Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසුගිය අටවැනිදා පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන්, අයවැය ඉදිරිපත් කළේය. අයවැය පිළිබඳ පුළුල් උණුසුම් සංවාද අටවැනිදා සිට ආරම්භ වුවත් ඊට පසුදින එනම් නොවැම්බර් 9 වැනිදා (සිකුරාදා) වැලිකඩ බන්ධනාගාරයේදී සිදුවූ ගැටුම මඟින් අයවැයේ උණුසුම පහව ගියේය. 9 වැනිදා සවස් වරුවේ මුළු බොරැල්ල ප‍්‍රදේශයම වෙඩි හඬවලින් පිරී ගියේ සිරකරුවන් සහ ආරක්‍ෂක අංශ අතර සිදුවූ වෙඩි හුවමාරු හේතු කොටගෙනය. මෙම වෙඩි හුවමාරුවත් සිරකරුවන්ගේ ජීවිත අහිමිවීම පිළිබඳත් විවිධ මතවාද මෙන්ම සාකච්ඡා තැන් තැන්වල මතුවෙමින් පවතියි. විශේෂයෙන් මෙම ඝාතනවලට මූලබීජ බවට පත්වූ හේතුව පිළිබඳත් ඉන් හටගත් මෙම මහා ඛේදවාචකය හරහා දේශපාලනික, නෛතික මෙන්ම මානුෂීය වශයෙන්ද කරුණු ඉදිරිපත් වෙමින් පවතියි. මෙම සිරකරු - ආරක්‍ෂක අංශ ගැටුම ලොව ප‍්‍රථම වරට කොහේ හෝ සිදුවූ සිරකරුවන්ගේ සංහාරයක් නොවෙයි. එසේම ලංකාවේ ප‍්‍රථම වරට සිදුවුණු සිරකරුවන්ගේ ගැටුමක් ද නොවෙයි. මේ සඳහා හේතුභූත වූ කරුණු පිළිබඳ ඇත්තේ ගැටලූ සහගත තත්ත්වයකි. ඒ කෙසේ හෝ වේවා ජාත්‍යන්තර ප‍්‍රජාව අතරට තවත් කළු පැල්ලමක් ඇතිකිරීමට සමත් වූ බරපතළ ගැටලූවක් වශයෙන් වැලිකඩ සිරමැදිරියේ පසුගිය 9 වැනිදා සිදුවූ ගැටුම හැඳින්විය හැකිය. ලෝක මට්ටමින් ගත්තත් මෙම ඝාතනයන් දැඩි මානව හිමිකම් කඩවීමක් ලෙසට සටහන් වන්නේ මෙම ගැටුමේ පවතින බරපතළ තත්ත්වය හේතුවෙනි.

ලෝකයේ සිරගෙවල්වල සිදුවුණ විශාලතම සංහාරයන් වාර්තා වන්නේ උතුරු හා දකුණු ඇමෙරිකානු රටවලයි. බ‍්‍රසීලයේ 1992දී ‘සාවෝ පෝලෝ’ සිරගෙදර ඇතිවූ කැරැල්ල ලෝක ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් වශයෙන් හැඳින්විය හැකිය. බ‍්‍රසීලයේ පිහිටා ඇති විශාලතම හිරගෙවල්වලින් එකක් වන ‘සාවෝ පෝලෝ’ සිරකඳවුරේ සිරකරුවෝ දැඩිව තම නිදහස උදෙසා කැරැලි ගැසූහ. මෙම අවස්ථාවේදී ආරක්‍ෂක අංශ තම බලය භාවිත කරමින් සිරකරුවන් 111 දෙනෙකු ඝාතනයට ලක් කළේය. නමුත් මෙම ඝාතන සමග මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචන ආරක්‍ෂක අංශ වෙත එල්ල විය. ඒ අනුව මෙම සිරකරුවන් ඝාතනය කිරීමට අණදුන් බ‍්‍රසීල පොලිස් ප‍්‍රධානියාට එරෙහිව නඩු පැවරූ අතර ඔහුට වසර 600ක කාලයකට සිර දඬුවම් ලබා දුන්නේය. මෙම සංහාරය පිළිබඳ සොයා බලද්දී හෙළි වූ කරුණක් වන්නේ මෙම කැරැල්ලේදී යටත් වූ සිරකරුවන්ට පවා ආරක්‍ෂක අංශ වෙඩි තැබූ බවයි. මෙසේ වෙඩි තැබීම බරපතළ මානව හිමිකම් කඩවීමක් විය.


1980 පෙබරවාරි 2 වැනිදා නිව් මෙක්සිකෝ නගරයේ පිහිටි ‘දකුණු සන්තානේ’ සිරගෙදර කැරැල්ලක් ඇති විය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ ඇති වූ අතිශය භයානකම කැරැල්ල වශයෙන් සටහන් වෙයි. සිරකරුවෝ සිර ගෙදරින් පලායෑමට දැඩි උත්සහයක නිරත වූහ. මෙහිදී සිරකරුවෝ බන්ධනාගාර නිලධාරීන් සිය ග‍්‍රහණයෙහි තබාගත් අතර එම නිලධාරීන්ගෙන් දොළොස් දෙනෙකු ඝාතනය කළහ. තවත් නිලධාරීන් හත්දෙනෙකුට සිරකරුවන් ලිංගික අඩන්තේට්ටම් සිදු කළ බවට තොරතුරු වාර්තා විය. මෙම ගැටුම සමථයකට පත්කිරීම උදෙසා දැඩි වෙහෙසක් ගැනීමට ආරක්‍ෂක අංශවලට සිදුවූ අතර සිරකරුවෝ 33ක් සහ ආරක්‍ෂක නිලධාරීහු 12 දෙනෙක් ඉන් මරුමුවට පත්වූහ.

තිස් නව දෙනෙකු ඝාතනයට ලක්වූ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි බෆලෝ සිරගෙදර කැරැල්ල ද සිරමැදිරි තුළ සිදුවූ බේදවාචකයක් වශයෙන් හැඳින්විය හැකිය. මෙම කැරැල්ල 1971 වර්ෂයේදී සිදුවූ අතර මෙය කොයිතරම් සැලසුම් සහගතවත් භයානක ලෙසත් ක‍්‍රියාත්මක වූවාද යත් කැරැල්ල දින හතරක් පුරා ක‍්‍රියාත්මක විය. මෙය මැඬලීම සඳහා ඇමෙරිකානු ආරක්‍ෂක අංශවලට සුවිශේෂී ආරක්‍ෂක ක‍්‍රමෝපායත් භාවිත කිරීමට සිදුවිය. ඒ අනුව දින හතරකට පසු බෆලෝ සිරගෙදර බේරාගනු ලැබීය. මෙම ක‍්‍රියාන්විතයේදී ආරක්‍ෂක අංශ සාමාජිකයෝ දස දෙනෙක් සිරකරුවෝ 29 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ.

ලෝක මට්ටමේදී සිර මැදිරිවල කැරැලි එලෙස පවතිද්දී අප රට තුළ ද මීට පෙර අවස්ථා ගණනාවකදී ඇතිවූ කැරැලි හේතුවෙන් සිරකරුවන් මියගොස් ඇත.

1983 ජූලි කලබල පැවති වකවානුවේදී වැලිකඩ බන්ධනාගාරයේදීම දමිළ සිරකරුවෝ 53 දෙනෙක් ඝාතනයට ලක්වූහ. මෙම සිදුවීම පිළිබඳ පැහැදිලි තොරතුරු වාර්තා නොවුණේ එම කාලවකවානුවේ රට තුළ උද්ගතව පැවති කලබලකාරී භීෂණ වටපිටාව නිසාය. මෙම ඝාතනවලට වගකිව යුතු කිසිවෙකු මේ වනතෙක්ම අත්අඩංගුවට ගෙන නොමැති සේම ඝාතන සිදුවූයේ කුමන ආකාරයකින්ද යන්න පවා තවමත් සොයාගෙන නැත.

එසේම 1997 දෙසැම්බර් දොළොස් වැනිදා කළුතර බන්ධනාගාරයේදී සිරකරුවන්ගේ කැරැල්ලක් ඇති විය. මෙම කැරැල්ල ඇති කළේ සිංහල සිරකරුවන්ගේ මූලිකත්වයෙන් බවට පසුව අනාවරණය විය. මෙහිදී දේශපාලන සිරකරුවන් වශයෙන් රඳවාගෙන සිටි දමිළ ජාතිකයෝ තුන්දෙනෙක් ඝාතනයට ලක්වූහ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේ කළුතර සිරමැදිරියේ සිදුවූ කැරැල්ලට අමතරව බිඳුණුවැව සිරකඳවුරේ ද කැරැල්ලක් ඇති වූයේය. 2000 ඔක්තෝබර් මස 24 වැනිදා මෙම කැරැල්ල සිරකඳවුරේ ඇති වූයේ අවට ගම්වැසියන්ගේද සහයෝගයෙන් බවට තොරතුරු වාර්තා විය. ඒ කෙසේ වෙතත් මේ කැරැල්ලත් සමග බිඳුණුවැව බන්ධනාගාරයේ රඳවා සිටි දමිළ දේශපාලන සිරකරුවෝ 26 දෙනෙක් ඝාතනයට ලක්වූහ. මෙම සිදුවීමේ විශේෂත්වය වූයේ මෙම කැරැල්ල ඇතිවීමට පෙර දිනයේ බන්ධනාගාරය අසල තිබූ යුද හමුදා බැරැක්කය ඉවත් කර තිබීමයි. ඒ අනුව මෙම සංහාරය පිළිබඳ මානව හිමිකම් සංවිධාන රැසක් තම විරෝධතාව ඉදිරිපත් කළහ. මෙම සිදුවීම හරහා ශ‍්‍රී ලංකාවට සිදුවන අවමානයට පිළිතුරක් වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ප‍්‍රකාශ කළේ මෙම සිදුවීමට බන්ධනාගාර කළමනාකරණය කිසිසේත් සම්බන්ධ නොමැති බවත් ප‍්‍රදේශවාසීන්ට බන්ධනාගාර සිරකරුවන්ට පහරදීමට තරම් වුවමනාවක් නොමැති බවත් මේ සඳහා බාහිර පාර්ශ්වයක් මැදිහත් වී කටයුතු කර ඇති බවත්ය. කෙසේ වෙතත් මෙම දමිළ සිරකරුවන් 26 දෙනාගේ ඝාතනය පිළිබඳ පොලිස් නිලධාරීන් කිහිපදෙනකු වැරැදිකරුවන් බවට රජය චෝදනා කළේය.


මේ අනුව නොබෝදා සිදුවූ ගැටුමට පෙර මෙරට සිදුවූ සිරකරුවන්ගේ කැරැල්ල පිළිබඳ සලකා බැලීමේදී අපට එක් පොදු සාධකයක් හඳුනාගත හැකිය. එනම් එම මරණ සියල්ල ජාතිවාදී අරමුණක් උදෙසා කළ අමානුෂික ක‍්‍රියාන්විතවල ප‍්‍රතිඵලයන් බවයි. නමුත් පසුගිය 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සිරකරුවන්ගේ සමූල ඝාතනය ඊට බෙහෙවින් වෙනස් පරිසරයක් තුළ සිදුවන්නේය. මෙහිදී ඝාතනයන් හෝ ඝාතනයට ලක්වූ ආකාරය පිළිබඳ තොරතුරු පවසනවාට වඩා මෙහි ආරම්භය හෙවත් වැටලීම සිදුකිරීමට හේතු වූ කරුණු පිළිබඳ සොයා බැලිය යුතු වෙයි.

මේ වනවිට අප රටේ ආවෘත බන්ධනාගාර තුනක්, රිමාන්ඞ් බන්ධනාගාර 20ක්, වැඩ කඳවුරු 10ක්, එළිමහන් සිර කඳවුරු 2ක්, සිරමැදිරි 23ක් සහ තරුණ වරදකරුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන 3ක් ස්ථාපිත කර ඇති අතර රැඳවියන් 30,000ක් පමණ රඳවා ඇත. මෙම රැඳවියන් සිරගෙදර තුළ ගෙවන්නේ කුමනාකාරයේ ජීවිතයක්ද?

මේ පිළිබඳ ගැටලූ රැසක් මතුව ඇත. එනම් බන්ධනාගාර පාලනයත් මේ වනවිට දූෂිත තත්ත්වයට පත්වීමයි. ඒ අනුව පෙනී යන්නේ බන්ධනාගාර පද්ධතියම අකාර්යක්‍ෂම දූෂිත තත්ත්වයකට පත්ව ඇති බවයි. මීට පෙරද වරින්වර විවිධ බන්ධනාගාර තුළ සිදුකරන ලද මෙහෙයුම්වලදී ජංගම දුරකතන, මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ද්‍රව්‍ය සොයා ගැනීමට ආරක්‍ෂක අංශ සමත්විය. පොලීසිය පවසන ආකාරයට මේ වනවිට ලංකාව පුරා ක‍්‍රියාත්මක වන කප්පම් ගැනීම්, පැහැර ගැනීම්, මංකොල්ලකෑම් ආදී ක‍්‍රියාවලින් 50%ක් ක‍්‍රියාත්මක කරනු ලබන්නේ බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයන් විසිනි. ඔවුන් බන්ධනාගාරගතව සිටියත් නැතත් තම කටයුතු අඛණ්ඩව ඉදිරියට කරගෙන යෑමට සමත්ව ඇත.

එමෙන්ම බන්ධනාගාර නිලධාරියකුට යම් පාරිතෝෂිකයක් ලබාදීම හරහා බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට අවශ්‍ය සියලූම පහසුකම් ලබාදීමේ හැකියාව පවතියි. ඒ අනුව මේ වනවිට ඕනෑම සිරකරුවකුට අවශ්‍ය බීඩි, සුරුට්ටුවේ සිට අත්‍යවශ්‍ය ආහාරපාන දක්වා සියලූම අවශ්‍යතාවන්ට ගැළපෙන ද්‍රව්‍ය බන්ධනාගාරයේ රැඳවියන් වෙත ලබාගත හැකි බවට වාර්තා වේ. බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ඇතැම් දූෂිත බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන්ට අවශ්‍ය භාණ්ඩ සපයා විශාල ආදායම් මාර්ගයක් ලබාගන්නා බවයි. ඇතැම්විට ඔවුන් ලබන මාසික වේතනයටද ඉක්මවා යන ආදායමක් බන්ධනාගාර නිලධාරීන් විසින් ලබාගනියි. විශේෂයෙන් ජංගම දුරකතන සහ එම දුරකතනවලට අවශ්‍ය මුදල් හෝ කාඞ්පත් ලබාදීම හරහා තම මඩිය තරකර ගන්නා නිලධාරීන් සිටිනා බව ආරංචිමාර්ග සඳහන් කරයි.


පසුගිය නවවැනිදා සිදුවූ අතිශය බේදජනක සිදුවීම හරහා කරුණු ගණනාවක් අනාවරණය විය.

1. දමිළ සිරකරුවන් එවෙලේම දකුණු ඉන්දීය දේශපාලන නායිකා ජයලලිතා ජෙයරාම් හට කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් ලබාදීම.
2. මියගිය සිරකරුවෙකුගේ මවක් මාධ්‍ය හමුවේ තම පුතා මිය යාමට පෙර දුරකථනයෙන් ඇමතූ බවට පැවසීම.

මෙම කරුණු අනුව ප‍්‍රත්‍යක්‍ෂ වන්නේ සිරමැදිරි තුළ ජංගම දුරකතන පැවති බවයි. මෙම ක‍්‍රියාන්විතයෙන් අනතුරුව ආරක්‍ෂක අංශ බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකතන 41ක්, විෂ මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 18ක් හා මිලිග‍්‍රෑම් 790ක්, සිම් කාඞ් 22ක් සොයාගෙන ඇත. මෙම දුරකතන සහ අනෙකුත් උපකරණ සොයා ගැනීමේ අභිප‍්‍රාය මත පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම ක‍්‍රියාත්මක විය. මෙම සිදුවීම හරහා මතුවන ප‍්‍රධානතම ගැටලූව වන්නේ අධිආරක්‍ෂිත කලාපයක් වන බන්ධනාගාර වෙත මෙම ද්‍රව්‍ය ලැබෙන්නේ කුමන අයුරින්ද යන්නයි. වෙනත් කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි වපසරියකට ජංගම දුරකතන ඇතුළු උපකරණත්, මත්ද්‍රව්‍යයත් රැගෙන යා හැක්කේ බන්ධනාගාර නිලධාරීන්ගේ අභිමතය පරිදි පමණි. එසේ නොවුණහොත් කිසිදු භාණ්ඩයක් එකදු සිරකරුවෙකු වෙත හෝ ළංවීමට නොහැකි වෙයි. ජංගම දුරකතනයන්හි ‘සිම්’ කාඩ් පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්, දේශපාලකයන් විවිධ ව්‍යාපාරිකයන් ආදී බොහෝ පිරිසක් සමග අපරාධකරුවන් සබඳතා පවත්වා ඇති බවයි. මේ පිළිබඳ වැඩිදුරටත් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙමින් පවතියි.

වැලිකඩ බන්ධනාගාරයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම සිදුකර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ඉල්ලීමක් නිසා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වන ප‍්‍රිශාන්ත ජයකොඩි පවසයි.

මීට මාස දෙකකට පමණ පෙර විශේෂ කාර්ය බළකාය මඟින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක් සිදුකළ අතර එම මෙහෙයුමේදී ජංගම දුරකතන 127ක් සහ මත්ද්‍රව්‍ය රැසක් සොයා ගැනුණි. මෙම මෙහෙයුමෙන් ලද අත්දැකීම් සමග විශේෂ කාර්ය බළකාය වැලිකඩ බන්ධනාගාරය සෝදිසි කිරීමේ විශේෂ මෙහෙයුම ක‍්‍රියාත්මක කළේය. මෙම මෙහෙයුම පිළිබඳ සිරකරුවන් දැන සිටියාද යන ගැටලූව මතු වන්නේ ඔවුන් හැසිරුණු ආකාරය පිළිබඳ නිරීක්‍ෂණය කළ විටයි. බන්ධනාගාරයේ එල් ශාලාවත් චැපල් ශාලාවත් සෝදිසි කිරීම සඳහා මෙම මෙහෙයුමේ නිරත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළු ක‍්‍රියා කළහ. බන්ධනාගාර ආරංචිමාර්ගවලට අනුව චැපල් ශාලාව වසර 15කින් පරීක්‍ෂා කර නැත. මෙහිදී සිරකරුවෝ සෙබළුන්ට පහර දුන් අතර ඔවුහු බන්ධනාගාරයේ විශාල දොරටු කඩා අවි ගබඩාවෙන් ආයුධ පැහැර ගත්හ. එම පැහැරගත් ආයුධ පෙන්වමින් වහළයට නැගුණු සිරකරුවෝ තම බල හැකියාව පෙන්වූහ. කෙසේ වෙතත් මෙම සිද්ධිය පාලනය කිරීම උදෙසා බන්ධනාගාර නිලධාරීහු, පොලීසිය, විශේෂ කාර්ය බළකා නිලධාරීහු මෙන්ම හමුදා නිලධාරීහුද සහභාගි වූහ. ඒ අනුව මෙම ක‍්‍රියාන්විතයේදී සිරකරුවෝ 27 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ. එම මියගිය පිරිස් අතර සිරකරුවෝ 14ක් සහ රක්‍ෂිත බන්ධනාගාරගත කළ 13 දෙනෙක් වෙති. මෙම සිදුවීමෙන් කිසිදු විදෙස් සිරකරුවෙක් හෝ එල්.ටී.ටී.ඊ. රැඳවියෙක් මිය නොගිය බවටද තොරතුරු අනාවරණය වෙයි. ඊට අමතරව සිරකරුවෝ ඇතුළු ආරක්‍ෂක නිලධාරීහු 42 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළහ.

මෙය හුදෙක් සිදුවීමක් ලෙස අමතක කර දැමිය නොහැකිය. මෙය ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ විශාලතම මානව හිමිකම් කඩවීමක් වෙයි. බන්ධනාගාර ගතව සිටිනා රැඳවියන්ට පහරදීම, අඩන්තේට්ටම් කිරීම බරපතළ මානව හිමිකම් කඩවීම් වෙයි. මේ අනුව මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ ගැටලූ ඇති අප රටට තවත් ගැටලූවක් බවට මෙය පත්වනු ඇතිවාට සැකයක් නැත.

එහි ප‍්‍රථම වෙඩිමුරය වශයෙන් ආසියානු මානව හිමිකම් කොමිසම ජිනීවා මානව හිමිකම් කොමිසමට මෙම සිදුවීම සම්බන්ධ වාර්තාවක් යවා ඇත. එහිදී ඔවුන් ප‍්‍රශ්න කර ඇත්තේ මෙම වෙඩි තැබීමට වගකිව යුතු පුද්ගලයන් කවුරුන්දැයි අනාවරණය කරගන්නා ලෙසයි.

මෙම ගැටලූව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පවසා තිබුණේ මේ සම්බන්ධ වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණවිය යුතු බවයි. එමෙන්ම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා තිබුණේ සිරගෙයක් පාලනය කරගත නොහැකි ආණ්ඩුවක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි පැහැදිලි කළ යුතු බවයි.

මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්‍ෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ සිරකරුවන් සිරගෙය බිඳ යතුරුපැදිවලට නැඟී පලා යෑමේ සැලසුමක් පැවති බවයි. තුෂාර චන්දන හෙවත් කළු තුෂාර නමැති පාතාල නායකයා මෙම මෙහෙයුම් ක‍්‍රියාත්මක කළ බවට තොරතුරු හෙළිව ඇත.


පසුගිය බදාදා (14) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කළ බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පැවසුවේ මේ වනවිට මෙම සිදුවීම පිළිබඳ සෙවීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවයි. මෙම කමිටුව විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වෙයි. එහි අනෙක් සාමාජිකයන් වන්නේ විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබන්දු සහ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ලලිත් පී. අන්ද්‍රාහැන්නදි ය. නමුත් මෙම කමිටුව පිළිබඳ විපක්‍ෂයේ චෝදනා එල්ල වූයේ සිද්ධියේ බරපතළ තත්ත්වය මත මහාධිකරණ විනිසුරුවරු පත්කළ යුතු බව පවසමිනි. එමෙන්ම චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ වෙඩි තැබීමට අණදුන් පුද්ගලයන් පිළිබඳ තවමත් සොයාගැනීමට නොහැකි වූ බවයි.

මේ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වන පී.ඩබ්ලිව්. කොඩිප්පිලිගෙන් කළ විමසීමකදී පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණයක් පැවැත්වෙන බැවින් වැඩිදුරටත් කරුණු පැවසිය නොහැකි බවයි. නමුත් දැනට දිවයින පුරා සිටින 5300ක් පමණවූ බන්ධනාගාර නිලධාරීන්ට සියලූම බන්ධනාගාර ආරක්‍ෂා කළ නොහැකි බවත් ඉදිරියේදී නිලධාරීන් දැනුම්වත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයත් එහි තත්ත්වය පිළිබඳත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

‘බන්ධනාගාරය යථා තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු කරගෙන යනවා. දැනට පොලිස් නිලධාරීන් අටදෙනෙක් පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ගන්නවා. පැනගිය සිරකරුවන්ගෙන් හතර දෙනෙක් තවමත් අත්අඩංගුවට ගන්න නොහැකි වෙලා තියෙනවා’

කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ හතරවැනි වරට බන්ධනාගාරයක් තුළ සිදුවූ මෙම සංහාරය සමග ජාත්‍යන්තරව පැනනගින ගැටලූවලට මුහුණදීමට දැන් තියා කටයුතු කළ යුතුය. ඉන්දීය සිරකරුවන් පිළිබඳ සොයා බැලීමට මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු වැලිකඩ බන්ධනාගාරයේ සංචාරය කළහ. ඒ අනුව මනුෂ්‍යත්වයට නිග‍්‍රහයක් බවට පත්වූ මෙම සිදුවීම පිළිබඳ පරීක්‍ෂණ ඉක්මන් කළ යුතු වෙයි.

කසුන් සමරකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails