිටියමුත් ආගමකට නොබැඳී
මට සහතිකයි, උඹ ගිය තැන හොඳට ඉඳී
භාතිෂ අකලංක සිල්වා



