Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සියල්ල ඇරඹෙන්නේ ලිපියකිනි. අවසානවන්නේත් ලිපියකිනි.

ආදරණීය ෆ්‍රැන්සිස්,

මුලින්ම කියන්න ඕන අන්තිම මොහොතෙ (විවාහයට සතියක් තියෙද්දී) වුනත් ඔයාට ආමන්ත්‍රණය කරන්න වෙන විදිහෙ අසාමාන්‍ය බවක් මට දැනෙනවා. ආදරණීය කියන වචනෙයි ෆ්‍රැන්සිස් කියන වචනෙයි එකිනෙකට ගැලපෙන්නෙ නැහැ. Loving Fransis හරි Darling Fransis හරි මීට වඩා ගැලපෙනවා. ඒත් මේ ලියමන ලියන්නෙ අපේ (මගේද මන්දා) මව් භාෂාවෙන් නිසා මට ආදරණීය කියන යෙදුම භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඔයාගෙ තාත්තා ඒ කියන්නෙ මගේ මාමා ඔයාට නමදාල තියෙන්නෙ ෆ්‍රැන්සිස් විදිහට. මම ඒ දවස්වල හිටියනම් කවදාවත් ඔයාට ඔය නම දාන්න දෙන්නෙ නැහැ. ඒත් දැන් සිද්ධ වෙලා ඉවර දේවල් වලට මට කරන්න දේකුත් නැහැ. ඔයා කතන්දර නොලියන නිසා මට දැනගන්න බැරි උනාට ඔයා මගේ නමටත් සමහර වෙලාවට කැමති නැතුව ඇති. නෙරන්ජනා කියන්නෙ ඉස්සර සින්දු වල තියෙන කොච්චර ගොඩේ නමක්ද?

මෙයට ,
ඔයාට දුර ඉඳලා ලියන
නෙරන්ජනා


නෙරන්ජනාගෙ ලියමන් කොහොමටත් ඉතා කෙටිය. ඉහත පලවන්නේ මට ඇගෙන් ලැබුන පළමුවෙනි ලිපියයි. ඒ අපේ විවාහයට පළමුවය. ලියමන ලැබුනේ බොහොම සාම්ප්‍රදායික විදිහට ගොළුබෙලි තැපෑලෙනි. ඇගේ ලියමන් ඇය මෙන්වම කුතුහලය අවුස්සයි. සමහරදිනක තනි කළු පෑනෙන් ලියවෙනා ලියමන් තවත් දවසක ලියවෙන්නේ දිලිසෙන කොලවල ලුමිනස් පැහැයෙනි. ඇය කෙටි ලියමන් වලින් මා ඇවුලුවාය. ලියමන් ඇගේ මානසික ස්වභාවය කියාපානවායයි ඔබට සිතෙන්නට හැක. ඇත්තෙන්ම නම් නැත. ලුමිනස් පැහැයෙන් දිනක දුක කියන ඇය තවදිනක කලු පැහැයෙන් සිනාසෙයි. ඒ ඇගේ හැටිය.

සෑම ලිපියකම කෙලවර මලක් (ඇත්තෙන්ම බොහොම සරල සාමාන්‍යය මලක්) අඳින්නට ඇය හුරුවී සිටියාය. පළවෙනි ලියමනේ තිබුන මලේ හරියටම තිබුනේ එක පෙත්තකි. ඒ පෙත්ත ඇය තද රතුපාටින් පාටකර තිබුනාය.

Dearest Loving ෆ්‍රැන්සිස්,

අම්මා ඔයාගෙ තාත්තට හරිම ආදරෙයි. ඔයාගෙ තාත්තට හුරතල් කතා කියනවා. ඇත්තටම මම අහලා නෑ අපේ අම්මා ඒ වගේ හුරතල් කතා තාත්තට කියනවා. ඇත්තටම අම්මා ටෙඩිබෙයෙක් වගේ. හරිම ලස්සනයි. ඒ වගේම හරිම හොඳයි. අපේ අම්මා තරම්වත් නීති නෑ. ඇත්තටම කියනවා නම් කිසිම නීතියක් නෑ. ඒ උනාට ඔයාගෙ තාත්තා හරිම කම්මැලියෙක්. අම්මට කිසිම උදව්වක් කරන්නෙ නෑ.

Neranjana


මලට කහපාට පෙත්තක් එකතුවී තිබුනි. මල සතුව මල් පෙති දෙකක් ඇත. රතු පෙත්තක් සහ කහ පැහැති පෙත්තකි. මෙයද ගොලුබෙලි තැපෑලෙන් මට ලැබුන ලියමනකි. අප විවාහ වී එවිට එක් මසකි. කහවණු අවශ්‍යව තිබිණි. මට කහවණු සෙවිය හැකි වූයේ මුහුදෙහිය. ඒ සදහා විවාහ වී දෙසතියකින් මම නැව් නැග්ගෙමි.

ඇය සතුටින් සිටින බව පෙනේ. ඒත් මම එක් දෙයක් හැඳිනීමි. ලිපියෙහි කොතැනවත් ඇය මගේ අම්මාට "ඔයාගේ අම්මා" යයි අමතා නැතත්, තාත්තාට හැමවිටම "ඔයාගේ තාත්තා" යයි අමතන්නට උත්සුක වී ඇති බවය. එය මට පැනයක් විණ . තවමත් ඒ පැනය එසේම තිබේ.

මීලඟ ලිපිය මට ලැබෙනුයේ ඉතාමත් අනියම් අයුරකිනි. මගේ කොට්ටය යට තිබීය. එවිට මම නිවාඩුවකට ගෙදර පැමිණ සිටියෙමි. මගේ අම්මාත් තාත්තාත් සිටියේ අප සමගය. නිදන්නට ප්‍රථම කොට්ටය සකස් කිරීමේදී ලිපිය ලැබේ. මම අකමැති ගන්ධයක් ලිපියෙන් හමයි. ඒ සුදුලූනු සුවදකි. ඇය මට අකමැත්ත ප්‍රකාශ කරන්නේ ලෝකයේ මම අකමැතිම ගන්ධය යොදාගෙනය.

ෆ්‍රැන්සිස්,

මම කැමති නෑ ඔයාට දුක හිතෙනවට. මම හිතන්නෙ ඔයා මේ ලියුම කියවන එකක් නෑ. එහෙම වුනොත් හොදයි. මම මේ ලියමනේ සුදුලූණු ගෙඩියක් ඇතිල්ලුවෙ ඔයාට කියවන්න එපා වෙන්න. ඒත්, හිතහදාගෙන ඔයා මේ ලියමන කියවනවා වෙන්න පුළුවන්.

අද ඔයාගෙ තාත්තා කියුවා මම අඳින විදිහ හරි නෑ කියලා. මේ ඇඟට හිරවෙන ඩෙනිම් කලිසම් හරිම චීප් ලු. මට අර අඳින්න හිතෙන්නෙම නැති බැරැක්ක වගේ සායවල් අඳින්නලු. එතකොට මම පොඩි එකෙක් වගේලු. මම ඒත් කියුවා කලිසම් අදින එක ලේසියි කියලා. සායවල් දවස ගානෙ හෝදන්නෙ පොලීසියෙන්ද. මම මෙහෙම ලියුවට මෙහෙම ඇහුවෙ නෑ. හිනා වෙලා නිකම් හිටියා. මම හිතන්නෙ ඒ විදිහ හොදයි. අම්මත් කියනවා කලිසම් අදිනවා නම් දිග බ්ලවුස් අඳින්නලු. ඒත් ඔයාට මතකද අම්මගෙ පින්තූරයක් තිබුනා කොට කලිසමක් ඇඳපු. සමහර විට මතක නැතුව ඇති. ඒත් ඒ ඔයත් ඉපදිලා ඉන්න දවස් වල.

දුකින් ඉන්න,
නෙරන්ජි..


ලිපිය කියවා මම ඇය සනසන්නට වෙහෙස වුනෙමි. ඒ වෑයම අසාර්ථක බව මට දැන් පසක් වේ. නමුත් එය සාර්ථකයැයි මම එදවස සිතුවෙමි. මල්පෙති තුනක් පිහිටියාවූ මලේ අන්තිම පෙත්ත අළු පැහැයක් ගති.

මම නැවත් නැව් නැග්ගෙමි. මේ ලියමන ලැබුනේ ඉන් අනතුරුවය.

ආදරණීය ෆ්‍රැන්සිස්,

ඔයාගෙ තාත්තා කියනවා අපි සල්ලි වියදම් කරනවා වැඩිලු. ඔයා ගෙදර ආපු දවස් වලට පීසහට් යන්නෙ ඇයි කියලා එයා අහනවා. ගෙදරින් කන්නලු. ඔයාගෙ තාත්තා කියනවා මගේ පඩිය මදිලු. වැඩ අඩු, වැඩි පඩියක් තියෙන රස්සාවක් හොයා ගන්නලු. මට පිස්සු වගේ.

කසාද බැදලා අවුරුද්දක් වෙලත් අපිට දරුවෙක් නැතිලු. තාත්තා හැම වෙලාවෙම එහෙම කියනවා. මට කනක් ඇහිලා ගෙදර ඉන්න නෑ. ඒක ඇත්ත. ඒත් ඔයා ලංකාවෙ නැතුව මට දරුවෙක් හිටියොත් ඒක අද්භූත නැද්ද? මට ඇත්ත කියන්න. එහෙම වුනොත් ඒක අසාමාන්‍ය නැද්ද?

තාමත් මම දුකින්,

Neranjana


මලට තව පෙත්තක් එක්වී තිබිණ. එය පැහැ ගන්වන්නට නෙරන්ජිට අමතක වී ඇත. ඒ පෙත්ත සුදුපාටයි. එයාට හිතෙන්න ඇති මල් පෙත්තෙ සුදුපාට අතුල්ලන්නට සුදුපාට පැස්ටල් කූර වියදම් කරන එක අපරාදෙ කියලා. සමහර විටක ඒ හිස් මල්පෙත්තක්. එය එසේ වීමටද හැකිය.

මීලග ලියමන ලැබෙන්නට මසක් වත් ගත නොවුනි. අපේ විවාහයට එවිට එක් අවුරුදු වයස් විය. එය ඉතා කෙටිය.

ෆ්‍රැන්සිස්,

අවාසනාවට මේ පස්පෙති මලකි.

දැන් තාත්තා මට කිසිවක් කියන්නේම නැත.

අම්මා රෑ දාවල් නොබලා මට දෝස්මුර තබයි.

සතුටුදායක ආරංචියකි.

මම ගැබිණියක්මි.

ඔබේ පරම්පරාවේ රුධිරය සහිත දරුවකු බිහිකරමි.

ඉතාමත් සතුටින්,
නෙරන්ජි.


අවසාන මල්පෙත්ත මොනපාටදැයි මට මතක නැත. මම කියවා අවසන් වුණ සැණින්ම පිස්සෙකු බවට පත්වුනෙමි. ආවේශවූවෙමි. නෙරන්ජිට දරුවෙක්. මම නිවසින් පැමිණ දැන් සිවුමසකි.

මම නොහඬමි. සුදුපැහැති මල්පෙත්තක් ඇඟලා පෙට්ටියක නිදියන සුරංගනාවිය දෙස බලා ඉමි. ඇගේ කුස මදක් උස්ව පෙනේ.

"දුක් වෙන්න එපා. ඔයින් ගිය එක ලොකු දෙයක් පුතේ. නැත්නම් මැරෙන්න වෙන්නෙ අපට..."

මගේ අම්මාගේ කටහඬ පසුපසින් ඇසේ. මගේ තාත්තා දොර අසල හිඳ පැමිණෙනවුන්ට ආචාර කරනු පෙනේ.

දසුනි හෙට්ටිආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails