Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"සාහිත්‍ය අහසේ හිරුට, සඳුට සමකළ හැකි සාහිත්‍යධරයකු ගේ සාහිත්‍ය සේවාව පිළිබඳ විමර්ශනයක යෙදිය හැකි වන්නේ ඔහු හා සම තලයක රැදී සිටින්නකුට ය. එහෙත් දිගින් දිගට ම එවැන්නෙකු අතින් ඒ මෙහෙවර ඉටු නොවන කළ, ඒ වෙනුවෙන් තරු එළියක් හෝ විහිදුවාලීමට අනෙකකුට සිදු වේ. මේ උත්සාහය ද ඒ තරු එළියට සමාන ය." යනුවෙන් ඇය කේ. ජයතිලක සූරීන් ගේ සාහිත්‍ය කෘති විමර්ශනය කරමින් ලියා පළ කළ පැහැසර සිතුවිලි නම් ග්‍රන්ථයේ පෙර වදනෙහි එලෙස ලියා තැබුව ද, දශක හතරක පමණ කාලයක සිට නවකතා සාහිත්‍යයේ බර සලකුණු තබා ඇවිද ගිය ඇය සඳුටත් වඩා හිරු එළියට ම සම කළ හැකි එළියක් විහිදුවාලී ය.

සාහිත්‍යයට තීන්දු දෙන උගත් නිල විනිසුරන්ට වඩා ප්‍රබුද්ධ පාඨකයා කෙරෙහි විශ්වාසය තබන ඇය ගේ නවතම කෘතිය "ධවල නිම්නය" යි. මේ එකී ක්ෂිතිජ රේඛාවේ ඉම් පෙදෙස් සොයා ඈ ගිය ගමන ප්‍රස්තුත කොට ගෙන කැරුණු සංකථනය යි.

ඔබේ අලුත්ම නවකතාව නම් කරන්නේ "ධවල නිම්නය" ලෙසින්. ඒ පිළිබඳ කරන අර්ථ ගැන්වීමක දී ධවල නිම්නය ගැන ඔබේ කෙටි හැඳින්වීම මොකක්ද?

ධවල නිම්නය මා හඳුන්වන්නේ ක්ෂිතිජ රේඛාවේ ඉම් පෙදෙස සොයා ගිය සිහින සැරිසර ලෙස යි. මෙහෙම කිව්වාම පාඨකයා තුළ ප්‍රශ්නයක් පැන නැගෙනවා ක්ෂතිජයට සීමාවක් කොයින් ද? ක්ෂිතිජයට ඉම් පෙදෙස් තියෙනවද කියල. එක්තරා ආකාරයකට මේ නවකතාවේ ප්‍රධාන චරිතය වන මහිරාණ මං මුලා වෙන්නෙත් මෙතැන දී. නමුත් ඔහු පසුව යමක් තේරුම් ගන්නේ තමා ම අත්දකින සියල්ලෙන් මිස පොතකින් පතකින් හෝ ශාස්තෘවරයකුගෙන් නො වේ.

නමුත් මේ නවකතාවේ එන මහිරාණ සිහින පිටපත් කරන්නකු හැටියටයි අපට හඳුනා ගන්න ලැබෙන්නේ. ඔබ මේ කතාව ලියා අවසන් කරන්නෙත් එවැනි පරිකල්පනයකින් වීමත් විශේෂයි. එබැවින් මේ නවකතාව කුමන වර්ගයක නවකතාවක් ද?

