Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"සුබ සැන්දෑවක්" යි කියමින් ඕබි දොර ඇරියේ ය.

"සුබ සැන්දෑවක්! මේ ඔකොන්කෝ මහත්මයා ද?"
යි අමුත්තා විමසී ය.

එසේ යැයි ඕබි කී විට ගෙට ඇතුළු වූ මිනිසා තමා ඕබිට හඳුන්වා දුන්නේ ය. ඔහු ඇඳ සිටියේ අක්බාඩා නමින් හැඳින්වුණු සිවුරක් වැනි වූ නවීන මෝස්තරයේ මිළ අධික දිගු ලෝගුවකි.

"වාඩි වෙන්න"

"ස්තූතියි" කියමින් අසුන් ගත් අමුත්තා ලෝගුව ඇතුළේ සාක්කුවකින් දිග ලේන්සුවක් ගෙන මුහුණ පිස දා ගත්තේ ය.

"මහත්තයාගේ කාලෙ නාස්ති කරන්න මං කැමති නැහැ" යි අනතුරු ව කී ඔහු ලෝගුවට යටින් අත යවා දෑතේ බාහු වල දාඩිය ද ලේන්සුවෙන් තෙත මාත්තු කළේ ය.

"මගේ පුතා එන සැප්තැම්බර් වල එංගලන්තෙ යන්නයි ඉන්නෙ. මට ඕනෙ කරලා තියෙනවා මිනිහට ආණුඩුවෙ ශිෂ්‍යත්වයක් අර ගෙන දෙන්න. මහත්තයාට මේක කරන්න පුළුවන් නං මෙන්න මෙතන තියෙනවා පවුම් පනහක්." සිය ලෝගුවේ ඉදිරිපස සාක්කුවෙන් ඔහු නෝට්ටු මිටියක් එළියට ගත්තේ ය.

එහෙත් එවැන්නක් තමාට කළ නොහැකි යැයි ඕබි එහි දී ඔහු ට පැහැදිලි කළේ ය.

"කොටින් ම, මං නෙවෙයි ශිෂ්‍යත්වෙ දෙන්නෙ. මං කරන එක ම දේ තමයි, ඉල්ලුම් පත්තර බලලා, අපි ඉල්ලලා තියෙන සුදුසුකම් තියෙන අයව ශිෂ්‍යත්ව මණ්ඩලේට නිර්දේශ කරන එක."

"ඒක ම තමයි මහත්තයා මටත් කරගන්න ඕනෙ." ආගන්තුකයා කී ය. "අන්න ඒ දේ මට කරලා දෙන්න."

"ඒත් මං නිර්දේශ කළා කියලා මණ්ඩලේ ඒක පිළිගනියි කියලා හිතන්න බැහැ."

"ඒ ගැන කරදර වෙන්න එපා. මහත්තයා ගේ වැඩ කොටස කරන්නකෝ."

ඕබි නිහඬ ය. ඒ පිරිමි ළමයා ගේ නම ඕබිට මතක ය. ඔහුගේ නම අවසාන ලයිස්තුවට ද තේරී තිබිණි.

"ඇයි සල්ලි වියදම් කරලා එයාව අරින්නෙ නැත්තෙ? ඔය මහත්මයාට සල්ලිත් තියෙනවා නෙ. මේ ශිෂ්‍යත්වෙ තියෙන්නෙ සල්ලි නැති දුප්පත් ළමයින් ට."

එවිට ආගන්තුක මිනිසා සිනිසුණේ ය.

"මේ ලෝකෙ කාටවත් සල්ලි නැහැ"යි කී ඔහු නැගිට්ටේ ය. ඉන්පසු නෝට්ටු මිටිය ඕබි ඉදිරිපස මේසය උඩින් තිබ්බේ ය. "මේක සුළු තෑග්ගක් විතරයි." ඔහු කී ය. "අනාගතේ දී අපි හොඳ යාළුවො වෙයි. ළමයාගේ නම අමතක කරන්න එපා. මං ගිහින් එන්නං. ක්ලබ් එකට එහෙම එන්නෙ නැහැ නේ ද? මං කවදාවත් දැකලා නැහැ."

"මං ඒකෙ සාමාජිකයෙක් නෙමෙයි."

"සාමාජිකත්වෙ ගන්න එපා යැ"
ඔහු කී ය. "ගිහින් එන්නං."

මුදල් නෝට්ටු මිටිය එදා දවස මත්, රෑ එළි වෙනකල් මත්, එතැන ම තිබුණේ ය. ඕබි එය පත්තරයකින් වැසුවේ ය. දොර හොඳට අගුළු ලෑවේ ය. "මේ වැඩේ නම් අන්තිමයි." ඔහු තමාට ම කියා ගත්තේ ය. "අන්තිමයි!"

එදා මැදියම් රෑ ඔහු බය වී ඇහැරුණේ ය. ඉන් පසු බොහෝ වේලාවක් යන තෙක් ඔහු ට නින්ද ගියේ නැත.

****

"ඔයා ලස්සනට නටනවා." ඈ ඔහුගේ සිරුරට තව තවත් තුරුලු වන විට ඔහු කීවේ ය. ඉතා වේගයෙන් ඇගේ හුස්ම ඉහළ පහළ වැටේ. ඉන් පසු ඔහු ඇගේ අත ගෙන තමාගේ කර වටා දමා ගත්තේ ය. එවිට ඇගේ දෙතොල ඔහුගේ දෙතොලට සෙන්ටිමීටරයක ආසන්නයේ විය. වැයෙන සංගීත රිද්මය ගැන දැන් ඔවුන්ගේ තැකීමක් නැත. ටික වේලාවකින් ඕබි ඇය සිය නිදන කාමරය පැත්තට එක්කර ගෙන ගියේ ය. මුල දී තරමක් අදිමදි කළ ද අනතුරු ව ඈ ඊට අනුමැතිය පෑවා ය.

පැහැදිලිව ම, ඈ අහිංසක පාසල් දැරියක් නො වූවා ය. තමාගේ රාජකාරිය ඈ මැනවින් දැන සිටියා ය. කෙසේ වෙතත්, දැනට මත් ඈ අවසාන ලැයිස්තුවට තේරී තිබිණි. එහෙත් මේ වූ කලී මහා අකටයුත්තකි. එය එසේ නොවේ යැයි ඇඟවීමේ තේරුමක් නැත. කෙනෙකු අඩුම වශයෙන් තමන්ට ව්ත් අවංක විය යුතු ය. ටික වේලාවකින් ඔහු ඇයව තම වාහනයේ ම නංවා ගෙන ටවුමට ගොස් ඇරලුවේ ය. ආපසු එන ගමන් මේ රසවත් කතාව කීමට ඔහු ක්‍රිස්ටෝපර්ගේ නිවසට ද ගොඩ විය. ඒ ගැන ඔහු සමඟ කතා කොට, ඔහු සමඟ සිනා සී, අන්තිමේ දී එය අමතක කර දමන්නට ඒ මඟින් ඔහුට හැකි වනු ඇත. එහෙත් එදා ද ඔහු ඒ කතාව නො කීවේ ය. "වෙන දවසක බැරි යැ" යි ඔහු ට සිතිණි.

****

"ඔකොන්කෝ කියන්නෙ මේ මහත්මයා ද?" නන්නාඳුනන පුද්ගලයා ප්‍රශ්න කළේ ය.

"ඔව්" ඕබි කී ය. ඔහුට ම පවා හඳුනාගත නො හැකි තරමට ඔහුගේ හඬ වෙනස් වී ඇත.

කාමරය කරකැවෙන්නට පටන් ගත්තේ ය. අමුත්තා කිසිවක් කියයි. එහෙත් එය ඇසෙන්නේ දුරක සිට එන හඬක් සේ ය. හරියට උණ රෝගියෙකුට යම් යම් විකාර දේ ඇසෙන්නා සේ ය. අමුත්තා ඕබි ගේ ඇඟපත පරීඬා කළේ ය. සාක්කුවේ තිබූ නෝට්ටු ටික ඉන් පසු ඔහු අතට ගත්තේ ය. එසේ කොට නැවත මොකක්දෝ කියවන්නට පටන් ගත්තේ ය. රැජිනගේ නම ද ඊට ඈඳින. හරියට ගමේ ගොඩේ ඇවිස්සුණු දාමරික පිරිසක් ඉදිරියේ දිස්ත්‍රික් නිළධාරියා කැරලි මර්දන පනත කියවන්නා සේ ය. මේ අතරේ අනික් පුද්ගලයා ඕබිගේ දොර ළඟ දුරකථනය වෙත ගොස් පොලීසියට ඇමතුවේ ය.

කවුරුනුත් තම තමන්ගෙන් අසා ගත් ප්‍රශ්නයක් විය. එනම් මෙසේ වූයේ ඇයි ද යන්නයි. උගත් විනිශ්චයකාර තුමා ද, අප මුලින් දුටු පරිදි ඇසුවේ මෙවන් උගත් පුද්ගලයෙකු එවැන්නක් කළේ මන්ද, වැනි ප්‍රශ්න ම ය.


චිනුවා අචිබේ

-හිරු බැස ගිය පසු- 1999

චිනුවා අචිබේ
පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails