Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එය නාදයකි. සැබවින්ම කියතොත් සීනු නාදයකි. නිකම්ම සීනු නාදයකුදු නොවෙයි. මිහිරි සීනු නාදයකි. මිහිරි සීනු නාද අප කොතෙකුත් අසා ඇති බැවින් මේ කියන්නට යන්නේ කොයි මිහිරි සීනු නාදය දැයි යළිඳු අසන්නට සිදුවෙයි. ඒ වෙනකක් නොවෙයි.

'අර මිහිරි සීනු නාදය' යි.,

ඉතිං හරියටම මේ මිහිරී සීනු නාදය දැන ගැනීමට පාඨකයාට දොළක් නූපදියි ද? සැබෑවටම නම් මේ වික්‍රම අයියාගේ බයිසිකලයේ සීනු නාදය බව දැන ගැනීමට පිටු කිහිපයක් පෙරළී යනතුරු බලා හිඳීමට සහෘදයාට සිදුවෙයි. පිටු පෙරළීම නිරුත්සාහක ක්‍රියාවක් වන්නේ ඒ තරම් ම ඒ සීනු නාදය මිහිරි වන නිසා ය.

නිර්මාණයක නම ඇසූ පමණින් ම එය කියැවීමේ රුචිය ඇති කරවන්නට සමත් වන්නේ නම්, ඉන් පැවසෙන්නේ නිර්මාණකරුවා ඒ වන විටත් සහෘදයා කෘතිය වෙත ආකර්ෂණය කර ගැනීමේ ප්‍රථම අදියර ජය ගෙන ඇති බවකි. අමරකීර්ති මෙහි දී සිදු කර ඇත්තේ පද සංයෝජනය (Syntax) මට්ටමේ මිහිරි කිති කැවීමකි. නිර්මාණය කියවන්නට පෙර ම පාඨක මනස් තුළ කුතුහලයෙන් හා ප්‍රහර්ෂයෙන් ප්‍රමුදිත කරවන්නට අමරකීර්ති සමත් වන්නේ මෙ ලෙසිනි.

නිර්මාණකරුවෙකු සතු ප්‍රතිභාව විදහා පාන සුවිශේෂී ම අංග ලක්ෂණයක් ලෙස ඔහුගේ නිර්මාණ භාවිතාව සලකා බැලිය හැකි ය. එකී භාවිතාව තුළ නිර්මාණකරුවා ලබා ඇති පරිචය හා ප්‍රශස්ත ලෙස අත්දැකීම් කෘතිය තුළට සම්පිණ්ඩණය කිරීමේ ශක්‍යතාව හුදෙක් ම ගැබ්වෙයි. ඒ අර්ථයෙන් අමරකීර්ති ගේ ‘අර මිහිරි සීනු නාදය’ කෙටිකතා සංග්‍රහය ඔහුගේ සාහිත්‍යමය ශක්‍යතාව විදහා පාන කැඩපතකි.

අඩුවැඩි වශයෙන් ගුණදොස් විචාරමින් මේ සබැඳි ව පළ වූ පුවත්පත් හා අන්තර්ජාල ලිපි බොහොමයක් පසුගිය දිනවල ඇස ගැසුණි. ඉනුදු පසුගිය ඉරිදා (25) රාවයේ පළ වූ ‘සාහිත්‍යයේ යථාර්ථවාදය යනු කිම?’ යන හිසින් මහාචාර්ය සුචරිත ගම්ලත් ලියූ ලිපිය පිළිබඳ සටහනක් තැබීම මෙහි අරමුණයි.

එහි දී ඔහු මෑත භාගයේ පළ වූ කෘති හතරක් තෝරා ගනිමින් යථාර්ථය හා සාහිත්‍යයේ සම්බන්ධය ගැන කරුණු දක්වයි. අමරකීර්ති ගේ ‘අර මිහිරි සීනු නාදය’ ශෂී ප්‍රභාත් ගේ ‘ප්‍රඥා ප්‍රාසාද’ චින්තක රණසිංහ ගේ ‘පිරිමි කවුරුද වරදෙ නොබැදෙන’ හා මස්ඉඹුල ගේ ‘සෙංකොට්ටං’ එම කෘති හතරයි.

