Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සරෝජා නංගීව ඝාතනය කෙරුණි. එසේ ඝාතනය කිරීම සඳහා උඩගෙඩි දුන් සිංහල කලාකරුවෝ බොහොමයකි. එයින් සමහරෙකු එය කෙළේ සිය කලා කෘති තුළින්මයි. තවත් සමහරු තමන්ගේ කලා කෘතිවලින් නොව, අත්සන පමණක් යෙදීමෙන් එම ඝාතනය අපරානුමත කළහ. ඊට සම්මාදම් නොවී සිටියේ කලාකරුවන්ගෙන් අතලොස්සකි.

මේ කියන සරෝජා නංගී ගැන පැවති ස්නේහයෙන් ඇළලූනු මහින්ද චන්ද්‍රසේකර කවියා ගීයක් ලීවේය. "සරෝජා මගෙ නංගීයේ" නැමති එම ගීය එදා ඉතා ජනප‍්‍රිය විය. ඒ, ජාතීන් අතර සහෝදරත්වයක් වෙනුවෙන් සමාජ කතිකාවක් මතුවෙමින් පැවති මොහොතකි. දීපිකා ප‍්‍රියදර්ශනී මේ ගීය එදා ලස්සණට ගැයුවාය. එදා සරෝජා නංගී ජීවතුන් අතර උන්නාය.

මානව හිතවාදී ගායිකාවක වශයෙන් මේ ගීතයෙන් බැබළුණු දීපිකා ප‍්‍රියදර්ශනී, ඊට වසර කිහිපයකට පසු, තවත් ගීයක් ගැයුවාය. ඒ මෙසේ ය:

"විසල් පවුරු බිඳලා,
උතුරෙන් දකුණට, දකුණෙන් උතුරට,
නෑගම් යන්නට පාර තනා දුන්නා,
රණවිරුවනි ඔබ පාර තනා දුන්නා...."


මේ ගීතය අසන්නට සරෝජා නංගී ජීවතුන් අතර සිටියේ නැත.

මෙහි දී ගායිකාව කියන කතාව සම්පූර්ණ අසත්‍යයක් නොවේ. රණවිරුවන් විසින් පාරක් තනා දී තිබීම සැබෑවකි. එහෙත් කෙබරය වන්නේ, ඒ පාරෙන් යා හැකි නෑගමක් ඇතැ යි කීම ය. සරෝජා නම් වන නෑයෙක් අපට නැති වීම ය. අද අපට තිබෙන්නේ, විවිධ ජාතීන් ඇති, එහෙත් ඒ ජාතීන් එකිනෙකා අතර කිසි නෑකමක් නැති, විරසක රටකි. ගායකයෙකු හෝ ගායිකාවකට සිය ගායන භාවිතය තුළ දේශපාලන දෘෂ්ටිවාද දැරීම අනිවාර්ය කෙරෙන නීතියක් හෝ එකඟත්වයක් නැත. එපමණක් නොව, මානවවාදී වන්නැ යි පැනවුණු විශේෂ නියෝගයක් ද නැත. එහෙත්, මානව විරෝධී නොවී සිටීම, කලාව තුළ නිසගයෙන් ඉල්ලා සිටින අවම කොන්දේසියක් බව, වෙන කවුරුන් නැතත් කලාකරුවන් අමතක නොකළ යුතුය.

බොහෝ කලාකරුවෝ විවිධ දෘෂ්ටිවාද දරති. ඒවා ප‍්‍රකාශයට පත්කරති. සමහරු එය කරන්නේ බඩ වෙනුවෙනි. තවත් සමහරු ආනන්දය වෙනුවෙනි. තවත් සමහරු ආනන්දයට අමතරව, මානවවාදය තරු එළියක් සේ ගන්නා හෙයිනි. එක විට මානවයාගේ ආනන්දයටත්, ප‍්‍රගමනයටත් දායක වන්නේ මේ පසුව කී කලාකරුවන් ය.

විදග්ධ යැයි කියාගන්නා බොහෝ ගායකයන්ට වඩා ජෝතිපාල මිනිසුන්ට ආදරය කළ ගායකයෙකි ය යන්න මගේ මතයයි. ඔහුගේ "බොළඳ" ගී ආර තුළ ආදරයම මිස වෙන කිසිවක් නොතිබුණු තරම්. ඔහු දේශපාලන පක්ෂ වේදිකාවලට නැග්ගේය. එහෙත් කිසි දවසක ඔහු මිනිසුන් මරන්නට හෝ මරණය උත්කර්ෂවත් කරන්නට ගීත නොකීවේය. එයම, කලාකරුවෙකුගෙන් මානව සමාජයකට පිරිනැමෙන අසහාය තිළිණයක් වශයෙන් සැළකීම යුක්ති යුක්ත ය.

"උතුරු කොනේ නුඹ හිනැහේ, නඩරාජා මල්ලියේ" යැයි කපුගේ ගායනා කරන විට කෙනෙකුගේ හිතේ අනිකා හෙවත් පිටස්තරයා කෙරෙහි ඇති වූ ඒ ස්නේහය "සරෝජා මගේ නංගියේ" ගීයෙන් ද එදා විශද විය. ඉන් පසු, එම කලාකාරියම, වසර කිහිපයක් ඇවෑමෙන්, සරෝජා නංගීව ඝාතනය කොට තනා ගත් තාර පාරකට පෙම් බැඳීම අප තේරුම්ගන්නේ කෙසේ ද?

රැල්ලේ කීර්තිය ඩැහැගැනීමට ගී ගයන අය අතර පීචන් එවුන්ට වඩා විදග්ධයෝ සිටිත්. එය හරියට, දකුණට යන, ආපස්සට යන, රාජාණ්ඩුවකටත් එහා යන වර්තමාන පාලනය තුළ මාක්ස්වාදී අහිනක් රොදබැඳ ඉන්නා සේ ය. මීට කාලයකට පෙර රණවිරුවන් වෙනුවෙන් ගැයීමට පටන්ගත් පසු, මේ දීපිකා ප‍්‍රියදර්ශනී නැමති ගායිකාව තමන් එදා ගැයූ සරෝජා ගීය ගැන කණස්සල්ලට පත්ව සිටි බවට සාක්ෂි දරන්නෝ සිටිත්. එය ඇගේ අත්වැරැද්දකින් ගැයූ ගීයක් යැයි පසු කලෙක ඈ සිතුවත් ප‍්‍රසිද්ධියේ කීවේ නැත. ඒ අතින්, ගුණදාස අමරසේකර තරම් ඈ අවංක නැත. අමරසේකර යළි උපන්නෙමි නවකතාව ගැන පසු කලෙක හැව ඇරියේය. මේ ගායිකාව සරෝජා නංගීවත් ඔඩොක්කුවේ හොවාගෙන නැවතත් මෙසේ ගැයුවාය: "මුරදේවතාවා නුඹයි හිමියනේ/ දියගොඩ අහස ලක්බිම පියස/සුරකින් දෙඇස නුඹමයි රහස/ මගෙ හිමියනේ/ මුරදේවතාවා නුඹයි හිමියනේ" ඒ, සිංහල රණවිරුවන් වෙනුවෙනි.

දැන්, පිලිපීන ජාතිකයෙකුගෙන් සරෝජා ගීතය සඳහා ඈට සම්මානයක් හිමි වී තිබේ.

මොකක් ද මේ සම්මානය?

"ගුසි සාම ත්‍යාගය" වශයෙන් හැඳින්වෙන මෙය 2002 දී ආරම්භ කොට ඇත්තේ, බැරී ගුසි නැමති පිලිපීන ජාතිකයෙකි. බොහෝ විට දානපතියන්ගෙන් ලැබෙන ආධාර මත පවත්වාගෙන යන මේ සඳහා යම් ප‍්‍රචාරණයක් පිලීපිනයේ දියත් කෙරේ. සාමය සඳහා ලෝකය පුරා අවදි වීමක් ඇති කිරීම තම අධ්‍යාශය බව එම ප‍්‍රචාරණය තුළ ඔහු කියා සිටී. එහෙත් සැබෑව වන්නේ, එය බැරී ගුසිගේ පුද්ගල ස්කන්ධය අටවා ගැනීම ඉලක්ක කරගත් කූට ප‍්‍රයෝගයකට වැඩි යමක් නොවන බව යි.

මේ ත්‍යාගය සඳහා වන සුදුස්සන් සළකා බැලීම සඳහා මූලික තේරීම් කමිටුවක් නැත. ඒ ඒ පුද්ගලයන් ඊට අයදුම් කළ යුතුව තිබේ. ඒ අනුව, තමාගේ සරෝජා ගීතය සළකා බලන්නැ යි දීපිකා ප‍්‍රියදර්ශනී හෝ ඇගේ නියෝජිතයෙකු ඉල්ලා සිටින්නට ඇතැ යි අපට උපකල්පනය කිරීමට සිදුවේ. ඒ සමගම, ත්‍යාගය භාර ගැනීම සඳහා ජයග‍්‍රාහකයා තමන්ගේ වියදමින් පිලිපීනය බලා පැමිණිය යුතුය. යම් හෙයකින්, තෝරා ගත් පසු අදාළ ජයග‍්‍රාහකයා තම වියදමින් පිලිපීනයට නොපැමිණියහොත්, ත්‍යාගය ඔහුගෙන් හෝ ඇගෙන් අහිමි කෙරේ. ගිය වසරේ, ක‍්‍රීඩාව වෙනුවෙන් ප‍්‍රදානය කෙරුණු ත්‍යාගයේ හිමිකරු ත්‍යාග ප‍්‍රදානෝත්සවයට නොපැමිණීම නිසා, ඔහු වෙනුවෙන් ත්‍යාගය භාර ගැනීම සඳහා නියෝජිතයෙකු එහි පැමිණ සිටිය දී පවා, එම ත්‍යාගය ඔහුට නොදෙන බව අවසාන මොහොතේ දී බැරී ගුසී සභාවට දැනුම් දුන්නේය. එපමණක් නොව, එම ක‍්‍රීඩකයාට ඉන් මත්තට පවා ඔහුගේ ජීවිත කාලය තුළ මෙම ත්‍යාගය කිසි දිනෙක නැවත ප‍්‍රදානය නොකෙරෙන බවට තමා වගබලාගන්නා බවත් කිසි ලැජ්ජාවකින් තොරව බැරී ගුසී තවදුරටත් ප‍්‍රකාශ කොට සිටියේය. ලෝකය පුරා සාමය වෙනුවෙන් ඊනියා සහතිකපත් බෙදන්නා, එවැනි තීරණයකට එළැඹීම කියාපාන්නේ කුමක් ද? තමා ගැන පිම්බුණු උද්ධච්ච නිරුවත වසා ගැනීම මොන තරම් අසීරු ද යන්නයි.



ත්‍යාග ප‍්‍රදානෝත්සවයට පැමිණීමේ සියලූ බරපැන තෝරාගත් ජයග‍්‍රාහකයා හෝ ජයග‍්‍රාහිකාව පිට පැටවීමෙන් පසු, ඊට නොපැමිණීම අදාළ ත්‍යාගය අහිමි කිරීමට හේතුවක් කරගන්නා විකාරයක් ලෝකයේ වෙන කිසි තැනක ඇත්තේ නැත. පිලිපීනය අවට ඇතැම් කොදෙව්වල පිලීපීනයේ තානාපතිවරයෙකු වශයෙන් කලක් කූට අයුරින් පෙනී සිටිමින් විවිධ ආයතනවලින් ආධාර ඉල්ලා සිටි මේ පුද්ගලයා, කිසි විටෙක පිලිපීන රජයෙන් එවැනි තනතුරකට පත්කොට නැති බව එම රජය මෑතක දී නිවේදනය කෙළේය.

සරෝජා ඝාතනය කිරීමට උඩගෙඩි දුන් දීපිකා ප‍්‍රියදර්ශනීට එම සරෝජා වෙනුවෙන් "සාම ත්‍යාගයක්" පිරිනැමුණු අපූරු කතාව ඇසීමෙන් විස්මයට පත් මම, ඊට විරෝධය පෑම සඳහා අදාළ ත්‍යාගයේ බලධාරීන් සොයා බලා, මේ නරුම තේරීම ඔවුන්ට හෙළිදරව් කිරීමට සිතාගත්තෙමි. එහෙත්, එම පරීක්ෂාවේ දී මට හමුවුණේ ත්‍යාගයේ ලොක්කාගේ ඉහත සඳහන් තොරතුරු ය.

ඉතිං, හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට නොගොස් අපේ පාඨකයාට මේ අවනඩුව කීම වඩාත් වටනේ යැයි මට සිතුණි.

(අවරදිග ආවර්ජනා. රාවය. 2012.10.07)

ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails