Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තවත් කාලයක් සිය යුධ වියදම් තර කරගත හැකි සතුරෙකු නිර්මාණය කරගැනීමට ඇමරිකාව සමත් වී ඇත. සුප්‍රකට අරාබි වසන්තයෙන් පිටමං කරනු ලැබූ අරාබිකරයේ ඒකාධිපති නායකයින් වෙනුවට ආගමික අන්තවාදීහු ආදේශ වෙමින් සිටිති. ලිබියාවේ ඇමරිකානු තානාපති ක්‍රිස් ස්ටීවන්ස්ගේ ඝාතනයෙන් ඇරඹෙන්නේ මෙකී නවමු පරිච්ඡේදයයි. මෙතැන් පටන් ඉස්ලාම් අන්තවාදය හා බටහිර ලිබරල්වාදය අතර වන ගැටුම නව ස්ථරයකට පැමිණෙනු ඇත.

ආසන්නතම සිද්ධි දාමයට හේතු වන්නේ ඇමරිකාවේ ලාස් වේගාස් හි පුද්ගලයෙකු විසින් ඉස්ලාම් දහමෙහි නිර්මාතෘ මුහම්මද්තුමාට අපහාස වන අයුරින් නිර්මාණය වූ වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත්වීමයි. ඊජිප්තුවේ කයි‍රෝ නගරයෙන් ඇරඹෙන ඇමරිකාවට එරෙහි උද්ඝෝෂණ මාලාව ලිබි‍යාවේ දී උච්ඡතම අවස්ථාවට පත් වූයේ ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විනාශ කිරීමත්, එහිදී ඇමරිකානු තානාපතිවරයා ඇතුලු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සිව්දෙනෙකු ඝාතනයට ලක්වීමත් සමග ය. මෙකී උද්ඝෝෂණ සුඩානය, ටියුනීසියාව, යේමනය, ඉරානය, ඉන්දුනීසියාව, බංගලාදේශය වැනි මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන රටවල් ගණනාවක පැතිර ගියේය.

පසුබිම

අරාබියේ ඒකාධිපති පාලකයින්ට එරෙහිව පැන නැගුණු ජන අරගල, පැවති දේශපාලන ව්‍යූහයන් මුළුමනින් ම කණපිට හරවාලූයේ ය. බොහෝ පිරිස් මෙකී අරගලයන් දෙස බලා සිටියේ බලාපොරොත්තු සහගතවය. නිශ්චිත දේශපාලන පදනමක් දක්නට නොලැබුණු මෙකී අරගලයන් වෙතින් බොහෝ දුරට ඉදිරිපත් වූයේ ලිබරල් ප්‍රජාත්නත්‍රවාදී නිදහස වෙනුවෙන් වූ සටන්පාඨ ය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ස්ත්‍රී නිදහස, පාලකයින් තෝරා පත්කර ගැනීමට අවශ්‍ය පාලන ක්‍රමයක් වෙනුවෙන් වූ ඉල්ලීම් ඒ අතර විය. ඉල්ලීම් වල ඇති පොදු බව මෙන්ම, දේශපාලකයින්ගේ අවම දායකත්වය මෙකී අරගලයන් වෙත ඇති ජනසහයෝගය වැඩි කරලීමට සමත් විය. නව වෙනසක් වෙනුවෙන් සිහින දකින ප්‍රගතිශිලී පිරිස් හැරුණුකොට මේ සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කළ අනෙක් පිරිස වූයේ බටහිර මාධ්‍ය හා එහි පාලක පංතියයි. බටහිර මාධ්‍යයන් ඔස්සේ මේ පිළිබඳව දීර්ඝ මාධ්‍ය ආවරණයක් සිදුකරන ලද අතර බටහිර රාජ්‍යයන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙකී රටවල සිටි සියළු පාලකයින් කෙරෙහි බලපෑම් එල්ල කළහ.



සාමාකාමීව පැන නැගුණු සිවිල් අරගල ආයුධ සන්නද්ධ අරගල බවට ගොඩනැගෙන විට එකී ජනතාවගේ මූලික ඉල්ලීම් වල හරයන් තවදුරටත් ආරක්ෂා වූවාද යන්න සැක සහිත විය. විශේෂයෙන්ම ලිබියාවේ හා සිරියාවේ සිවිල් අරගල අති බිහිසුණු සන්නද්ධ අරගල බවට පත්විය. ආයුධ හා සේවා සැපයීම මගින් ලෝක බලවතුන් තම තමන්ගේ දේශපාලන හා ආර්ථික ඕනෑ එපාකම් ඉටුකරගැනීම පිණිස මෙකී අරගල යොදා ගත් බව පැහැදිලිය. ලිබියාවේ සිවිල් අරගලය අවසන් වූයේ වසර 30 ක ඒකාධිපති පාලනය අවසන් කරමින් පාලක මුහම්මර් ගඩාෆි ඝාතනය වීමත්, ඇමරිකානු ගැති රාජ්‍ය පාලනයක් ස්ථාපිත වීමත් සමගය. සිරියාවේ සන්නද්ධ අරගලයට සෘජු සහයෝගයක් බටහිරින් ලැබුණත්, රුසියාව සහ චීනය විසින් නිශේධ බලය පාවිච්චි කිරීම නිසා එකී මැදිහත්වීම් සීමාකාරී වී ඇත.

