
ජර්මනිය පුරා ප්‍රචලිත වෙලා තිබ්බ නාසි විරෝධී විහිළු කතා එහෙන් මෙහෙන් ඇහිලා, සර්වලෝක බලධාරී අධිරාජයා- හිට්ලර් උන්නෙ මල් වරුසාවක් පැනලා. ගෙස්ටපෝවෙ ඉන්න නොම්මර එකේ ඔත්තුකාරයව ගෙන්නලා නියෝග කෙරුවා පල ගිහින් මොන ලෝකෙන් හරි මේ බලු විහිළු කතා ගොතන එකාව අල්ලගෙන වර කියලා.
මිනිහා හැරෙන තැපෑලෙන් බඩු කුදලගෙන ආවා. ජෝකර් ඇවිල්ලා, වොන් ගෝල්ඩ්බ්ලූම් කියලා යුදෙව්වෙක්.
හිට්ලර් මාරාවේශෙන් ජෝකර්ට කඩන් පැන්නා.
"අර මට වැඩේට කලින් යනවයි කියන වනචර විහිළුව ගෙතුවෙ තෝ ද?"
"ඔව්. මමයි." ගෝල්ඩ්බ්ලූම් නිහතමානීව පිළිගත්තා.
"එතකොට, මගෙ අප්ප ඌරෙක් කියන ජඩ විහිළුව ගෙතුවෙ තෝ ද?
"ඔව්. ඒත් මමම තමයි."
"එතකොට, මං මළ දවසට ඒක යුදෙවු නිවාඩු දවසක් වෙනව කියන පාහර විහිළුව? ඒකත් තෝද?"
"එහෙමයි. මම තමයි" ගෝල්ඩ්බ්ලූම් බිම බලාගෙන සන්සුන් හඬින් කිවුවා.
"එතකොට, යුදෙව් ඌරෝ.....," හිට්ලර් යටි ගිරියෙන් කෑ ගැහුවා. (කවුරුත් දන්නවානෙ ඉතිං ඒකාධිපතියන්ට ඉවසීමක් නෑ කියලා...) "තෝ දන්නවද, මම තව අවුරුදු දහස් ගානක් යන තුරු කීර්ති කදම්බයෙන් දිදුලන- ශ්‍රේෂ්ඨ ජර්මානු ආර්ය අධිරාජ්‍යයේ- ශ්‍රේෂ්ඨ අධිරාජයා බව? පිරිසිදු ආර්ය ජාතියේ ආඩම්බරකාර පියා බව?"
"හඃ හඃ හා" ගෝල්ඩ්බ්ලූම් යටි උගුරෙන් සද්දයක් දාල මිනිහගෙ සරුවාංගෙම සලිත කර කර කර හිනාවෙන්ඩ පටන් ගත්තා. "උතුමාණෙනි, ඒක නං පට්ටම ජෝක් එක- හැබැයි ඕං මං නං නෙමේ ඒක ගෙතුවේ. ඒක මං ඇහුවෙත් අදයි."
ආදර්ශය-
හිට්ලර් චිර ජීවනයේ රහස හෙවත් කුරහන් තලප ගැන අඳෝසංසාරයක් දැන හිටියේ නැත.
ඔමරියා