මේ නවකතාව කුමන වර්ගයකට අයත් එකක්දැයි මා තීරණය කරනවාට වඩා පාඨකයා තීරණය කරාවි. ඒත් මේ ගැන යමක් කිව යුතුයි. මේ නවකතාව වර්තමාන සමාජයේ අපට පෙනෙන ඇහෙන අප අත්දකින බොහෝ දේ ගැනයි කියන්නේ. මේ නවකතාවේ ඓතිහාසික චරිතයකුත් මතු වෙනවා. ඒ තමයි ජේසුස් වහන්සේ. හැබැයි මේක මහිරාණ ගේ සිහිනයක්. ලේඛකයකුට සිහින පිළිබඳ ව වුණත් විවිධ පරිකල්පන ලේඛනගත කළ හැකි යි. අනෙක් අතට අපට සත්‍ය මුණ ගැහෙන්නේ හැබෑ ලෝකයේ දී ද සිහින ලෝකයේ දී ද කියන එකත් ප්‍රශ්නයක් වෙන්න බැරි නෑ. අප බොහෝ විට සිහින කියවන්නේ, සිහින හඳුනා ගන්නේ ෆ්‍රොයිඩ් ගේ මනෝ විශ්ලේෂණය හරහා. එක පැත්තකින් බැලුවොත් අපි ෆ්‍රොයිඩ් ගේ මනෝ විශ්ලේෂණය ළඟවත්, ඩාවින් ගේ පරිණාමවාදය ළඟවත්, නිව්ටන් ගේ නියාමය ළඟවත් ගල් ගැසී නතර විය යුතු ද? මෙන්න මේ අදහසත් ඡායා මාත්‍ර වශයෙන් මෙහි දී සාකච්ඡාවට ගැනෙනවා.

මෙතෙක් කලාව සාහිත්‍යයෙන් බොහෝ විට සිදු වූයේ තමා හැර අන් සියල්ල පිළිබඳ විමර්ශනය කිරීම. නමුත් ධවල නිම්නය තමා පිළිබඳ ස්වයං කථනයකට (ස්වයං විවේචනයකට) ලක් කරන කැඩපතක් වනවා සේ ම එය සාහිත්‍යයේ අලුත් කාර්යභාර්යක් ලෙස පාඨකයාට හඳුනා ගැනීමට යම් යම් ඉගි සපයනවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

මගේ පෞද්ගලික අදහසට අනුව නම් මිනිසාට තමා හඳුනා ගැනීමට උදව් කිරීම කලාවේ සාහිත්‍යයේ එක් මූලික අරමුණක් විය යුතු යි. ඒ මොකද කීවොත් අද අපි අන්තර්ජාලය හරහා දැනුම් සම්භාරයක් අත්පත් කර ගන්නවා. බොහෝ පොත පත කියවනවා. අධ්‍යාපනය ලබනවා. මේ මොනම දේකින්වත් අප තුළ පරිපූර්ණත්වයක් පිළිබඳ හැඟීමක්, සෑහීමක්, ඉතුරු වෙලා තියෙනවද? අනෙක් අතට අද අපි හොඳ මිනිසා හා නරක මිනිසා, එහෙමත් නැත්නම් හොඳ හා නරක වශයෙන් වෙන් කර ගෙන සිටින බෙදුම් රේඛාවත් මේ වන විට හොඳට ම බොඳ වෙලා. සුදු අඳින, මල් වට්ටි අතින් අරන්, ආගමික වතාවත්වල යෙදෙන මිනිස්සු දිහා බලලා ඔවුන් ගුණවන්තයින් හැටියට තීන්දු කරන්න අද අපට බැහැ. සමහර විට මං පහරන, ගෙවල් බිඳින සොරුන්ටත් වැඩි අභ්‍යන්තර චෞරභාවය ඔවුන් ළඟ තිබිය හැකි යි. මෙන්න මේ විකාර ස්වරූපී ලෝකය කොහොම වෙනස් කළ යුතු ද? කවදා වෙනස් කළ හැකි ද? කියන ප්‍රශ්නය නවකතාවේ ප්‍රධාන චරිතය වෙන මහිරාණ තුළ හටගැනෙනවා. ඔහු දීර්ඝ සැරිසරකට යොමු වන්නෙත් මේ අනුව යි.

මේ නවකතාවේ එන ඊශා වැනි වියපත් ස්ත්‍රියක කෙරෙහි මහිරාණ තුළ හටගන්නා ආකර්ශනය අස්වාභාවික, අහේතුක දෙයක් හැටියට පාඨකයාට හැෙඟනවා. කතුවරිය විදිහට ඔබට එය දැනුනේ නැද්ද?

ඊශා ගේ හා මහිරාණ ගේ සම්බන්ධය අහම්බයක් වගේ පෙනුණත් නවකතාවේ අවසානය දක්වා යෝනිසෝමනසිකාරයෙන් යුතු ව කියවා ගෙන යන පාඨකයකුට නම් එය අහම්බයක් වන්නේ නැහැ. මහිරාණ බොහෝ තරුණියන් ඇසුරු කළත් ස්ත්‍රීන් පිළිබඳ ලොල් බවක් ඔහු තුළ හට නොගැණුනත් ඊශා වෙනුවෙන් ඔහුගේ කාලය අප්‍රමාණ ලෙස වැය වෙනවා. ඔහු ඇය සොයන්නට බොහෝ වෙහෙසෙනවා. මෙය හුදු හුදෙකලා සිදු වීමක් නො ව සිදු වීම් දාමයක ප්‍රතිඵලයක්. නවකතාව අවසානයේ දී මෙහි පූර්වාපර සන්ධි ගලපා ගත හැකි යි.

වික්‍රමසිංහ මහතා ගේ "විරාගයේ" එන අරවින්ද මෙන් ම මේ නවකතාවේ ප්‍රධාන චරිතය හැටියට සැලැකෙන මහිරාණ නිහඬ පුද්ගලයෙක්. ඔහු විරාගයේ අරවින්දගෙන් වෙනස් වෙන්නේ කොහොම ද?

මහිරාණ, අරවින්ද වගේ ම නිහඬ පුද්ගලයෙක් වුණාට නිෂ්ක්‍රීය පුද්ගලයෙක් නොවෙයි. ඔහුට එල්ලයක් තියෙනවා. ඔහු සොයා යන්නෙක් මහිරාණට අවශ්‍ය වෙනවා පශ්චාත් නූතන මානවයා ගේ හැරවුම් ලක්ෂය සොයා යන්න. ඔහු ජීවිතේ දශක 05 ක් පමණ ගෙවෙනතුරු වෙහෙසෙන්නේ මේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්න. ඒත් ඔහුට ඔහු සෙවූ දේ හමු වුණා ද? ධවල නිම්නයෙන් මතු කරන එක ප්‍රශ්නයක් තමයි මේ.

ඔබ මේ කතාව ගොඩ නඟන්නේ සිහින ලේඛන ගත කරන්නකු ගේ භූමිකාව නිරූපණය කරමින්. මේ අඛ්‍යාන රටාව ගොඩනඟා ගැනීමේ දී ඔබට මායා යථාර්ථවාදී රීතිය බලපෑම් කලා ද?

ලේඛකයා ලියන්නේ තමන්ට හිතෙන දේ. ඔහු නිර්මාණයක් කරන්නේ තමන්ට කියන්න තියෙන කතාව කියන්නයි. ඒකට ශිල්පීය ක්‍රමයක් තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. මේ තාක්ෂණය නිර්මාණය කරන්නෙත් ඔහුමයි. නිර්මාණකරණයේ දී මෙය යාථාර්ථවාදී ද, මායා යථාර්ථවාදී ද, අධි යථාර්ථවාදී ද වගේ ප්‍රශ්න ඔහු ගේ ඔළුවට එන්නේ නෑ. ඔහු පොත ලියා ඉවර වුණාට පසු ව විචාරකයා ඊට ලේබලයක් අලවනවා. ඔහු එය කරන්නේ විචාර මිනුම් දඬු, විචාර ක්‍රමවේදවලට අනුවයි. එය විචාරකයා ගේ කාර්ය භාරය යි. ලේඛකයා ගේ කාර්ය භාරය වෙන දෙයක්.

වර්තමාන සාහිත්‍ය ගැන විවේචන තියෙනවා වගේ ම විචාර කලාව ගැනත් යම් යම් විවේචන පවතිනවා. වත්මන් විචාර කලාව පිළිබඳ ඔබට ඇත්තේ මොනවගේ කියවීමක් ද?

60, 70 දශකවල සාහිත්‍ය නිර්මාණ සමඟ ඉතා හොඳ ගනුදෙනුවක නිරත වුණු අපේ පරිණත සාහිත්‍යවේදීන්, විචාරවේදීන් හිටියා. නමුත් අද දවසේ ඔවුන් ගේ කාර්ය භාරය ගැන කියනවා නම් නූතන සාහිත්‍යයට මේ අය ගේ දායකත්වය ලැබෙන්නේ ඉතා අඩුවෙන් බවයි පෙනෙන්නේ. ඒකට හේතුව මේ විද්වතුන් වර්තමාන සාහිත්‍ය කෘති කියවීමට දක්වන උදාසීනතාව. මට හිතෙන්නේ ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ඔවුන් යාවත්කාලීන නොවීම කියල යි. නූතන සාහිත්‍ය නිර්මාණ විශාල පරාභවයකට පත් වෙලා යැයි මේ විචාරවේදීන් කියන්නේ සම්මානලාභී එක කෘතියක් පමණක් සැලැකිල්ලට ගෙනයි. සමකාලීන සමස්ත සාහිත්‍ය පිළිබඳ පොදු නිගමනයක් සඳහා මිනුම් දණ්ඩක් කරගත යුතු වන්නේ සම්මානලාභී එක කෘතියක් නෙවෙයි. අනෙක් අතට ලංකාවේ සාහිත්‍ය විනිශ්චය කරන බහුතරය සාහිත්‍ය පිළිබඳ ප්‍රාමාණිකයන් නොවේය කියන්නෙත් ඔවුන් ම නිසා මෙතැන යම් ප්‍රතිවිරෝධයක් තියෙනවා.

මොනවා වුණත් ලංකාවේත්, ලෝකයේත් හැම කාලයකම සම්මාන ලබන නිර්මාණයට වඩා ගැඹුරින් සාකච්ඡා කළ යුතු නිර්මාණ පවතින්න පුළුවන්. පරිණත විචාරකයන් අවධානය යොමු කළ යුතු වන්නේ ඒවා පිළිබඳවයි. අද වන විට විචාරය වල් වැඳී ඇතැයි එක එල්ලේ කීම නම් තරමක් සාහසික වැඩියි කියලයි මං හිතන්නේ. ප්‍රශ්නෙ තියෙන්නේ එතැන නෙවෙයි. මේ විචාර කතිකාව න්‍යාය පත්‍රවලින් තොරව කරන්නට මේ සියල්ල පෙලඹෙනව ද කියන කාරණය යි. මිතුරන්, පස මිතුරන්, දන්නා නොදන්නා සෑම කෙනකුට ම විචාරයේ දී එක ම හැන්දක් යොදා ගන්නවා ද කියන එකයි. එසේ නොවේ නම් ඉතා හොඳ විචාර කලාවක් මේ රටේ ඇති විය හැකි යි.

ලේඛකයකුට තරුණ අවධියේ පරිකල්පන කෞෂල්‍යය තිබුණත් අත්දැකීම් සම්භාරයක් නොතිබෙන්න පුළුවන්. එම නිසා ඔහු ගේ මුල් අවදියේ නවකතාවලට වඩා වයසින් පරිණත වූ පසු ව, ලියන නවකතා සාර්ථක නවකතාවක් වීමට තිබෙන ඉඩකඩ වැඩි නැද්ද?

අනිවාර්යයෙන් ම ලංකාවේ වගේ ම ඊටත් වැඩියෙන් ලෝකයේ වියපත් ලේඛකයන් හොඳ නවකතා එළිදක්වා තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගාර්ෂියා මාර්කේස් හඳුන්වන්න පුළුවන්. වයස අවුරුදු අසූවක් අනූවක් වුණත් හොඳ ලේඛකයෙක් අතින් හොඳ නවකතාවක් ලියවෙන්න පුළුවන්. ඒත් ඔහු ගේ මුල් ම නවකතාව ලියවෙන්නේ තාරුණ්‍යයේ දී. ඒ ජවය, ඒ උත්තේජනය, ඔහුට හෝ ඇයට ලබා දෙන්නේ තාරුණ්‍යය යි. ඩබ්ලිව්.ඒ. සිල්වා "සිරියලතා" ලිව්වේ අවුරුදු 17 දී. මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක වැනි ප්‍රතිභාපූර්ණ ලේඛකයන් කවුරුන් ගැන හිතුවත් ඔවුන් ගේ මුල්ම නවකතාව බිහි වුණේ තාරුණ්‍යය ගිලිහෙන්නට කලින්. එයින් අදහස් වෙන්නේ නෑ වියපත් වූ පසු වඩා හොඳ නවකතා ලිවීමට ඔවුන් අසමත් වන බවක්.

මාර්ටින් වික්‍රමසිංහයන් ගේ තුන් ඈදුතු නවකතාව, විරාගය, සරච්චන්ද්‍රයන් ගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා වැනි නවකතා වර්තමානයේ බිහි නොවන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. බැලූ බැල්මට එම චෝදනා වල ඇත්තකුත් තිබෙනවා.

ඒක විචාරය යාවත්කාලීන නොවීමේ ප්‍රතිඵලයක් කියලයි මං හිතන්නේ. අද 'විරාගය' හෝ 'මළගිය ඇත්තෝ' වැනි කෘති නොලිය වෙනවා නම් ඊට බලපාන්නේ වෙනත් හේතු. කාලයට මිලක් නියම වී ඇති මේ යුගයේ අරවින්ද වැනි චරිත අපට සම්මුඛ වන්නේ නැති තරම්. ඉතින් කොහොම ද ලේඛකයා එවැනි චරිත උපකල්පනය කරන්නේ. දෙවොන්දරා සං හා නොරිකො සං වගේ ආධ්‍යාත්මික ප්‍රේමයෙන් වෙලී, බැඳී, මන්දගාමී ගමන් යන පෙම්වතුනුත් අද සොයා ගන්න ලේසි නෑ. මේ සියල්ල දෙස ම අප බැලිය යුත්තේ කාලයට සාපේක්ෂව. ලියො තෝල්ස්තෝයි එදා 'යුද්ධය හා සාමය' ලියුවාට මොනම රටකවත් අද එහෙම පොතක් ලියවෙනවද? නවකතා වැනි විෂයයක් ගැන කතා කිරීමේ දීත් කාලයේ රිද්මය හඳුනා ගත යුතු වෙනවා 'යුද්ධය හා සාමය', 'පුනර්ජීවනය' වැනි නවකතා තෝල්ස්තෝයි ගේ අද්විතීය නිර්මාණ බව ඇත්ත. ඒත් අද ගර්ෂියා මාර්කේස්, පාවුලෝ කොයියෝ වැනි ලේඛකයන් ලියන නවකතා, ඒවාට වඩා වෙනස් බව කියනවා මිස ඊට වඩා අවප්‍රමාණ කරන්න පුළුවන් ද? 'හරුකි මුරකම්' වගේ ලේඛකයන් ගේ නිර්මාණ බලන්න. කේ.එෆ්.සී. අවන්හලේ දැන්වීම් පුවරුවේ වෙළඳ ලාංඡනය ලෙස පෙනී ඉන්නා සුදු මිනිසා හදිස්සියේ ම පණ ලබා නවකතාවේ චරිතයක් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙනවා. මේවා හරි අපූරු පරිකල්පන. තෝල්ස්තෝයි, දොස්තොයෙවුස්කි, චෙකොෆ් හෝ ඩී. එච්. ලෝරන්ස් එදා ලියුවේ මෙවැනි දේ නොවෙයි. මං හිතන්නේ අපේ විද්වතුන් වැඩි දෙනෙක් නූතන සාහිත්‍ය කෘති කියවන්නේ නැහැ. වික්‍රමසිංහගෙන් හෝ සරච්චන්ද්‍රයන්ගෙන් නැවතුණු ඔවුන් ලෝක මට්ටමෙනුත් තෝල්ස්තෝයි, දොස්තොයෙවුස්කි හෝ වික්ටර් හියුගෝ ළඟ නැවතිලා. මේ විද්වතුන් කාලයේ රිද්මය හඳුනා ගන්නවා නම් එය ඉතාම වැදගත්. කාලයේ රිද්මය හඳුනා ගන්නවා කියන්නේ ඊට අනුගත වීම නෙවෙයි. ලෝකය අපි පසු කරගෙන ශීඝ්‍රයෙන් ඉදිරියට ඇදී යන විට අප ඒ වේගය හඳුනා ගත යුතුයි.

නමුත් ලියෝ තෝල්ස්තෝයි, දොස්තොයෙවුස්කි, මැක්සිම් ගෝර්කි, ඩිංගිස් ආයිත්මාතව්, ඩී.එම්. ලෝරන්ස් වැනි නිර්මාණකරුවන් ගේ නවකතා වසර සීයක් ගෙවුණත් පාඨක මනසින් වියැකී යන්නේ නෑ. ඒත් කාලයේ රිද්මයට අනුව ලියවුණ නවකතා මාසයක්වත් පාඨකයාට මතක තියෙන් නෑනේ....?

මගේ අදහසේ හැටියට මේ සියලුම ලේඛයන් උපන් ලේඛකයන්. ප්‍රතිභා සම්පන්න ලේඛකයන්. අපි ප්‍රතිභාව කියන්නේ වැටහෙන නුවණට. අද නිර්මාණකරණයේ යෙදෙන සියලු දෙනා ම ප්‍රතිභා සම්පන්න ද කියන ප්‍රශ්නය තියෙනවා. ප්‍රතිභාව කියන්නේ එත්තරා අච්චුවක්. ඒක මුවහත් කර ගැනීම සතතාභ්‍යාසය තුළින් කරගත හැකි වුවත් නිර්මාණකරුවන් අලුතින් හදන්න බැහැ. අධ්‍යාපනයෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් වුණත් බැහැ. මැක්සිම් ගෝර්කි කියන්නේ විශ්වවිද්‍යාලයට තියා පාසලකටවත් නොගිය කෙනෙක්. ඔහු පන්නරය ලැබුවේ ජීවිතයෙන්. භාෂාව ඔප මට්ටම් වුණේ කුඩා කළ සිට ම ලිවීමෙන්. මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක, ගුණදාස අමරසේකර වගේ ලේඛකයන් ගේ කෘතියක් අද වුණත් අපට එක දිගට කියවා ගෙන යන්න පුළුවන්. ඒ භාෂාවේ රිද්මයත්, ධ්වනියත් ඇති නිසා. අද එළි දකින බොහෝ නිර්මාණවල මේ ජීව ගුණය නැහැ. වාක්‍යක් ගත්තාම අපට තේරෙනවා වචන පවා තැන් මාරු විය යුතු බව. ඒත් බහුතරයක් එසේ වූ පමණින්, සමස්ත සාහිත්‍යම කඩා වැටිලායි කියන්න බෑ. ඉතා හොඳින් ලියන ලේඛක ලේඛිකාවෝ අපට ඉන්නවා.

නමුත් පුරාණ ග්‍රාමීය නිෂ්පාදන ක්‍රමය මත උඩින් ආරෝපණය කළ ධනේෂ්වර ක්‍රමය මඟින් මිනිසාට අත්කර දුන් ජීවිතය කවරාකාර ද යන්න වික්‍රමසිංහ ගවේෂණය කරනවා. වර්ථමාන සිංහල නවකතාවේ එවැනි යටිපෙළ කියවීමක් නොමැති වීම නිසයි විචාරකයින් ගේ විවේචන එල්ල වෙන්නේ.

ලේඛකයා, නිර්මාණකරුවා කරන්නේ ජීවන අර්ථ ගවේෂණයන්. මේ ගවේෂණයේ වටපිටාව, දේශපාලනය, සමාජ පසුබිම වගේ දේවල් නිරායාසයෙන් තියෙනවා. මේ නවකතාවේ දේශපාලනයක් නැතැයි කියනවානම් ඒක විහිළු කතාවක්. හොඳ නිර්මාණකරුවන්ට බල්ලෙක්, පූසෙක් ගේ කතාවක් වුණත් අපූරුවට ප්‍රතිනිර්මාණය කළ හැකි යි. ඊට යටිපෙළ අරුතක් එකතු වන්නේ ඔහු ගේ හෝ ඇය ගේ ප්‍රතිභාව මතයි. ඒ නිසා මේ කතාව අදේශපාලනිකයි වගේ මතවාද ගොඩනඟා ගන්න අවශ්‍ය වන්නේ නෑ. සැබෑ ලේඛකයන්, නිර්මාණකරුවන් ගැන ඉවක් ප්‍රබුද්ධ පාඨකයාට තියෙනවා. මධ්‍යස්ථ විචාරකයා ඊට අත්වැලක් සපයනවා. අපට හොඳ විචාර කලාවක් නැතැයි කියන්න බැහැ. න්‍යාය පත්‍රවලින් තොර ව සිදු වෙනවා නම් සාහිත්‍යයේ හෙට දවස හොඳ වේවි.

විශිෂ්ඨ නිර්මාණකරුවෙක් කියන්නේ නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, කවියෙක් යන නාමකරණයෙන් හැඳින්විය යුත්තෙක් ම නෙවෙයි. ඉන් එහා ගිය චින්තනයකට උරුමකම් කිව යුතු යි. වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, කේ. ජයතිලක, අමරසේකර වැනි අය තුළ එවැනි චින්තනයක් තිබුණා. වත්මන් නිර්මාණ කරුවන්ගෙන් එවැනි චින්තනයක් පෙනෙන්නට නැහැ. උසස් කෘති බිහි නොවෙන්න මෙයත් එක් හේතුවක් නොවෙයි ද?

නිර්මාණකරුවා කියන්නෙම එක්තරා චින්තකයෙක්. අනෙක ඔහු අනුන්ට කෙසේ වෙතත් තමන්ට අවංක විය යුතු යි. "ඕනෑම නිර්මාණයක් උත්තම හෝ අධම වන්නේ ලේඛකයා ගේ අවංකභාවය මත" යැයි වරක් තෝල්ස්තෝයි කිව්වා. තෝල්ස්තෝයි මොන තරම් නම් තමා පිළිබඳ කතා කළා ද? ලේඛකයා කියන්නේ එවැන්නෙක්. චින්තනයකින් තොරව ලියන්නේ හුදු වදන ගොඩක් විතරයි. නවකතාවක් කෙටි කතාවක් ලියූ පමණින් ම සමාජයෙන් ඔහුට හෝ ඇයට 'නවකතාකරුවා' යන ගෞරව නාමය හිමි වන්නේ නෑ. ලේඛකයාට සමාජ ඉල්ලුමක් නිර්මාණය වන්නේ ලේඛකයා ගේ සියුම් නිරීක්ෂණයත්, එය එළි දැක්වීමට, ප්‍රතිනිර්මාණය කිරීමට ඇති ශක්තියත් නිසා යි. ලෝකයේ සෑම රටක ම නිර්මාණකරුවන් බිහි වුණේ මේ නියාම ධර්මය මත. සැබෑ ලේඛකයා කිසිවෙකුට හංගන්න බැහැ. බොරු ලේඛකයා මතු කරන්නත් බැහැ.

වර්තමාන සාහිත්‍යයේ 'නැඟීම් - බැසීම්' තේරුම් ගැනීමට 'සම්මානය' මිණුම් දණ්ඩක් යැයි කිව හැකි ද? එසේ නැත්නම් ඊට වෙනස් කියවීමක් ඔබට තියෙනවා ද?

මා කියන්නේ සම්මාන ලැබීම තුළින් ම හැම විටම උසස් කෘතියක් යැයි නිගමනයකට පැමිණිය නොහැකි බව යි. මින් අදහස් වන්නේ නෑ සම්මානලාභී කෘති සියල්ල අවර ගණයේ ඒවා බව. මෙතැන දී වර්තමාන ප්‍රවණතාවන් පිළිබඳවත් සිතා බැලිය යුතු යි. අද ඕනෑම කෙනකුට ප්‍රකාශකයෙක් ඇත්නම්, නැතහොත් අතේ මුදල් ඇත්නම් කෘතියක් පළ කළ හැකි යි. එහෙත් හොඳ පාඨකයකුට, සහෘදයකුට, උපන් ලේඛකයන් හඳුනා ගැනීමේ ඉවක් තියෙනවා. ඇතැම් විට කෘතියේ මුල් පිටුවෙන් හෝ දෙකකින් ලේඛන ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. චිත්‍රපටයක මුල් රූප රාමු කිහිපය නැරඹීමෙන් ම ප්‍රේක්ෂකයාට සිනමාකරුවා පිළිබඳ වැටහීමක් ලබාගන්න පුළුවන් වගේ, සම්මානයෙන් පිදුම් නොලබන එහෙත් සාහිත්‍යයික ලක්ෂණවලින් අනූන පොත් ඉන් පිටස්තරව පළ වෙනවා. සමහර විට ඒවායෙහි භාෂාත්මක දුබලතා තිබිය හැකි යි. ලේඛකයාට නිර්මාණාත්මක ශක්‍යතා ඇත්නම් භාෂාව ප්‍රගුණ කළ හැකි යි.

(2012 නොවැ. 01 දිවයින පුවත්පතෙහි මුල්වරට පළ විය.)

රත්තනදෙණියේ මේධානන්ද හිමි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails