
බඳින්න සාජහන්ව
ප්‍රේමයේ තුංග තුරේ අග්‍ර ඵලේ නෙලාගන්න
ඊළඟ ටජ් මහලේ - රං යහනේ
රජෙක් එක්ක නිදි වදින්න
අපි යනවා අම්මෙ ඔන්න
වැතිරෙන පැදුරු - සේද පලස් වෙලා
නැගී සදෙව් විමන් බලා
ගොසින් අඳුන් පියර ගගා
සුරයන් මන බන්ඳන පුසුඹ නගා
තන පට - මිණි එබ්බුව දුහුල් සේල කිරුළු මුදා
කුමරුන් සතප්පවන රූප රාග බිසව් වෙන්න
අපි යනවා අම්මෙ ඔන්න
ඉපදී දීන ලෙසින් හීන කුලේ ලැයිං ගේක
දැඩිවී කුසගින්නේ දැඩි හිංසා දුකින් නේක
පාස්ව එස් එස් සී පැක්ටරියක නහින දාක
අප වන් කෙට්ටු ලියන් දැක්ක හීනයක්ය මේක
පයිප්ප අසල පාන්දරට නාන
පරිප්පු එක්ක පාන් උදේට කන
පයින්ම හැතැප්ම දෙක වැඩට දුවන
පව් කළ කෙල්ලො අපියි අම්මෙ ඔන්න
එනමුත් කුණු මුල්ලෙන් පින නැගිටින
සෙනසුරු අපලෙ ගෙවෙන
ගතේ වතේ කළුව මැකෙන
අත මිට රිදී කාසි - වළළු ලෙලෙන
දවසක් ළඟදි ඒවි සැකක් නැතුව
බඳින්න සාජහන්ව
ප්‍රේමයේ තුංග තුරේ අග්‍ර ඵලේ නෙලාගන්න
දුහුල් සේල කිරුළු මුදන
රූප රාග බිසව් වෙන්න
වරමක් ලැබෙයි අපට
එදාට යන්න දෙන්න
අම්මෙ ඔන්න
[‘යටි වියන’- 2007]
ලක්ශාන්ත අතුකෝරල



