
වෙළෙන්දී මම්.
ප්රාර්ථනා කූඩේ තබාගෙන
රන් ඇපල් විකුණම්.
රන් පිහියෙන් කපා
ඇපලය හතරට
අමෘතය දෙම්.
දුරට ඇපල්
ළඟට පැපොල් වෙම්.
රන් ඇපල් මලින් පිරුණු ගවුමක්
ලබන භවයේ අඳින්නට
මේ භවයේ බැංකුවේ
හැකි පමණ පිං තබම්.
නිකන් මල් පිපුණු චීත්තයක් ඇඳගෙන
හෝල්ටෙක ළඟ හිඳිම්.
නාලාගිරි සේ කුලප්පු
බස්වලින් විදින දුම් ගිනි මැද
අව් වැසි දූවිලි ඇතුළත
කොන්ද කෙලින් තියාගෙන පසුවෙම්.
ඇපල් හොරෙන් කන කපුටන්ට
කුණු ඇපල් සේ
කුණුහරුපෙන් බණිම්.
හොල්ල හොල්ලා
ණය ගහේ ඇපල් අතු
ලොකු මුදලාලිට
ඇපල් ගොඩවල් සේ ලොකු ණය ගෙවම්.
ඇපල් යුෂ සේ
තේ කහට වළදම්.
ගෙවල් කුලී වතුර බිල්
රතු ඇපල් එළි දකිම්.
ඇපල් කූඩේ හිරවී
ඇපල් ගොඩවල් පීර පීර
ජීවිතේ රන් ඇපලය හොයම්.
ඇපල් නැති ගහකින් වැටුණ
මිනිහා ගැන හිත හිත
රස ඇපල් ගොඩ දෙස බල බල
ජීවිතේ තිත්ත ඇපල් බුදිම්.
රන් ඇපලයක් සේ
බොරුවට හඳ පායනකොට
එක ඇපල් ගෙඩියක් පුතුට අරගෙන
ගෙදර දුවම්.
"අනේ මගේ ඇපලේ"යි ඌ බදාගෙන
සියක්වර සිපගනිම්.
සමිත බී. අටුවබැන්දෑල