මුස්ලිම් ලෝකය තුළ වඩා තර වන ඇමරිකානු විරෝධය

පසුගිය දශක කිහිපය පුරාවට මුස්ලිම් වරුන් සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඇලිය විසින් මවාලූවේ හිතකර ප්‍රතිරූපයක් නොවේ. කුප්‍රකට ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය තවමත් අවසන්ව නොමැත. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ සිටි මුස්ලිම්වරුන් ත්‍රස්තවාදයෙන් නිදහස් කොට වඩා නිවහල් සමාජයක් ගොඩනගන්නට යැයි කියමින් සිදු කළ ආක්‍රමණ තුළින් සිදුව ඇත්තේ එකී ජන ප්‍රජාවන් මිහිපිට අපායක් මතට ඇද දැමීම ය. එකී රටවල් නැවත ගොඩනැගිය නොහැකි තරම් විනාශකාරී තත්ත්වයකට ඇද දැමුවත් සියළු තෙල් සම්පත් ඇමරිකානු සමාගම් යටතට පත්වීම සඟවාලිය නො හැකිය. ඇමරිකානු ගැති රූකඩ පාලකයින් වෙතින් පාලනය ‍වන මෙකී රාජ්‍යයන්හට තවදුරටත් ස්වෛරී පැවැත්මක් නොමැත.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කරන ඇමරිකාව, ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරමින් සිටින විනාශකාරී ක්‍රියා පිළිවෙත ප්‍රශ්න කරන්නට යන්නේ නැත. ඊශ්‍රායලයේ මුස්ලිම් විරෝධී ක්‍රියා පිළිවෙලට සහයෝගය දක්වන ඇමරිකාව පිළිබදව අරාබිය ඇතුළු මුස්ලිම් ලෝකය තුළ වෛරී අදහස් තව තවත් ගොඩනැගීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත.

සිය රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ඝාතන වෙනුවෙන් ශෝක පණිවිඩ නිකුත් කරමින් ජනාධිපති ඔබාමා ප්‍රකාශ කළේ, වඩා යහපත් හෙට දවසක් ලෝක ජනතාව වෙත උදාකරලීමේ සිය රටේ ජනතාවගේ ඒකායන අරමුණ මුදුන් පැමිණවීමට කැපවූ සිය රාජ්‍යතාන්ත්‍රිකයින්ට ආචාර කරන බවයි. එහෙත් ප්‍රකාශය හා ප්‍රායෝගිකත්වය සසඳන කළ පැහැදිලි වන්නේ සිය ‍රටේ ජනතාව වෙනුවෙන්, අනෙක් රටවල ජනතාව භාවිතා කරලිම සදහා ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් ක්‍රියාකරමින් සිටින බවයි. ඝාතනයට ලක්වූ ක්‍රිස් ස්ටීවන්ස් තානාපතිවරයා ලිබියානු නායක ගඩාෆිට එරෙහිව එරට සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වෙද්දී ඊට සහයෝගය දැක්වීම සදහා ප්‍රමුඛව කටයුතු ක‍ළ අයෙකු බවද කියැවේ. තත්ත්වය එසේ වුවද සිය රාජතාන්ත්‍රිකයින් ආරක්ෂා කරලිමට ඇමරිකානු ජනාධිපතිවරයාට ශක්තියක් නොමැති බවට විවේචනය කළ රිපබ්ලිකන් පක්ෂයේ නායක මිට් රොම්නි පවසන්නේ අරාබිකරයේ සිටින සිය ප්‍රධාන සහායක රට වන ඊශ්‍රායලය වෙත සිය කොන්දේසි විරහිත සහයෝගය ලබා දිය යුතු බවයි. මේ ඇමරිකානු දේශපාලනයේ දෙබිඩි බවයි.


ඝාතනයට ලක්වූ ලිබියාවේ ඇමරිකානු තානාපති ක්‍රිස් ස්ටීවන්ස්

දෙබිඩි බව නිසාම ඇමරිකාව බැට කෑවේ අද ඊයේ නොවේ. සිය ප්‍රධානතම සතුරු සංවිධානය වූ අල්ඛයිඩාව ද ඇමරිකාව විසින් පෝෂණය කරන ලද, සෝවියට් රුසියාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන විට ගොඩනගන ලද සංවිධානය යි. ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට අනුව ලිබියාවට නිදහස ගෙන ඒමට සහයෝගය දුන් පිරිසට, එකී නිදහස ලැබූ අය විසින් වෙඩි තබා මරාදමා ඇත. සැබැවින්ම ලිබියාවේ දෙවැනි නගරය වන බෙන්ගාසිහි දී ඇමරිකානු තානාපති කාර්යාලයට වෙඩි තැබීම සදහා යොදා‍ගෙන ඇත්තේ ඇමරිකාව විසින්ම ලිබියාවේ ගඩාෆි විරෝධි කණ්ඩායම් වෙත ලබා දුන් ආයුධ වලින් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.

අරාබි වසන්තය හා මුස්ලිම් අන්තවාදය

අරාබි වසන්තය මගින් අතුගා දමන ලද ඒකාධිපතීත්වයන් පිරවීමේදී වඩාත් වැඩි ඉඩකඩ ලැබී ඇත්තේ ඉස්ලාම් ධර්මයටය. ආගමක් යනු රාජ්‍ය පාලන මෙවලමක් නොවීමත්, එය රාජ්‍ය පාලනය තුළට ඇදී ඒම තුළ අත්දකින විකෘතියත් සමග වඩාත් ඉඩකඩ ඇත්තේ ඉස්ලාම් අන්තවාදය දෙසටය. යම් ප්‍රගතිශිලි කොටස් පාර්ශව කරුවන් වුවද අරාබි වසන්තයට මුලපිරූ ටියුනීසියාවේ රාජ්‍යය ඉස්ලාම් ධර්මයට කොටුවී ඇත. හිටපු ජනපති හොස්නි මුබාරක් විසින් තහනම් කොට තිබුණු "මුස්ලිම් සහෝදරත්වය" විසින් ඊජිපත්තුවේ වැඩි පාලන බලයක් අත්පත් කරගෙන ඇත. ලිබියාව තුළ හිටපු ජනාධිපති ගඩාෆි විසින් යටපත් කර තිබූ මුස්ලිම් අන්තවාදය නැවත වරක් සිය බලය අත්පත්කරගනිමින් සිටී. ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් සිය ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම උදෙසා කවර ආකාරයක හෝ මතවාදයක් දරණ පිරිසකට රටවල් අත්පත් කර දීමට සූදානම්ව සිටී.



ඊජිප්තුව තුළ මුස්ලිම් අන්තවාදය නියෝජනය කරන "මුස්ලිම් සහෝදරත්වය" පමණක් නොව, ආයුධ සන්නද්ධ කණ්ඩායම් ලෙස අරාබිකරය මූලික කොට ගෙන ලොව පුරා පැතිර ඇති ජිහාඩ් සංවිධානය හා අල්ඛයිඩාවට ද, තමන්ගේ පෞරුෂයන් මුස්ලිම් ජනතාව තුළ ගොඩනඟා ගැනීම සදහා මහඟු අවස්ථාවක් පවතින අස්ථාවර තත්ත්වයන් විසින් උදාකර දී ඇත. ටියුනිසීයාවේ පාලක එන්හාඩා පක්ෂය විසින් සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව, කුරාණය ව්‍යවස්ථාව බවට පත්කර ගැනීමට යෝජනා කරන්නේ සලාෆීස් නම් සංවිධානයයි. ඔවුන් ටියුනීසියාවේ දෙවන වැඩිම ජනවරමක් අත්කරගෙන ඇති අතරම නව අරාබිය තුළ මුස්ලිම් මූලධර්මවාදය වෙනුවෙන් වැඩිම බලපෑමක් සිදු කරමින් සිටී. ආයුධ සන්නද්ධ නොවූවවත් ඉස්ලාම් මූලධර්ම මත රාජ්‍ය පාලනය සිදු විය යුතු බවට ප්‍රකාශ කරන මොවුන්හට ටියුනීසියාව, ඊජිප්තුව, සිරියාව, සෞදි අරාබිය, මොරොක්කෝව, බහරේනය, ඇල්ජීරියාව, යේමනය ආදී රටවල් ගණනාවක සැළකිය යුතු ජනපදනමක් ඇත. මේ අනුව පෙනී යන්නේ අල්ඛයිඩාව, තලේබාන් වැනි සන්නද්ධ සංවිධාන මැඩලීම කොතෙක් සිදුකරත් වෙනත් ස්වරූපයකින් අන්තවාදය ඉස්මතු වන බවයි.

ලෝකය විවිධ පාර්ශවයන් අතර බලය පිළිබද අනවරත ගැටුම්කාරී ස්වභාවයක් තිබුණත් එය මානව වර්ගයාගේ යහපත උදෙසා කොතෙක් හේතුවේද යන්න සැක සහිතය. එක් පසෙකින් ධනය හා බලය පිළිබදව උන්මාදයෙන් ලෝකය යටපත් කිරීමට උත්සාහ කරන විට, ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවය විසින් යෝජනා කෙරෙමින් තිබෙනුයේ ශ්‍රී විභූතිය උදෙසා අතීතයට ගමන් කිරීමේ උපාය මාර්ගයයි. ලෝකයේ ඉස්ලාම් මූලධර්මවාදය වඩාත් ව්‍යාප්තව තිබුණත්, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු මූලධර්මවාදයන් තුළින් ද සැළකිය යුතු බලපෑමක් සිදු කෙරෙමින් පවතී. වඩාත්ම ඛේදජනක කාරණය නම් පවතින සමාජ ක්‍රමයට එරෙහිව පැන නගින ජන අරගලයන් ද මෙවැනි පටු දෘෂ්ටිවාද වෙතට අවශෝෂණය වීමේ ඉහළ සම්භාවිතාවයි.

සුමුදු තිවංක ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails