
පිකාසෝ:
ඉතින් තව නො තවරමි පියාණෙනි
ඔබට රිසි වර්ණ කිසිවක් මෙහි
නිම නො කළ ඔබේ සිතුවම් වල
තවරා එදා සිට ඔය වර්ණ
වෙහෙස යි දැන් මට
නිතර ඔබ අඳිනා
බිම ලගින කුරුල්ලන්
කිසි දාක නො නගින
අරුම අහසට
දවසක් මම නැංගෙමි
තරු වළල්ලෙන් එහා
රමණීය සක්වළෙහි ටික දුරක් ඇවිද්දෙමි
රස අඳුරු මුල්ලකට
අත පොවා බැලුවෙමි
නැවත ගත් මා අත්ලෙහි
තැවරී තිබුණු වර්ණයන්
පොළොවෙහි කිසි තැනෙක නුදුටිමි...
කමා කළ මැන එහෙත් පියාණෙනි
තවරා ඒ වර්ණ
කෙළෙසමි ඔබේ සිතුවම
සිදු වේ ය කලාවේ දී යමෙකුට
තම පියා මරන්නට.
කාශ්‍යප:
එසවූ දිය දෝත
ඔය ඔබේ ධනය ය, පියාණෙනි
නො වේ මැයි මගෙ ධනය
කිසි දා ඔබ නො ගිය
අර පෙනෙන එකලා ගිරි කුළට
දිනක් මම නැංගෙමි
දිය කඳුරු හෝ කෙත් වතු
කුඩා තිත් සේ දුටුවෙමි
ගිරි මුදුන යා කළ අහසින් වශී විමි
එයින් වර්ණ ගෙන
ගිරි බඳෙහි තැවරිමි
ඒ මගේ ධනය ය, පියාණෙනි
ඇඟිලි අතරින් රූරා හැලෙන්නේ
ඔය ඔබේ ධනය ය
කමා කළ මැන එහෙත් පියාණෙනි
මුහු කර ඒ වර්ණ
කෙළෙසමි ඔබේ දියවර
සිදු වේ ය කලාවේ දී යමෙකුට
තම පියා මරන්නට.
[පිකාසෝ ගේ පියා දොන් ජුසේ රුයිස් සිත්තරෙකු වූ අතර, නිම නො කළ තම පින්තාරු වල සායම් ගෑමට පුත්‍රයා අතට පත් කළේ ය. මෙය පිකාසෝගේ සිත්තර දිවියේ ආරම්භය විය.
'I beat my father at his own game - conventional painting. Then I went on to attack the game by joining those who were changing the rules. In art, one must kill one's father...'
-Picasso, to a fellow student in 1898
මීට සමකාලීන ව, ඔහු එතෙක් භාවිතා කළ 'පැබ්ලෝ රුයිස්' නම අත්හැර, මවගේ නමින් කොටසක් ගෙන 'පැබ්ලෝ පිකාසෝ' ලෙස පෙනී සිටින්නට පටන් ගත්තේ ය.]
අනුරාධ මහසිංහ



