Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රන් සොයා ආ සෙනඟ
රන් පතා කොල්ලකා අනුන්ගේ මහපොළොව
රන් ගරා පොදිබැඳන් ගිය පසුව
රන්වනින් දැවී යන මුඩු බිමක
රන් සුණක් හෝ නැතිව අතහැරුණු
'අවතාර නගරය'යි අවමාන නාමයද පටබැඳුණු
හුදෙකලා නගරයකි

දස දහස් දනන් ගේ පා ගැටුණු
අශ්ව ලාඩම් කෙටී හඬ කැවුණු
වෙඩි හඬින්, මර හඬින් ගල් ගැසුණු
සොරකමින්, මැරකමින් පණ පෙවුණු
වීරයන් ගැන කතා පදබැඳුණු
රහස් පෙම් බසින් නිති කිති කැවුණු
ඉස්තරම් මත්පැනින් සියලු දොම්නස් දෙවුණු
සශ්‍රීක දවස් අද යළි නේන සිහිනයකි

ගෙවල් තුළ එහෙම්මම දමා ගිය
කැඩුණු පුටු, ටයිප්රයිටර්, මේස
ඇඳකබල්, පියානෝ
ගෑනු යට ගවුම්, බොඩි
ගොපලු කලිසම්, තොප්පි

මුඩු බිමේ අතැර ගිය
යෝද දොඹකර, ඩබර
නේක ඇන්ජින්, ටැංකි
මළකඩව දිරා යන
මොටෝ - අස් රිය, සවල්
ඩක්කු, පතුරොම් පෙට්ටි

රනුත් නැත
රන් තිබූ තැනුත් නැත
රන් සොයා පොදිබැන්දවුනුත් නැත

වසංගතයක පහරකෑවාද?
ගැරූ රන් වසංගතයක් වීද?

පොළොව ගහ වැල සතාසතුනට ද සෙනේ පෑ
මේ බිමේ සැබෑ උරුමක්කාරයන් සහමුළින් වනසා
මහපොළොව කොල්ලකෑ සාපය ම පළදුණිද?

'අවේලාවේ මෙතැන ගැවසීම
බලන්නට එන අයට තහනම්ය!'
උදෑසන නවය වන විට පැමිණ
සවස හතරට පිටව යා යුතුය

අවේලාවට - රෑට
හඳපායනා දාට - අමාවක කළුවරට - කෙම්මුරට
අවතාර නගරයට යළිත් පණ එනවාද?
රන් කොල්ලයේ කුරිරු
සශ්‍රීක දවස්වල සැහැසිකම්
යළිත් රඟදෙනවාද?

එසේනැතිනම්
ස්වදේශිකයන් සොහොන් පල්ලෙන් නැඟිට
කොල්ලකෑ උරුමයම
සොය සොයා ඇවිදීද?

බලන්නට එන අයට
එ වැනි දේ නැරඹීම නොහොබීද?

[*බෝඩි හිදී ය.]

*ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ යූ එස් 395 මාර්ගයෙන් හැරී සැතපුම් දහ තුනක දුෂ්කර මාර්ගයක් ඔස්සේ බෝඩි රාජ්‍ය ඓතිහාසික භූමිය වෙත පැමිණිය හැකි ය 1859 දී එස්. ඩබ්. බෝඩි විසින් පළමු වරට රන් සොයාගත් තැන් පටන් බෝඩි හි රන් ආකර වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 34කට ආසන්න වටිනාකමකින් යුතු රන් පොළොව මතුපිටට ගෙනෙන ලදි. 1942 පමණ වනවිට ජන ශුන්‍ය වූ බෝඩි රන් ආකර නගරය අවතාර නගරයක් බවට මුළුමනින් අත්හැර දැමිණි. අද එය දහවල් කාලයේ දී පමණක් සංචාරයකයන් සඳහා විවෘත ය.

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails