
තරු කඩා හැලෙන - තුරු හඬා වැටෙන
ඔක්තෝබරය ආයෙමත් ඇවිදින්
රන්පත්ර පොළොවේ ගසා දමමින්
සියලු සළුපිළි උනා සෙළුවෙන්
ඇති ඈත කොණක - තනිව සිර ගෙයක
කවුළුවක් නැතිව - වැට එහායින් දකින
සැඟවුණේ මන්ද
ඇඟිළිතුඩු අතරින් කඩා හැලුණේම කඳුළු
පන්හිඳට පුළුවනිද
අහුරන්න ඇහිපියෙක සීමැඳුරූ
කුරුබිළියෙන් එහා ඉම ගණ අඳුරූ
එඩිතරම හිතක වුව හැඩිදැඩි
මල් පිපෙන්නේ නැතැයි
කියන්නේ කවුරූ
ඔබ නොබින්ඳද!! මහා පවුරූ
ඉලුක් අහුරපු ගෙමුදුන දිරූ
එදා සිරිමහලක සිරිය දුන් යුරූ
ගෙතුළ උන් - තරම් නැතිය කිසිවකූ
සගයිනේ උඹලාට හිටිය ලෙන්ගතූ
කළුවරේ පිල මත පහන් වුණී
දවස් තිබුණා ගණනක් නැතී
හෙට ඉරක් පායයිද සැක සිතී
සඳ එළිය තනියෙන්ම ඉකිබිඳී
බොඳ වෙච්ච මුව ඇස් පුරා
භීතියත් මායිමෙන් පැන්නූ
උඹලාට සෙනෙහසම දුන්නූ
ඇති තරම් හිත හයිය පෙන්නූ
ඈ තරම් කවුරුන්ද
හෙවණැල්ල වගේ ළඟ උන්නූ
තණපත්ර - උන් දෙතොල් උල් කර
සිඹියි රතු පස් අහුර නිම් නැතිව
සුවඳ ඉල්ලා නුඹේ දහදිය බිඳෙක.
උන් මතින් ඇති මුදු - පිනිපත්ර
එකින් එක පුපුරුවයි නුඹ නමට
සිහිල සැනසුම දෙනු වස් ම.
ඇත්තටම මෙතරම්
පැහැය පත් මත තැවරූ
දෙවියෙක් වෙතැයි මහපොළොව මත
නොඅදහා ඉන්නේ ද කව්රූ
මන්දාරමේ වැහි කෝඩ යට
ඔක්තෝබරයකි අමුතු කළුවර ගේන
ගිරග හැපී මියැදෙන - රන් සමනොළ රෑන
නපුරු ඇයි මෙතරම්ම - පාටැති හීන?
තුෂාරි ප්රියංගිකා
කවි බූන්දි | පාටැති සිහිනයක හිස ගසා ගත් සගයෙකු විය - [තුෂාරි ප්රියංගිකා]
Posted by
BoondiOnLine
10.18.2012