ඉතා ම හොඳ යැයි කියා මිතුරන් දෙදෙනෙකු විසින් ඔහු අතට පත් කළ ‘අර මිහිරි සීනු නාදය’ පිළිබඳ මහාචාර්යතුමාගේ කියැවීම අපට දනවන්නේ නො පහන් හැඟීමකි. එය හුදෙක් විචාරයකට එහා ගිය පුද්ගලික කෝන්තර පිරිමැසීමක් දැයි සිතෙන තරමට වංක වූවකැයි විටෙක සිතෙයි. ගම්ලතුන් යනු ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතාපවත් දැවැන්තයෙකු බව නො කිවමනා ය. එ වැන්නෙකුගෙන් හැම විට ම සමාජය අපේක්ෂා කරන්නේ විදග්ධ, සාරගර්භ අදහස් විනා පුද්ගලික කෝන්තර පිරිමහන විචාර නො වේ.

තුංමංහන්දියේ ලොකු මාමා ගේ චරිතය සිංහල සාහිත්‍යයේ අපට හමු වූ විශිෂ්ට ම චරිතයකි. හේ රසවතෙකි. කලාව හඳුනන සුන්දර මිනිසෙකි. නමුත් ‍ඔහුගේ ඇති නරකක් නම් බී ගත් විට ඔහුට පරණ කෝන්තර මතක් වී බැණ අඬගසමින් රණ්ඩුවට යෑම යි.

ගම්ලතුන්ට ද විචාරයක් ලිවීමට පෑන අතට ගත් විට පරණ කෝන්තරයක් මතක් වී ඇත. සාහිත්‍යයේ යථාර්ථවාදය පිළිබඳ එතුමා ගේ දැනුම විමසන්නට අප වැන්නකුට තරම් නො වෙයි. එ නමුත් එතුමා ‘අර මිහිරි සීනු නාදය’ අරබයා හුවා දක්වන තර්ක සාධාරණ නො වන බව එකහෙළා ම කියන්නට සිදුවෙයි. ඒවා හුදෙක් බොල්, වියළි ඒවා බව පැහැදිලිව ම පෙනෙයි.

‘දේශපාලනය මනුෂ්‍ය ජීවිතයට හානිකර වන්නේ නම් එහි කුමන වරදක් නිසා දැයි කිය යුතු ය. එසේ කියා නැත’
(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

රංජනී හා වික්‍රම අයියාගේ ප්‍රේමයට දේශපාලනය බාදාවක් වූ නිසා දේශපාලනය මනුෂ්‍ය ජීවිතයට හානිකර වූවකැයි ගම්ලතුන් දකී. මෙය පටු අදහසක් බව තේරුම් ගන්නට මහ වෙලාවක් අවශ්‍ය නො වේ. කතාකරුවා කියන්නට උත්සහ දරන්නේ වෙනත් දෙයක් බව හොඳින් ම පැහැදිලි ය. ගම්ලතුන් එය හරිහැටි වටහා ගෙන නැත. එය ඔහුගේ මනසේ ඇති යුතෝපියාවකට බලහත්කාරයෙන් කතාව ඈඳන්නට තැත් කිරීමකි. මෙ වැනි පූර්ව විනිශ්චයන් මත පිහිටා සපයන විචාර, නිරර්ථක වන්නා සේම ඉන් සාහිත්‍ය ලෝකයට හෝ පාඨකයාට වන සෙතක් නම් නැත.

සැබෑ ප්‍රබන්ධ කතාවේ ස්වභාවය ලෙස එතුමා දකින්නේ 'යථාර්ථය විශ්ලේෂණය කොට නිරාවරණය කර තිබිය යුතු ය' යන අදහසයි. ඒ අනුව ‘අර මිහිරි සීනු නාදය’ තුළ ජ.වි.පෙ. දේශපාලන දර්ශනය විග්‍රහ කර තිබීමක් ඔහු ඉඳුරා ම අපේක්ෂා කරන බව පෙනෙන්නට ඇත. එවිට සිදුවන්නේ මිහිරි සීනු නාදය කෙසේ වෙතත් ජ.වි.පෙ. සීනුව නාද වීමක් පමණක් විය හැකි ය. ගම්ලතුන් යථාර්ථය ලෙස ඉල්ලා සිටින දේශපාලන විග්‍රහය මේ කුඩා කෙටිකතාවෙන් අපේක්ෂා කිරීම හාස්‍යයට කරුණකි.

අපි කෙටිකතාවක් කියැවීමෙන් මෙවැනි දේශපාලන යථාර්ථයන් හෙළිදරවු කිරීමක් කිසි විටෙකත් අපේක්ෂා නො කරමු. කෙටිකතාවට හැමදාමත් විෂය වූයේ මනුෂ්‍ය ජීවිතය හා මිනිස් චිත්ත සන්තානය පිළිබඳ ගැඹුරු දර්ශනයක් මිස දේශපාලන විවරණයක් නම් නො වේ.මෝපසාං, චෙකොෆ්, ගොගොල්, ඇලන් පෝ, ගෝර්කිවැනි ප්‍රකට කෙටිකතාකරුවන් කළේ එයයි. සමාජ යථාර්ථය හෝ දේශපාලන විග්‍රහයන් කෙටිකතාවකට විෂයගෝචර නො වුව ද එය නවකතාකරුවාට හා නාට්‍යකරුවාට නම් අපූරුවට විෂය වූවකි. ජීවිතයෙන් පොත්තක් රූපණය කිරීමට ඉදිරිපත් වන කෙටිකතාව යනු පරිසමාප්තාර්ථයෙන් ම සංක්ෂිප්ත කලාවකි. එයින් මනුෂ්‍යත්වය පිළිබඳ සියුම් අරුත්බර කියැවීමක් විනා ගම්ලතුන් කියන ආකාරයේ පුළුල් දේශපාලන හෝ සමාජීය යථාර්ථ විග්‍රහයක් නම් නො වෙයි.

රුසියාවේ දේශපාලන, ආර්ථික හෝ සාමාජීය දර්ශනය විවරණාත්මක ව හෙළිකළ කෙටිකතා අපට දක්නට නො ලැබෙයි. ඒ හැමෙකක ම ඇත්තේ මනුෂ්‍යත්වය පිළිබඳ සංවේදී සමීප රූපයන් පමණකි. නමුත් කතාවේ පසුබිම තුළ මුළුමනින් ම පාහේ යට කී දේශපාලන සමාජාර්ථික දේශපාලන දේහයන්ගෙන් පිරී පවතින බව නම් ඉඳුරා ම සත්‍යයකි.

මින් පෙනෙන්නේ මහාචාර්යතුමාගේ පුද්ගලික අභිප්‍රායන්, මනෝමය යුතෝපියාවන් ඔහු කෙටිකතාවෙන් අපේක්ෂා කළ සැටියකි.

‘මේ අමානුෂික සමාජය නැමති ගවර වළෙන් ගොඩ ඒමට මිනිසාට ඇති සැබෑ විමුක්තිය මාර්ගය නම් දේශපාලනය යි. කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලනය යි. 1917 රුසියානු විප්ලවයේ අඛණ්ඩතාව ය වන දේශපාලනය යි. එම දේශපාලනය සඳහා ප්‍රේමය කැප වූවාට වරද නැත’
(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

මේ කවර මනෝමූලික කතාවක් දැයි හෙළිකළ හැක්කේ ද ගම්ලතුන්ට ම පමණි. ඔහුගේ පුද්ගලික දේශපාලන මතවාදයන් බාහිර යථාර්ථය තුළින් අපේක්ෂා කිරීම හා එවැන්නක් කලා නිර්මාණ ඔස්සේ දැකගැනීමට බලාපොරොත්තු වීම කෙතරම් අසාධාරණ ද? එසේ නො වන නිර්මාණ නොකියවා ම පසෙක දැමීමට තරම් ඉක්මන් වීම කෙතරම් අයුක්ති සහගත ද?

සැලකිල්ලෙන් කියැවී නම්, සීනු නාදය පිළිබඳ ගම්ලතුන් දක්වන බාල තර්කයන්ට වඩා සාධාරණ විවේචන කිහිපයක් ම ඉන් සපයා ගන්නට තිබුණු බව අපගේ හැඟීමයි. මේ අරබයා ගොනු කළ හැකි ප්‍රධාන විවේචනය ලෙස පෙනී යන්නේ ‘අර මිහිරි සීනු නාදය’ වූ කලී කෙටිකතා ආකෘතිය ඉක්මවා යන්නක් බවයි. සමස්ත කෘතිය පුරාවට ම දකින්නට ලැබුණු පොදු ලක්ෂණයක් වූයේ ද ඒකීය ධාරණාව පිළිබඳ සංලක්ෂණයන්ට අඩුවෙන් ම අවනත වූ බවකි. මේ අතුරින් ද විෂය වූ නිර්මාණය සංක්ෂිප්ත නවකතාවකට කිට්ටු ලක්ෂණ උසුලයි. පියසීලි විජේමාන්නගේ ‘වෙලේගෙදර සුගුණවතී’ යනු ද එවැනි අර්ධ නවකතා ලක්ෂණ දැරූ කෙටිකතාවක් බව සිහිපත් කළ හැකි ය. කෙසේ වෙතත් අමරකීර්ති ගේ කෙටිකතා (මීට පෙර පළ වූ ‘විල සහ මල’ ද ඇතුළත් ව) ඉතාමත් සූක්ෂම හා හොඳින් ගලපා ගත් වස්තු බීජයන්ගෙන් මෙන් ම සංවිධිත ආඛ්‍යාන ලක්ෂණයන්ගෙන් ද අනූන බව නො කියා බැරි ය. ඔහුගේ අනුප්‍රාසාත්මක හා සියුම් හාස්‍ය මුසු ලේඛන ශෛලිය පැසසුම් කටයුතු ය. නමුත් ගම්ලතුන් මීට දෙන සම්මානය කුමක්ද?

‘මේ පොතේ ඉතිරි කථා මම නො කියවූයෙමි. ඒ පළමු කථාවෙන් ම මට ඉතිරිවා කියැවීම අරුචි වූ නිසා ය’
(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

මෙය කෙතරම් සැහැසි ප්‍රකාශයක් ද? මෙබඳු නිර්මාණයක් ගම්ලතුන් තනි පෑන් පහරකින් කපා හරින්නේ සිත්පිත් නැත්තකු පරිද්දෙනි. ඒ සියල්ල පසෙකින් තබමු. ගම්ලත් වැනි සුචරිතවත් පඬිරුවනක් වෙතින් අප බලාපො‍රොත්තු විය යුතු අන්දමේ අදහසක් ද ඒ? සැබෑ විචාරකයා තුළ තිබිය යුතු සංයමය, ඉවසීම මෙයින් පළ වෙයිද? නිර්මාණකරුවා පිළිබඳ විචාරකගේ පුද්ගලික ආකල්ප සාහිත්‍ය සමාජයට කිසිසේත් අදාළ නැත. එක් කතාවක් කියවා සමස්තය පිළිබඳව ම විනිශ්චයන් දීමට ගම්ලතුන් ඉක්මන් වීම තුළින් පෙනෙන්නේ ඔහුගේ විචාර බුද්ධිය නොව, පරණ කෝන්තර පිරිමැසීමේ ‘ලොකු මාමාගේ’ ගතියයි. අඩුම තරමේ ඔහුත් අවශේෂ චරිතයක් ව සිටින ‘යතුරු සිදුර’ වත් ඔහු විසින් කියැවිය යුතු ව තිබිණි. ‘නොනිදන අවදිය’ තුළින් ඉඟි කරන සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ම ඇති ‘අවුලට’ ඔහු ද පංගුකාරයෙක් නො වන්නේ යයි කාට නම් කිව හැකිද?

‘ලේඛකයාගේ මිත්‍රයා ප්‍රශස්ති ගායකයා නො ව යුක්ති සහගත විචාරකයා බව කියනු කැමැත්තෙමි’
(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

ඉතිං ගම්ලතුන්ගේ මේ යුක්තිය ඇත්තේ කොතැනකද? පරණ කෝන්තර පිරිමැසීමක් විනා සැබෑ යුක්ති සහගත විචාරයක් ඔහු මෙකී කෙටිකතාව අරබයා සිදුකර නැති බව අපගේ අවංක හැඟිමයි.

ගම්ලතුන් යනු සිංහල වියරණය පිළිබඳ දැනුමැති උගත් පඬිරුවනකි. වියරණ දෝෂ හා අක්ෂර වින්‍යාසයේ දෝෂ දුටු තන්හි දී ඔහු කිපෙන්නේ අඳු කොළ දුටු නාගයෙකු පරිද්දෙනි. ඒවාට ප්‍රතිචාර දක්වන්නට අවි අමෝරන්නේ ද එ සැණිනි. එසේ වූ ගුරුන්ටත් අකුරු වරදී යන කියමන සනාථ කරමින් ගම්ලතුන්ටත් තැන් කිහිපයක දී වරදී. ඔහු සිය ලිපිය අරඹන්නේ ම වියරණ වරදකිනි.

‘එසේ කිරීම යථාර්ථවාදය යන්නෙන් මා අදහස් කරන්නේ කුමක් දැයි පහදා ලීමට උපකාර වෙතැයි සිතුණෙන් මේ ලිපිය ලියමි’

‘මේ සම්බන්ධයෙන් ඔවුහු මළමිනී මෙන් නිහඬ ය’

‘නායකයෝ ඒ පන්තිමය අවශ්‍යතාව ප්‍රකාශ වන මාධ්‍ය පමණි’

‘දියණියෝ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කේෂ්ත්‍ර පර්යේෂණවල නිරත වෙයි’

(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

මේ තබා ඔහු සෙංකොට්ටං ගැන තබන සටහන ද අතිශය උත්ප්‍රාසාත්මක ය.

‘කීප පළක සිදු වී තිබෙන උක්තාඛ්‍යාත සාම්‍ය බිඳීම ඇස කොනිත්තන්නේ වුව ද ඔහුගේ භාෂාවේ තිබෙන පොදු සරල සුන්දර ගලනය නිසා මේ දෝෂය නොතක හළ හැකි ය’
(රාවය, 2012 නොවැම්බර් 25 ඉරිදා)

ගම්ලතුන් මස්ඉඹුලට සමාව දුන්නත් අප හට ඔහුට සමාව දිය නොහැක්කේ එතුමා වියරණය පිළිබඳ වැරදි දක්වමින් සෙස්සන් පතුරු ගසන හැටි දුටු විට ය. ගම්ලතුන්ගේ මේ වියරණ බිඳීම මගේ ඇස ද කෙනිත්තුවේ ය. එයින් ම ඔහුගේ ලිපිය කියැවීම අපෝ වී ගියත් සෙස්ස ද මම ඉවසීමෙන් යුතු ව කියැවීමි.

ශෂී ප්‍රභාත් ගේ හා චින්තක ගේ පොත් ගැන දී ඇති විචාරයට මැදිහත් වීමට නො හැක්කේ ලියුම්කරුට තවමත් ඒවා කියැවීමට නො ලැබුණු නිසා ය. නමුත් 'සෙංකොට්ටං' ගැන ගම්ලතුන් ගේ විචාරයට අපි ද එකහෙළා ම එකඟ වෙමු. 'සෙංකොට්ටං' යනු විශිෂ්ට කාර්ය සාධනයක් බව අවිවාදිත ය. ඉතාම කලාතුරකින් පොතකට හොඳක් කියන රන්ජන් අමරරත්නයන් ද මෙය පසසා තිබිණි. ප්‍රේමතිලක පේරුකන්දයන් ද ‘සෙංකොට්ටං’ කෘතියට කටපුරා හොඳයි කීමට පෙළැඹී තිබෙණු දක්නට ලැබිණි.

එය සැබෑය. හොඳ දේට හොඳයි කීමට අප කිසිම කලෙක මැළිවිය යුතු නැත. එසේ නො කරන්නේ නම් එය කුහකකමකි.

සීනුවක් අතින් වසා නාද කළ විට ඉන් නැ‍ඟෙනුයේ බොල් හඬකි. මහාචාර්යවරයා ද සිදුකර ඇත්තේ එතුමා ගේ පුද්ගලික පූර්ව විනිශ්චයන් හා ‍පරණ කෝන්තර නැමති අතින් වසා සීනුව නාද කිරීමකි. අර සීනු නාදයේ මිහිර ඔහු අතින් වියැකී ගොස් ඇත්තේ එ පරිද්දෙන් යැයි අපට සිතෙයි.

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails