Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කොතැන සිට ආවාද කියා හෝ වෙනයම් අතීත විස්තරයක් හෝ කිසිවකු නොදැන සිටි නමුදු ගෝටයා පිළිබඳ ආරංචිය මුලින්ම ගමට ගෙනාවේ ඇන්ටන් කොළුවා බව නම් හැමෝටම මතකය. ගමට ඇතුළු වෙන පාලමේ ඇන්ද මත වාඩි වී මාළුවෙක් බාගන්නට අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටි ඇන්ටන් කොළුවා තමාට පිටුපසින් සිටි කිසිවකු ඉකිබිඳින හඬට ආපසු හැරී බැලූ මොහොතේ මේ අපුරු සත්ත්වයා පළමු වරට දුටුවේය.

"මට ඔහේ ගැන හරිම දුකයි.. උදේ ඉඳන් ඇම දාගෙන බලා ඉඳලත් මාළුවෙක් අල්ලගන්න බැරි වුණා නේද.. ?" ඇන්ටන් කොළුවා විශ්මයෙන් මුව අයාගෙන සිටියදී ගෝටයා කඳුළු පිසිමින් කතා කළේය.

"ඔහේ කොහොමද දන්නෙ මම උදේ ඉඳන් මෙතන හිටිය බව.. ? ඔහේ මේ දැන්නෙ මෙතනට ආවෙ. ?" ඇන්ටන් කොළුවා ලේසියෙන් රැවටෙන ජාතියේ එකෙකු නොවේ.

"මම මොකද නොදන්නෙ.. ඔහෙලගෙ සියලුම දුක් වේදනා හැම මොහොතකම මට දැනෙනවා.. ළඟ හිටියයි ඈත හිටියයි කියල ඒකෙ වෙනසක් නැහැ." ගෝටයා සෝබර හඬින් මිමිණුවේය. ".... මම දන්නවා ඊයෙ මුළු දවසෙම ඔහේගෙ ගෙදර ලිප පත්තු කළේ නැහැ.. රෑට කෑවෙ පාන් විස්කෝතු නේද.. ? ඔහේලගෙ විතරක් නෙවෙයි මේ මුළු ගමේම ගෙවල් වල වළඳක් රත් වෙන්නෙ එහෙමත් වෙලාවක බව මම දන්නවා.. මට මේවා දරන්න බැහැ.. මම කොහොමද මේවා ඉවසාගෙන ඉන්නෙ .. ? ඔහේලගෙ දුක් වේදනා මට ඉවසන්න බැහැ....." ගෝටයා යළිත් හඬන්නට පටන් ගත්තේය.

මේ සත්වයා නම් සියල්ල දන්නා අපුරු එකෙක් බව ඇන්ටන් කොළුවා මේ වන විට පසක් කරගෙන සිටියේය. පළමු වතාවට ගෝටයා පිළිබඳ ගෞරවයක් ඔහුගේ සිතේ ඇති වුයේ ඉන් පසුවය. එහෙත් ඔහු විශ්මයෙන් අයා ගත් මුවින් යුතුව ගෝටයා දෙස බලා සිටියේය.

"ඇයි තමුසෙ බලා ඉන්නෙ.... ? කතා කරනවා.. හිතේ තියෙන දුක් වේදනා කාට හරි කියනවා.. මම ඉන්නෙ තමුසෙලාට ඇහුම්කන් දෙන්නයි.. මේ පේනවාද.. ? මට කන් හතරක් තියෙන්නෙ ඔහේලාගෙ දුක් වේදනාවන්ට හොඳින් ඇහුම්කන් දෙන්න තමයි." ගෝටයාට කන් හතරක් ඇති බව ඇන්ටන් කොළුවා දැක්කේ ඒ මොහොතේදීය.

"මේව අපි ලබා උපන් හැටි තමයි ........ ඒකට ඔහේ මක් කරන්නද?"

"කෙහෙල් මල.. මේක කරුමෙ නෙමෙයි තමුසෙලාගෙ මෝඩකම ....... මේ මොහොතේ නම් ගෝටයාගේ කටහෙඬහි වුයේ දැඩි කෝපයකි..... අර බලනවා .... අර කන්ද උඩ මාලිගාව දිහා බලනවා..... උඹලගෙ ශක්තියෙන් ඔය මාලිගාවට උස්සාගෙන ගිය බෝටයා නොවෙයිද මේ ඔක්කොම කරදර වලට මුල..... ?"

ඇන්ටන් කොළුවාගේ සර්වාංගයම භීතියෙන් වෙව්ළුම් කෑවේය.

"තමුසෙට පිස්සුද..... ? කෑගහන්න එපා ..... හැම තැනම රාජ පුරුෂයො.... උන්ට ඇහුණොත් තමුසෙ විතරක් නෙවෙයි මාත් ඉවරයි."

"බයගුල්ලො ...... උඹලා ඔක්කොම බයගුල්ලො..... මම කියන දේ අහපන්.. කල්පනා කරපන්.. ඌ ඉස්සෙල්ලම උඹලගෙ පිහිටෙන් මාලිගාවට රිංගා ගත්තා...... ඉන්පස්සෙ මොකද කලේ...... ? එක තට්ටුවට තිබුණු මාලිගාව තට්ටු හතරක් කලා.. ඒකෙන් උඹලගෙ ගමට වැටෙන ඉර එලිය එහෙම පිටින්ම මුවා වුණා. ඊලඟට ඌ මාලිගාවට වතුර ගන්න කන්ද උඩින් හරස් කලා..... උඹලගෙ වගාබිම් වලට ඉතූරු වුණේ ගැරඬියෙක් වගේ හීනි වතුර පාරක් විතරයි..... ගමකට වගාවට ඒ වතුර පාර ඇතිද.... ? දැන් උඹලට කන්න නෑ.... උඹලා හාමතේ .." ගෝටයා කියන්නේ පරම සත්‍යය බව ඇන්ටන් කොළුවා දනියි.

මේ කාරණා ගෝටයා කොයි තරම් නිර්භීත ලෙස කීවාද කිවහොත් අවුරුදු ගණනාවක් තිස්සේ භීතියෙන් මුසපත්ව ඇකිලී සිටීමෙන් අඟල් ගණනාවක් කොටව තිබු තමාගේ ශරීරය අමුතුම ජීවයකින් පිරී යනු ඇන්ටන් කොළුවාට දැනුණි.

"ඒ විතරක්ද..... ? හැම තැනම රාජපුරුෂයො දාලා.. මිනිසුන්ට නිදහසේ කතා බහ කරන්නට බැහැ. නිදහසක් නැතූව මෙහෙම ජීවත් වෙලා මොකටද.. ? අපි එකමුතු වෙමු.. බෝටයා එලවා දමමු.. මේ දේශය නිදහසේ දේශයක් කරමු." ගෝටයා සිංහ නාද කලේය. ඇන්ටන් කොළුවා මිට මෙලවු අත අහසට ඔසවා එකඟත්වය ප්‍රකාශ කළේය.

ගෝටයා එදින යන්නට ගියේ පසුදින සියළුම ගම්වැසියන් හමුවීමට පැමිණෙන බවට පොරොන්දු වෙමිනි. අවුරුදු ගණනාවකට පසුව තමන්ගේ ගැලවුම් කාරයා පැමිණ ඇතිබව දැනගැනීමෙන් උද්දාමයට පත් ගම්මුන් නැගූ ප්‍රීති ඝෝෂාවෙන් කන්ද උඩ මාලිගාවේ සිටි බෝටයාගේ නින්ද ද කැඩී ගියේය. කෝපයට පත් රාජ පුරුෂයන් ගමට කඩා පැන කොල්ලන් දෙදෙනෙක් පැහැර ගෙන යන තෙක්ම ඒ ප්‍රීති ඝෝෂාව නොනැවතූනි.

පසුදින මුළු ගමම මළගෙයක් බවට පත්ව තිබු මොහොතේ ගෝටයා පැමිණියේ, පෙරදා ඌට තිබු ඇස් දෙක වෙනුවට ඇස් හතරකුත්, පා දෙක වෙනුවට පා සතරකුත්, ඇතිවය.

"උඹලාගේ දරුවන් දෙදෙනෙකූ ඊයේ රාත්‍රියේ අතුරුදහන් කරවනු බලා සිටි මට තව ඇස් දෙකක අවශ්‍යතාවය වැටහුණා.. දැන් මට වඩාත් හොඳින් නුඹලාගේ දුක් කරදර බලන්නට පුළුවන්.. අනෙක් අතට නුඹලාගේ දුක් වේදනා නිසා උණු වී වැගිරෙන මගේ කඳුලට ඇස් දෙකක් කොහෙමත්ම සෑහෙන්නෙ නැහැ.." ගෝටයා දයාබරිත හඬින් මිමිණුවේය. ".. මා පා සතරක් ලබා ගත්තේ වැඩි වැඩියෙන් නුඹලා සමඟ ඇවිදින්නයි.. කන්ද උඩ මාලිගාවේ බෝටයාට මෙන් මට දෝලාවන් අවශ්‍ය නැහැ.. මම දුක් විඳින ජනතාව සමගයි...." ගෝටයාගේ වචන හමාරවත්ම නැගුණු ප්‍රීති ඝෝෂාවෙන් ගමම පිරී ගියේය.

"අප වෙනුවෙන් සටන් කරන්නට ඔබ වහන්සේ අත් කීපයක් මවා ගත්තේ නැත්තේ ඇයිද.... ?" යි අසන්නට ඇන්ටන් කොළුවාට සිතුන නමුත් ඔහු ඒ සිතූවිල්ල ඉවත්කර ගත්තේ ගැලවුම්කාරයාණන් අපහසුවට පත් කිරීම නොසුදුසුයයි දෙවනුව සිතූ බැවිනි. අනෙක් අතට ගෝටයා සමග මුළු ගමම එකාවන්ව අත්වැල් බැඳගත් මේ මොහොතේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීම නොකළ යුතූ දෙයක් බවත් කල යුත්තේ ගෝටයාගේ සහයෝගයෙන් බෝටයා බිම දැමීම පමණක්ම බවත් ඔහු තේරුම් ගෙන සිටියේය.

"සහෝදරවරුනි..... අපේ සටන අපි වහා අරඹමු.. එකා සේ නැගී සිටිමු.. කන්ද උඩ මාලිගාවේ බෝටයා පන්නා දමමු..... මාලිගාව කුඩු කරමු.. ගංගාව නිදහස් කරගමු.."

කන්ද උඩ මාලිගාව දක්වා ගෝටයා ගෙනයාමේ සටන ඇරඹුණි. ගෝටයා කන්ද නැග්ගේ නැත. ගම්මු රාජ පුරුෂයන් හා ගැටෙමින් , උන් පළවා හරිමින්, ගෝටයා සිය කර පිටින් ගෙන ගොස් කන්ද උඩින් තැබුවෝය. තමන්ගේ මේ මහා ශක්තිය මේ සා කාලයක් සැඟවී තිබුණේ කොතැනකදැයි කල්පනා කරන්නටවත් ඉස්පාසුවක් කිසිවෙකූට නොවීය. ඔවහු එකාවන්ව නැගී සිට මාලිගාව වටා තිබු වැට කඩොළු කඩා බිඳ දැමුහ.

මාලිගාවේ සිටි ගම්මුන් විසින් කුදලාගෙන ඉවතට ගෙන එන ලැබු බෝටයා, ගෝටයා හමුවට පමුණුවනු ලැබුණි.

"සහෝදරවරුනි.. මුගේ දෑත් බඳිනු.." ගෝටයා විධානය කලේය. ගම්මු ගෝටයාගේ දෑත් බැඳ දැමුහ. ගෝටයා මඳක් ඇත සිට අවිශ්වාසයෙන් මෙන් බෝටයා දෙස බැලුවේ ය. "සහෝදරවරුනි, මුගේ දෙපයත් බැඳ දමනු." ගෝටයා අනතුරුව අණ කලේය. මොහොතකින් අණ ඉටු කෙරුණි.

අනතුරුව බොහෝ සීරුවෙන් බෝටයා පිටුපසින් සිටගත් ගෝටයා, පා පහරක් දී ඌ කන්දෙන් පහලට පෙරලා දැමුවේය.

"බලව, සහෝදරවරුනි...... මම නුඹලාගේ සතුරා පලවා හැරියෙමි.. දැන් නුඹලා නිදහස් ය." ගෝටයා ජයඝෝෂා කළේය. මහජනතාවගේ ප්‍රීති ඝෝෂාව අඩුවන තෙක් මඳක් බලා සිටි ගෝටයා නැවත කතා කළේය.

"සහෝදරවරුනි..... දැන් නුඹලාට ආපසු යා හැකියි.. මා නිදහසේ දේශය ගොඩනඟන තෙක් නුඹලාට විවේක ගත හැකිය."

ගම්මු බොහෝ ප්‍රීතියෙන් කන්ද බැස ආපසු නිවෙස් බලා ගියහ. ඇන්ටන් කොළුවා ඇතුළු කීපදෙනෙක් ගෝටයා සමඟ කන්ද උඩ නැවතුනේ නිදහසේ දේශය ගොඩනැඟිම සඳහා ගෝටයාට ආධාර උපකාර කිරීමටය.

සංගීතයෙන් හා මධුපානයෙන් පිරීගිය සති කීපයක් ගෙවී ගියේය. තුන් වන සතියේ ගමට ආ ඇන්ටන් කොළුවා පෙදරේරුවන් කීපදෙනෙකු කැටුව නැවත කන්ද නැග්ගේය.

"පන්නා දැමු බෝටයාගෙන් අපේ ගෝටයාට තර්ජන තියෙනවා ... ඒ නිසා මාලිගාව වටේට තාප්පයක් බඳින්න ඕනෙයි කියල ගෝටයා කියනවා.. අපේ ගැලවුම්කාරයා ආරක්ෂා කර ගන්න එක අපේ යුතුකමක්නෙ." ඇන්ටන් කොළුවාගේ කරුණු දැක්වීම සැවොම අනුමත කළහ.

"ඒක හරි.. අපි අපේ ගැලවුම්කාරයා ආරක්ෂා කරගත යුතූයි." ඔවුහු එක හඬින් අනුමැතිය දුන්හ. කඩා දමන්නට නියමිත මාලිගාව වටා තාප්පයක් බඳින්නේ කුමකටදැයි අසන්නට කිසිවකුට අමතක විය.

ඊළඟ සති කීපයේ මාලිගාව වටා තාප්පය බැඳෙමින් තිබුණි. බොහෝ කඩිමුඩියේ ඉදි කෙරුණ තාප්පයේ වැඩ අවසන් වු පසු එය සැබවින්ම මහා ප්‍රාකාරයක් බව ගම්මුන්ට පෙනුණි. ප්‍රාකාරයට ඇතුළතින් වු මාලිගය කඩා දමන බවක් නම් කිසිවෙකුට දකින්නට නොලැබුණි. ඒ වෙනුවට මාලිගය තවත් තට්ටු දහයකින් උස්කර ගොඩනැගුණේ ගමට වැටුණු ඉර එළිය සම්පුර්ණයෙන්ම මුවා කර දමමිනි.

මේ අවනඩුව අසන්නට මාලිගය වෙතට ගිය ෆ්‍රැන්සිස් ආතාට ප්‍රාකාරයේ දොරටුවෙන් ඇතුල්වන්නට රාජපුරුෂයන්ගෙන් අවසර නොලැබුණි.

"උඹලට මගේ ගමන වලක්වන්න කොහෙත්ම අයිතියක් නැහැ.. ගෝට උත්තමයව මේ මාලිගාවට කර පිටින් උස්සගෙන ආවෙ අපියි.. වෙන එකක් තියා එදා උත්තමයගෙ නිර්භීතකමට පිටවෙච්ච සුළු දියට මගේ බැනියම් කොටෙත් තෙමිලා තිබුණා.. අපට ඒ තරම් ආදර කරුණාවක් දක්වපු උත්තමය මුණගැහිල අපට මේ වෙලා තියෙන අවනඩුව කියන්න මට ඉඩ නොදෙන්න උඹලට කිසිම අයිතිවාසිකමක් නැහැ." මහ ගේට්ටුවෙන් මෙපිට මහපාරේ ඇන තබා ගෙන වාඩි වී ෆ්‍රැන්සිස් ආතා ගෝරණාඩු කලේය.

ෆ්‍රැන්සිස් ආතා දොරටුවෙන් මෙපිට සිට රාජපුරුෂයන් සමග ඔරොට්ටු වනු ඇන්ටන් කොළුවා මාලිගය මිදුලේ සිට කණගාටුවෙන් මෙන් බලා සිටිනු පෙනුණි. ආතාට යම් උපකාරයක් කල නොහැකිව අසරණව බලා සිටි ඔහු සුසුමක් හෙළා මාලිගාව තුළට රිංගාගත්තේ තව දුරටත් මේ දර්ශනය නොපෙනෙනු පිණිසය. එනිසා රාජපුරුෂයන් ෆ්‍රැන්සිස් ආතාගේ බෙල්ලෙන් අල්ලා, සොලවා තල්ලු කර දමනු ඔහු නොදුටුවේය.

බොහෝ වේලාවකට පසු, වියැලී ගිය මුරුංගා කරලක් සේ කේඩෑරි ෆ්‍රැන්සිස් ආතා රාජ පුරුෂයන්ගේ ග්‍රහණය නිසාවෙන් ඇමැට්ටි වු බෙල්ල අත ගාමින් කන්ද බැස ආවේ මහත් හිත් වේදනාවෙනි.

එයින් මාසයක් ඉක්මෙන්නටත් පෙර ගමට ගලා ආ සිහින් දිය පාරද මුළුමනින්ම නැවතුණි. ගෝටයා අළුතින් තැනූ පිහිනුම් තටාකයටත්, ජල උද්‍යානයටත් ජලය ලබාගැනීමේ දිය පාර සිඳී යාමට හේතු වු බව ආරංචි විය. ගම්මානයේ ගොවිබිම් ජලය නොමැතිව වියලි මුඩුබිම් බවට පත් වූයේ බලා සිටියදී ම ය.

"එහා ගමෙන් ලාබයට එළවළු ලබා ගැනීමට හැකියාව තිබිය දී එළවළු වවන්නට උත්සාහ කරන්නේ මෝඩයන්ය." ගෝටයා නිවේදනය කළේය.

ගෝටයාගේ පරිහරණය උදෙසා, සුදු අසුන් දෙදෙනා බැගින් බැඳි, රනින් ලියකම් කළ, අශ්ව රථ කීපයක්ම කන්ද උඩට ගෙනයනු ද ගම්මු දුටුවහ.

තවත් මාසයකට පසු ඇන්ටන් කෙළුවා නොන්ඩි ගසමින් කන්ද බැස ආවේය. කිසිම කෙනෙකු සමඟ වචනයක් හෝ නොදෙඩු ඔහුගේ පශ්චාත්භාගයට නොසෑහෙන තරමේ පහරක් වැදී ඇති බව ඔහු ගමන් කල විලාසයෙන් පැහැදිලිවම පෙනුණි. මහා කලකිරීමකින් මෙන් නිරතුරුවම කල්පනා කරමින් සිටි ඔහුගේ දර්ශනය සැමගේම සිත් තුළ කණගාටුවක් ඇති කළේය.

"හැබෑටම ගෝටයාගේ ඇස් හතරට අපි මේ විඳින දුක පෙනෙන්නෙ නැද්ද.... ?" ඉවසා සිටින්නට බැරි තැන ගම්මු ඇන්ටන් කොළුවාගෙන් ඇසුවෝය.

"ඇස් හතරට.... ? ඌට දැන් එක ඇහැක්වත් නැහැ."

"ඒ මොකද... ?"

"දැන් ඇස් අවශ්‍ය නැතිලු....."

"එතකොට කන් හතර.. ?"

"උඹලා මේ මොනවා අහනවාද... ? ඇස් ඕනෙ නැති එකාට කන් ඕනෙ වෙයිද... ? වෙන එකක් තියා අර අශ්ව කරත්ත ගෙනාවට පස්සෙ කකුල් හතරත් නැති කර ගත්තා."

"එතකොට ඔය නිතරම ඇහෙන සංගීතය මොකක්ද.... ?"

"අපි බෝටයා පන්නල දැම්මට උගෙ ආවතේවකාරයො පැන්නුවේ නැහැනෙ...... දැන් උන් ගෝටයා වටේට එකතු වෙලා සාජ්ජ දානවා."

කන්ද උඩ මාලිගාව දෙසින් නිතිපතා සංගීත නාදය පැතිරෙද්දී ඒ හඬ පරයා, අම්මාවරුන්ගේ වියැලීගිය තනපුඩුවල එල්ලී කුසගින්නේ හඬන දර ඉපල් වන් දරුවන් ගේ හඬ ගම්මානය පුරා පැතිර ගියේය. වියැලී ගිය ගොවිබිම් යට කොට ගෙන වනාන්තරය ගමට පියමැන්නේය. වැරහැලි ඇඳගත් ගැහැනුන් හා පිරිමින් වීදි ඔස්සේ හිඟමන් යදිනු ඇන්ටන් කොළුවා බලා සිටියේ ශෝකයෙනි. නිරාහාරව ගෙවු දින ගණන් මෙතෙකැයි කිව නොහැකි තරම් විය.

එක්තරා මුසල සැන්දෑවක ඇන්ටන් කොළුවා පාලම මත වාඩි වී දිය සිඳී ගිය ගංගාව දෙස බලා සිටියේය. ඔහුගේ දැහැන බිඳ වැටුණේ පිටුපසින් ඇසුන ඉකිබිඳුම් හඬට ය. තිගැස්සී ආපසු හැරී බැලූ ඔහු දුටුවේ ඉකිබිඳිමින් හඬමින් සිටින බෝටයාය.

"අනේ තමුන්නාන්සේලාට ගෝටයා කරපු දේ.. බඩට කන්න නෑ.. ඉනට වස්තරයක් නෑ.. මට තමුන්නාන්සේලා ගැන දැනෙන දෙනාව මෙතෙකැයි කියන්න බෑ.." බෝටයා මහ හඬින් හැඬුවේය "..... අපි එකතූ වෙලා ඔය ගෝටයා පන්නා දමමු......"

බෝටයාට අළුතින් ඇස් අටක්, කන් අටක්, අත් අටක් හා පා අටක් ලැබී ඇති බව ඇන්ටන් කොළුවා දුටුවේය.

සිනාසිය යුතු ද කියා හෝ හැඬිය යුතු ද කියා හෝ තේරුම් බේරුම් කරගත නොහැකිව ඇන්ටන් කොළුවා තුෂ්නිම්භූතව බලා සිටියේය.

[කන්ද උඩ මාලිගාව- 1999]

ජගත් ඡේ එදිරිසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails