
හිමිදුරා වැව ළඟ
ඉවුරු කළඹන ඇත් පෙළ
මඳක් මඟ හැර යන්න
මහ වනය අයිතිය උන්ට
අකුරකට බැඳි ලොබ සිත
හඬන විට නැතිව පෙළ පොත
මිරිවැඩි නොදැක රළු වුන
ටිකිරි පා සෙමෙන් නවතින
වෙඩි පුපුරනා හඬ මැද
ගෙවුණු කාලය සැහැසිය
දිවි මග නොයෙක් කරදර
හිස මත අකුණු වී පුපුරත
මහා වස්සාන කාලයට
හිමිදුරා වැවේ ධමනිය
පුපුරයි දරණු නොහැකිව
දරුණුව ගලන දියකඳ
හුදකලා වෙන ගම්දොර
එකිනෙකා බදා ගුළිවෙත
අසරණ කමම ඉතිරිව
ලිපගිනි සිතෙන් මොලවත
ඉර ගිනි ගත් කලට
ගහ කොල පරඬළා වෙන
මහ පොළොව ගෙනත් ගින්දර
හේන් යායම අවුලන
දින, සති, මාස ගෙවමින
අවුරුදු ගණන් පසුවෙන
එකම මඟ ඇවිදින
නැති බැරි කමින් බැට කන
සඳ නැති අමාවක දිනට
ගම නිදිගත් පැයට
වෙනසක් පතන ඇස් දෙක
වැව් ඉවුර මත දිදුළන
කපිල එම්. ගමගේ



