
අඳුරු අහස යට නුඹ නෙතු දල්වාන
දැදුරු කළා සතුරන්ගේ හැම හීන
සොඳුරු පැතුම් ළඟ ගැවසුණ කොවුලාණ
රුහිරු හෙළා තැනුවයි අප හට යාන
පවර කුරවි හඬකට හදවත සැලූණයි
අඳුර සිඳෙන විට ආලෝකය නැඟුණයි
එවර කුසුම් එරබදු හැම තැන පිපුණයි
කෙසර සැලී දිය වී රුපුනොද බිදුණයි
කවර එකෙක් ළඟ වුව ඒ හඬ නැගුණයි
මකර පාලනේ හට ඒකෙන් රිදුණයි
විවර කළේ මරු තුරුළට යන පාරයි
බිනර සඳෙත් රත් ලේ පැල්ලම් තිබුණයි
නෙතු පියන් යට එල්ලෙන සිහිනයකට
රතු ලෙයින් වුව ඉඩතියේ තිත තියන්නට
මතු දිනෙන් දින සිහින ඵල ගන්නට
රතු ලෙයත් කැපකර යන්න වෙයි ඉදිරියට
මල්වලට හැකිද රහසේම පර වෙන්න
සියොතුනට හැකිද නිහඬ වී ඉගිලෙන්න
යුක්තියට හැකිද අයුක්තියට ඉඩ දෙන්න
උණ්ඩයට හැකිද හීන වලට හිනැහෙන්න
සුසමක් පමණක්ම හීනයට ඉතිරි වෙන කොට
රිදුමක් නොනැඟේද සියොතුනේ හිත යට
කඳුළක් උනත් නුහුරු ඔය ඇසකට
පැතුමක් නැතිද පියාඹන්නට හෙටකට
ළහිරු කිතලගම
කවි කරන්ට්ස් | උන් මාතලන් ව ගත්තා... ඉතින් ඉන් පසු සියොතුනේ....? - [ළහිරු කිතලගම]
Posted by
BoondiOnLine
10.17.2012



