Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චිත්‍ර කාමරය

පොඩ්ඩන්ගේ සියුම් ඇඟිලි තුඩු වලද අහිංසක ඇස් වලද නොඉඳුල් රත් පැහැ කම්මුල් වලද සැබෑ සිත්තම සැඟව තිබිණ. අවශ්‍යව තිබුණේ ඒ සිත්තම පරිස්සමින් සුදු ඩ්‍රෝවිං කොළයක් මතට ගැනීමයි. වර්ණ ද නිරාමිස හීන ද තැවරෙමින් ඩ්‍රෝවිං කොළ විසි හතරක් ඒවායේ පීඩාකාරී සුදු පැහැය අහිමි කර ගනිමින් සිටියහ. චිත්‍ර පන්තියේ අන්තිම පේළියේ අන්තිම මුල්ලේ විසි පස් වෙනි ඩ්‍රෝවිං කොළය තබා තිබිණ. ඒ මත සදාකාලික වේදනාවේ සුදු පැහැය සතුටේ වර්ණවත් බව අයදිමින් සිටියේය. පැස්ටල් කූරු බලාපොරොත්තු සිඳ ගනිමින් තොල් හප හපා අවුල් වූ කෙස් සුළඟට මුසු කර හරිමින් ඈ අසල වැතිරී සිටියෝය.

මම වර්ණ තැවරුණු හිත් මැදින් ඇවිද ගොස් හිස් ඩ්‍රෝවිං කොළය ළඟ නැවතුණෙමි. පොඩ්ඩී හිස ඔසවා මා දෙස බැලුවාය. ඒ ඇස් වලට නමක් අවශ්‍යව ඇතැයි මට සිතිණ.

මම චිත්‍ර පොත ද පැස්ටල් පෙට්ටිය ද වඩාගෙන පොඩ්ඩීගේ අතින් ගෙන හිරු එළිය තවරා ඇඳ තිබූ කොරිඩෝව මතින් ගුරු කාමරය දෙසට ඇවිද ගියෙමි. පොඩ්ඩී කිසිවක් නොදෙඩුවාය.

ඈ කවුරුන්ද? එළිය නිදියන මුහුදු පත්ලේ හෝ මීදුමෙන් වැසුනු බොහෝ දුර බැහැර මිටියාවතක ඇගේ නම සඟවා තිබෙන්නට ඇත. ඇගේ මුදු අතෙහි ස්පර්ශය දිගේ නමක් සොයනා ආත්මය මා තුළට පෙරී ආවේය. සුරංගනාවන් හැඬූ කඳුලක හෝ කුරුමිට්ටන් ගැයූ තුටු ගීයක ඇගේ නම සඟවා තිබෙන්නට ඇත. වහු පැටවෙක්ගේ නිලන ඇස් වල හෝ පැණි කුරුල්ලෙකුගේ වසත් ගීයක හෝ ඇගේ නම සඟවා තිබෙන්නට ඇත.

මම ගුරු කාමරය තුළ ඈ හිඳුවා පැස්ටල් ද ඩ්‍රෝවිං කොළය ද ළඟින් තැබුවෙමි. අවුල්ව අහසට පනින කොණ්ඩය පීරා තනි කරලක් වෙන්නට පිට දිගේ වැටෙන්නට හැරියෙමි. ඈ සෙමින් ඇස් පියා ගත්තාය. මම රතු රිබනයෙන් ඇගේ කොණ්ඩා අගිස්ස සිර කළෙමි. ඇගේ ඇස් කෙවණි සෙමෙන් තෙත් වන්නට පටන් ගෙන තිබිණ. අවසන, ප්‍රසූතිය පහසු කරන්නට මම ඇගේ සිඟිති මුව සිපගත්තෙමි.

ඉදින් එය සිදු විය.

බොහෝ කලක් සිරගතව සිටි කුඩා කඳුළු සිරකරුවන් දෙදෙනෙක් ඇගේ දෑසින් පලා ගොස් කම්මුල් දිගට බේරී පොළවේ වැටී මියැදුණහ. ඉකිය විසල් හැඬුමක් විය. යාබද සංගීත කාමරයේ තුබූ වයලීන දහයක් අහසට පැන පොඩ්ඩී වෙනුවෙන් සදාතනික අග්නියේ සංධ්වනිය වයන්නට විය. ලෝකය පුරා අහස් ගත කර තිබූ සරුංගල් පවනට බඳු වේගයෙන් පාසැල් අහස මතට පියඹා ආහ. පිට්ටනිය ළඟ මල් වැරූ වයසක අරලියා ගහ තිරිහන්ව මලින් නැහැවෙමින් තිබිණ.

එක්වනම, ඈ විලි රුදාවෙන් කෑ ගැසුවාය.

එකොළොස් වියැති පොඩ්ඩී සුදු ඩ්‍රෝවිං කොළය උඩට මළ දරුවා ප්‍රසූත කළාය. රතු පැස්ටල් ධමනි දිග ගැලූ රුහිරෙන් ඩ්‍රෝවිං පොත ද ඒ අසල බිමද තෙත්ව තිබිණ. පොඩ්ඩී එක කඳුළකදු නොනගා කරදාසිය මත වූ මළ දරුවා සහ තමන් අතර වූ වේදනාවේ පෙකණිවැල සියතින්ම සින්ඳාය.
නැතිව තිබූ නම ඉක්මනින් ඈ සොයා එනු ඇත.
සීනුව කෑ ගැසුවේය.

පොඩ්ඩීව පන්තියට ඇරලූයෙමි.

පසු දා උදේ- ගුරු කාමරය

පොඩ්ඩී ඈත නියර දිගේ සුදු පුළුන් රොදක් සේ පාව එන්නීය. මම ගුරු කාමරයේ සී මැඳුරු කවුළුවෙන් ඈ එනු බලා හිඳිමි.

ඈ නියරත් අහසත් අතර වූ අවකාශයම අත් කරගෙන සිටින්නීය. දොළ අයිනේ කදුරු මල් වලටද, දියබුං ගසනා දණ්ඩි පැටවුන්ටද, අළුත උපන් කෙහෙල් මොරෙයියන්ටද දැන් ඉතින් නරඹන්නට කිසිවක් ලැබී තිබේ. ඈ නැවතී අළුත උපන් වහු පැටවෙකු පාරේ එළවන්නට වූවාය. නියරේ මඩට පය ලිස්සා ඈ වෙලට වැටෙනු ඇතැයි මම බිය වූයෙමි. මම ඒ දෙසට ගියෙමි.

මා මගට එනු දැක ඈ හිනැහෙමින් දිව ආවාය. ඇගේ ඇස් තුළ අහස විය. පොළව විය. ගංගාවන් විය. වහු පැටවුන් ද සුරංගනාවන් ද විය. කුරුමිට්ටන් ද පැණි කුරුල්ලන් ද විය.

මම නියර මත දණින් නැමී හඬමින් ඈ තුරුළු කර ගත්තෙමි.

ඉදින් ජීවිතය ගෙන ඈ පැමිණ තිබේ.

හදිසියේම අමතකව තිබූ ඇගේ නම කෝෂය පලා මතු වන සමනල්- බිළිඳෙකු මෙන් මා ඉදිරියේ ප්‍රාදුර්භූත විය.

"ලස්සන වසිලිස්සා"

-2007

කූඹියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails