Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ වසරේ දී ද ගිය වසරේ මෙන්ම ගොඩගේ සම්මාන උළෙලේ දී කාව්‍ය නිර්මාණ සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව පිළිඳව මහත් ඝෝෂාවක් පැන නැංගේ ය. ඔවුන්ගේ තීන්දුව වූයේ 2011 වසරේ ප්‍රකාශිත කෘති අතරින් ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ අඩංගු කිසිදු කෘතියක් නැති බවත්, ඇත්තේ කුසලතා පූර්ණ කෘතියක් පමණක් බවත්ය. කුසලතා පූර්ණ සම්මානයට පඹයාගේ සාක්කිය නම් කෘතියක් පාත්‍ර කෙරිණ. එම තීන්දුව ප්‍රකාශ කළ සමීක්ෂකයෝ තම තීන්දුව පිළිබඳව ඇති විසංවාදයන් ප්‍රකාශවලට ලඝු නොකොට ශාස්ත්‍රීය ලෙස ඉදිරිපත් කරන්නැයි සති අන්ත පුවත්පත් හරහා දන්වා සිටියෝය. එකී විනිශ්චය පිළිබඳ පැන නගින ගැටළු මෙම ලේඛනය හරහා යම් සංවාදයකට බඳුන් කිරීමට උත්සාහ දරමු.

ලාංකීය සමස්ත කලා ධාරාවන් තුල පරිහාණියක්, බිඳ වැටීමක් ඇති බව අප ද නොවක් ව එකඟ වන සත්‍යයකි. කලා ධාරාවන්ගේ පමණක් නොව බැලු බැලූ අත දිස්වෙන්නේ පරිහාණියේ විවිධ ප්‍රකාශනයන්ය.

සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ ධාරාවන් අතර තවමත් අනෙක් ඒවාට සාපේක්ෂව පරිහාණිගත නොවී, විනාශ මුඛය වෙත නොගොස් මතු නොව යම් පිබිදීමක් ද සහිතව ක්‍රියාකාරී වන කලාංගයක් ලෙස කවිය හඳුන්වා දිය හැකිය. කුහකත්වයෙන් සහ ව්‍යාජ පණ්ඩිතමානී බවෙකින් තොරව මැදහත් ලෙස එදෙස බලන්නෙක් එයට එකඟ වනු ඇත. ප්‍රලේඛා නම් සඟරාවක 2011 සිංහල කවිය පිළිබඳ අදහස් දක්වන හිනිදුම සුනිල් සෙනවි මහතා උපුටා දක්වමු.

"...නූතන සිංහල කවිය වූ කලී අද්‍යයතනය වන විට බහුජන ප්‍රසාදය, අවධානය මතු නොව ගෞරවය ද දිනා ගනිමින් 'පඳුරු ගසා කිරි වැදී' මෝරන සාහිත්‍ය ශානරය බවට පත්ව ඇත. නවකතාව තරමට සීඝ්‍ර ලෙස පාරිභෝජන අර්චනකාමී වෙළඳ සංඥාවක් බවට රුපාන්තරණය නොවී ආරක්ෂා වී ඇති ප්‍රවර්ගයකි. එය ආකෘතිය, වර්ධනීය විලාස අවධානය අතින් බෙහෙවින්ම සමීප වන්නේ නූතන කෙටි කතාවේ ප්‍රගමනයට ය. නූතන සිංහල කවියේ විශේෂතාවක් වී ඇත්තේ තදනුබද්ධව නිර්මාණකරණයේ යෙදෙන්නන් අතර පරම්පරා තුනක පමණ පිරිස උද්යෝගයෙන් අනලස්ව සංස්ලේශී ලෙස ද අභ්‍යාසවෘද්ධ ලෙස ද තත් විෂයෙහි නියැළී සිටීමයි. එසේම නූතන සිංහල සමාජ දේහයේ සීඝ්‍රව උච්ඡාවචනය වන සංස්කෘතික පරිවර්තනයන් කවියට ආගත වීම ද එය නියෝජනය කරන පිරිසක් ද මේ අතර සිටී."
-කිසිවෙක් කවියන් නොමරති - හිනිදුම සුනිල් සෙනවි ‐ ප්‍රලේඛා

ගොඩගේ සම්මාන උළෙලේ කාව්‍ය සමීක්ෂක කමිටුවේ දෙදෙනෙක්ට අනුව (ජයන්ත අමරසිංහ මහතා, අමරසිරි වික්‍රමරත්න මහතා) කාව්‍ය ක්ෂේත්‍රයෙහි එබන්දක් නැත. ගොඩගේ සම්මාන උළෙලේ සමාප්ති සටහනේ සමීක්ෂක වාර්තාවන් හි ඔවුන් ඒ බව දක්වා ඇත. අමතරව 2012 සැප්තැම්බර් 30 දින රාවය පුවත්පතට ද මෙසේ අදහස් දක්වා ඇත.

"...මගේ අදහස මෑත සිට සිංහල කවිය අනුකාරක කාව්‍ය මාර්ගයක් බවට පත්ව තිබෙනවා...අද අපට දක්නට ලැබෙන්නේ අතීත කාව්‍යමය වාග් ව්‍යවහාරයේ සැකිල්ල පමණයි."
-ජයන්ත අමරසිංහ - ගොඩගේ සම්මාන කාව්‍ය සමීක්ෂක

මෙම සම්මානය පිරිනැමීමෙන් අනතුරුව සමාප්ති සටහනේ කාව්‍ය සමීක්ෂක අමරසිරි වික්‍රමරත්න මහතා දක්වන අදහස් මෙබඳුය.

"නිර්මාණයක ත්‍රෛයිකාලික වැදගත්කම ගැන අවධානය යොමු විය යුතුමය."

"කාට හෝ සම්මානයක් ප්‍රදානය කරනවාට වඩා ඒ සඳහා ප්‍රමිතියක් ඇති කළ යුතුය යන පොදු එකඟතාවයට ගරු කරමින් කටයුතු කිරීමේ දී වඩාත් සුපරික්ෂාකාරී වීමට සිදු වේ. යම් කෘතියක් සම්මානයක් සඳහා තෝරා ගත් පසුව එය අන් කවීන්ට පූර්ව දර්ශනයක් විය යුතුය."
-ගොඩගේ සම්මාන උළෙල - සමාප්ති සටහන - පිටුව 53

මේ අනුව බලන කල ඔවුන් ඉතා සුපරික්ෂාකාරීව අන් කෘතින්ට සාපේක්ෂව, අඩු පාඩු නැති අන් කවීන්ට පූර්වාදර්ශයක් වන නිර්මාණ එකතුවක් සම්මානය සඳහා තෝරාගෙන ඇතැයි සිතිය හැකිය.

එකී කෘතිය සාවධානව විමසා බැලීමේ දී පෙනී යන්නේ, එය ඔවුන්ගෙන් ප්‍රකාශිත අදහස් වලට සපුරා රැහැණි, හුදෙක් නිර්මාණභ්‍යාස එකතුවක් ලෙස පමණක් සැලකිය හැකි නිර්මාණ සමූහයක් බවයි. ඔවුන්ගේ තීන්දුව සම්බන්ධයෙන් අපගේ ආරෝව පැන නගින්නේ එතැනිනි. සරලව කියන්නේ නම් ඔවුන් කර ඇත්තේ පාඨකයා වෙත වර්ණනාවිෂයක්‍රාන්තව 'ශ්‍රී දේවිය' කට සම්මානය දෙන බව පෙන්වා සම්මානය ලබා දී ඇත්තේ 'මූ දේවියක' ට බවයි. එතෙකිනිදු නොනැවතෙන ඔවුන් පුවත්පත් පිටු හරහා ගර්ජනා ද කරයි.

අපගේ අදහස නම් සිය සමාප්ති සටහන් වාර්තාවේ ඔවුන් දක්වන අදහස් හරහාම එම සම්මානිත කෘතිය නිෂේධනය වන බවයි. කරුණු දක්වමු.

පඹයාගේ සාක්කිය

මෙම කෘතියට සම්මානය පිරිනැමීමේ දී සමීක්ෂකයින් තිදෙනාගෙන් එක් අයෙක් වන මහින්ද පතිරණ මහතා එකී තීන්දුවට එකඟ නොවන බවත් එය සම්මානයට සුදුසු කෘතියක් නොවන බවත් ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු දක්වා ඇති අදහස් නොව සම්මානය පිරි නැමීමට පක්ෂ වූ ජයන්ත අමරසිංහ මහතා සහ අමරසිරි වික්‍රමරත්න මහතා දැක් වූ අදහස් පමණක් සංවාදයට බඳුන් කරමු.

අනෙක් සමීක්ෂකයන් දෙදෙනා අඩු වැඩි වශයෙන් වෙනත් නිර්මාණ පිළිබඳවත් තම අදහස් දක්වා තිබූ අතර අමරසිංහ මහතා අදහස් දක්වා ඇත්තේ උක්ත සම්මානිත කෘතිය පිළිබඳවම පමණකි.

"ඔහු විසින් (පඹයාගේ සාක්කිය කතුවරයා විසින්) රචිත ඇතැම් කාව්‍ය නිර්මාණවල අධ්‍යතන ලාංකේය සමාජ ජීවිතයේ අභූතරූපී වූත් විකාර රූපී වූත් ගති ලක්ෂණ ඉතා අපූර්ව ලෙස කාව්‍යයට නගා ඇති අයුරු දක්නට ලැබේ."
-සමාප්ති සටහන - පිටුව 49 (අවධාරණය අපෙනි)

මෙසේ පවසා සිටිය ද 46 ක් වූ නිර්මාණ ප්‍රමාණය අතරින් අද්‍යතන විකාර රූපී සමාජ ජීවිතය පිළිබඳව දැක්වෙන පෙර නොවූ විරූ ආකාරයේ (අපූර්ව) එකදු නිර්මාණයක් වත් සොයා ගත නොහැක. ඔහු සිය අදහස තහවුරු කිරීමට යොදා ගන්නා නිර්මාණය පවා එවැන්නක් ද? කොටස් දෙකක් පහත දැක්වෙයි.

වෙසක් එකට පිරුවටයක් අන්දන්නයි
එපින් බලෙන් මුදලාලී ව වැජඹෙන්නයි
සදෙව් ලොවින් සුරලියො හැම පැමිණෙන්නයි
මෙහෙන් එහෙට ලොකු ඇනවුම් ලැබගන්නයි

සැලේ සැලේ නත්තලේට ඇඟම් සකෝ
බලේ බලේ මාකට් එකේ බලේ සකෝ
මලේ මලේ අපි පඹයොනෙ ඉතින් මොකෝ
ගලෝ ගලෝ අන්දපියව් අපට මොකෝ


-රෙදි කඩේ පඹයා - පඹයාගේ සාක්කිය - කුමාර කඹුරුපිටිය

මේ ඔහු සිය මතය ස්ඵුට කිරීම වෙනුවෙන් දක්වන අනෙක් නිර්මාණයයි.

පඹයාගේ සාක්කිය

පරම්පරා සිය ගණනක්
තුන්වේලම බත හරිකල
යායේ තිබුණ හොඳම කුඹුර
හරියට කිරි වදින දවසෙ
මාව හිටවලා වෙල මැද
එහෙන් මෙහෙන් මඩ හෝදන්
නුඹත් ගියා හනි හනිකට
හොඳම ගොවි රජා තෝරන
මෙගා බ්ලාස්ට් මංගල්ලෙට


හුදු කොටස් වලට කඩන ලද ගද්‍ය පාඨයක් වන මෙයින් උපදින අපූර්වත්වය කුමක්දැයි අමරසිංහ මහතා ට කිව හැකි ද? ඔහු සිය ඉතා කෙටි වාර්තාවෙහි දක්වන්නේ මේ කෘතියේ "සුලබ ඒකාකාරී සමරූපී බවක් නැති" බවයි.

නමුත් ඔවුන් විසින් සම්මානිත ඒ කෘතිය අරා ඇත්තේ අතිශය සුලබ තේමාවන්ම පමණි. එපමණක් නොව එකම තේමාව මත ලියූ කවි කිහිපය බැගින් ඇත. අලි ඇතුන් පිළිබඳ නිර්මාණ 03 කි. (මද කිපීම, පින්නවල නීලගිරිට, පින්නවල අලි) අබිසරු ලිය අනුභූතිය වූ නිර්මාණ 02 කි. (අබිසරු ලිය සහ බල්ලා, මහසොහොන් ප්‍රේමය) කාර්යාලය ආශ්‍රිත කවි 03 කි. (අත්තන ඇට, වක්කඩ, ප්‍රවර්ධනය) වෙළඳ සංස්කෘතිය ගැන නිර්මාණ 04 කි. (රෙදි කඩේ පඹයා, කූඨ වාණිජ සමාගම, සේල් වසන්තය, කුලී පෝරුව)

මෙම කෘතිය සම්මානය සඳහා සුදුසු යැයි අනුමත කල අනෙක් සමීක්ෂකයා වන වික්‍රමරත්න මහතා සිය වාර්තාවේ එම වසරේ පළ වූ අනෙක් කෘති පිළිබඳව වැඩි වශයෙන් සඳහන් කර සිය කුසලතා පූර්ණ කෘතිය අරබයා දක්වන්නේ "උඩින් උඩින් අඩි - තබා මඩෙන් මිදී" යන ආකාරයේ ස්වල්ප අවධානයකි. ඔහු ද පවසන්නේ අපූර්ව අනුභූති එහි ඇති බවකි. ඒවා සොයා දිය හැකි නම් ඉතා අගනේය. මන්ද පොත පුරා සොයා බැලූ නමුත් අපට හමු නොවූ බැවිනි. අපට හමු වූ ඒවා පසුව දක්වන්නෙමු. ඒ සමඟම ඔහු යස අදහසක් ද දක්වයි. තමාගේ කුසලතා පූර්ණ කවියා බස යොදා ඇත්තේ අඩු පාඩු සහිතව බවයි. ඒ ගැන ඔහු උනන්දුවක් දක්වා නැත. බස පිළිබඳ උනන්දු නොවන කවියෝ සිටිය හැකි වුවත් එවන් කවියන් ගේ නිර්මාණයන්ට සම්මාන දෙන විනිසුරෝත් මේ මිහිපිට සිටිත් ද?

අප විසින් යට සඳහන් කරනු ලැබුවේ ගොඩගේ සම්මාන උළෙලේ ඊනියා කාව්‍ය විනිශ්චය සමීක්ෂකයන්ගේ අදහස් හරහාම නිෂේධනය වන ආකාරයයි.

මෙම නිර්මාණ එකතුවේ විශාල ප්‍රමාණයක් දුර්වලතා දක්නට ලැබුණ ද, මෙය සංවාදය සඳහා එළැඹුමක් ලෙස පමණක් සළකන බැවින් ඒවා තව දුරටත් පැවසීමට වෙහෙස නොවී කෘතියේ වහා පෙනෙන දුර්වලතා කිහිපයක් සඳහන් කරමු. වාර්තාමය ඍජු ප්‍රකාශන කවියට වැද්ද ගැනීම බහුල ලෙස දකිත හැකිය.සියලු නිර්මාණ පාහේ මෙකී දුබලතාව දරා සිටී. වික්‍රමරත්න මහතාම සිය වාර්තාවේ ෆ්‍රොස්ට් උපුටමින් මෙසේ කියයි."කවිය විසින් කළ යුතු මෙහෙයක් තිබේ. කවියාගේ ප්‍රකාශනය පමණක් කවියක් වන්නේ නැත."

උලමා

බහිරව කන්ද පාමුල
උලමෙක් ඇඬුවා
තූ නොදකින් කියා
ඔක්කොම කෙළ ගැසුවා
ඇඳටම වැටුණු ආතා
පරලොවට ගියා
ගමේ හිටපු ඔක්කොම උලමට බැන්නා


-පඹයාගේ සාක්කිය - 31 පිටුව

දැනුම සහ අවබෝධය

දැනුම බුද්ධිය ඇති එවුන්
විඤ්ඤාණය නිර්වින්දනය කර
නිදිවදින සඳ මහ දවල්,

බුද්ධියක් නැති එවුන්
අවබෝධයෙන් යුතුව
මඩිය තර කර ගනිති
සමස්තය වනසමින්

අත්තන ඇට
ගුඩ් මෝනිං සර්,
හ්ම්..
ඊයෙ හරි ෂෝක් නේද වැඩමුළුව
මොකක්ද?
ඇයි සර් වැඩ බිමේ සහයෝගිතාවය, සර් මගේ
කරට අතක් දාගෙන විහිළු කලේ
සර් දැන් අපි දිගටම වැඩ කරන්නෙ එහෙමද?
මේ..තනතුරට අදාලව හැසිරෙනවා හරිද?
ලොක්කන්ට පිස්සු, සොක්කන්ටත් මේවට කතා කරනවානේ
අන්තිමට මුන් කරේ නගින්න හදනවා


ආධුනික කවියෙක් අතින් පවා බැහැරවන මෙවන් නිර්මාණ යට කී කෘතියෙහි අන්තර්ගත වෙයි. කවියා විසින් මහත් අවධානය ලක් කළ යුතු භාෂා භාවිතය මේ කෘතියෙහි රචකයා තුට්ටුවකට මායිම් නොකරයි. අක්ෂර වින්‍යාසයක් ගැන වගේ වගක් නැත. ඉහත උපුටා ගත් කවි වලින් පවා එය පැහැදිලි වනු ඇත. මෙහි පූජක ගෙන් අමිතතාපාට යනුවෙන් නිර්මාණයක් ඇත. වෙස්සන්තර ජාතකය නිර්මාණයට ආශ්‍රය කරගන්නට ගියත් එහි ඇති ජූජක සහ අමිත්තතාප යන නාමයන් පටලැවී හෝ නොදැන හෝ සිටින්නේ කවියා පමණක් ද?

අනෙක් අතට ගිය වසරේ සිය ප්‍රථම කෘතිය පළ කළ ආධුනිකම නිර්මාණකරුවා පවා යම් දැක්මක් සහිත වූවන් බව වුවමනාවෙන් ඒ කෘති නිරීක්ෂණයේ දි පෙනී යන කරුණකි. දැක්ම කුමක් වේවා, අවම වශයෙන් මානව දයාව වත් කවියෙක්ගේ දැක්ම විය යුතු බවට විවාදයක් තිබිය නොහැකිය. කවියෙන් කවියට වෙනස් වෙන සුළු දැක්මක් මෙහි දැක්ක හැකිය. මේ කෘතියෙහි එක් තැනක ගණිකාවක් පිළිබඳ කවියක් නිමවන්නට තැත් දරන කවියා එහි දී ඇය පිළිබඳව යම් මානවවාදී දෘෂ්ටියක් හෙලීමට තැත් දරන අතර ඉන් පිටු තුනකට පසුව ගණිකාවක්ම අනුභූතිකොට ගන්නා ඔහු ඇය වෙත හෙලන දෘෂ්ටිය එවැනි මානුෂීය එකක් ද ? කොටස බැගින් උපුටා දක්වමු.

අභිසරු ලිය සහ බල්ලා

අබ ඇට සොයන
කිසා ගෝතමියක් නොවූවාය ඇය
දැන සිටියාය
තුන් වැනි සිල්පදය රකින
නිවසක් නැති බව
එහෙයින් ලැජ්ජාවක් නොවීය
ලෝකයේ පැරණිම
ස්වයං රැකියාව ගැන
අඟරුට මුවා වී
අවලං පහසට ඉව ඇල්ලූ
අසල්වැසි දුදනන්
සුදනන් වී දිවාකල
ඇමතීය ඇය
පාදඩ කතාවෙන්

මහ සොහොන් ප්‍රේමය
දසත එලි විහිදුවන
දෙපා ලඟ සළු උනන
විදුලි මිණි පහන් යට
හිඟ වියළුණු කුසුම

සාරවිට හපමින්
දෙතොල රතු කරමින්
රකුසු ඇස් හෙලමින්
හිඟ මහ මග දුලි කෙලිමින්

පිපාසිත මනු සතුන්
නොලැබ දිය බිඳ පළිඟු විලකින්
තියෙන මඩ වලකින්
බොන්න සැරසෙති පවස නිවමින්
හැකිලි හකු සඟවා
පුයර වත්සුණු අලවා
ඇස් අගින් අල්ලා
රැගෙන යයි දල හොඳට බලලා


මේ බොහෝ නිර්මාණ අතරේ ව්‍යංගාර්ථ ආදී භාෂා උපක්‍රම බේතකටවත් සොයා ගන්නට නැත.

අවම වශයෙන් සෝදුපත් බලා වත් නැති කුසලතා පූර්ණ ඉහත කෘතිය පිළිබඳව තවත් පිටු ගණනාවක් ලිවිය හැකි වුව ද මෙතෙකින් නවතමි. වික්‍රමරත්න මහතා සිය වාර්තාවේ එක් තැනෙක එමිලි ඩිකින්සන් නම් ඇමරිකානු කිවිඳියගේ ප්‍රකාශයක් දක්වමින්, "...කවි පොතක් නම් කිසිම ගින්නකින් උණුසුම් කළ නොහැකි පරිදි ශරීරය සීතල වී යා යුතුය" යනුවෙන් පවසයි. සත්තකින් මෙම සම්මානිත කෘතිය කියවීමේදී අපගේ ශරීරය ද ශීතලව ගියේ මෙවැනි කෘතියක් එබඳු සම්මානයකින් ඔසවා තැබීම නිසාය.

2011 වසරේ ප්‍රශස්ත මට්ටමේ එකදු කෘතියක් නැතැයි ද, යම් තරමකට හෝ ඔසවා තැබිය හැකි කෘතිය නම් මේ යැයි ද පවසා කුසලතා පූර්ණ සම්මානයක් ලබා දුන්, පඹයාගේ සාක්කිය නම් කෘතිය එසේ සාධනීය ලක්ෂණ පෙන්වන්නේ මෙලෙසින් යැයි වඩාත් පිළිගත හැකි ආකාරයට පෙන්වා දෙන්නට ඔවුන්ට හැකි ද? එකී සම්මානිත කෘතියට වඩා ඉදිරියෙන් තිබෙන කෘති බොහෝ ගණනක් එම වසරේ ප්‍රකාශයට පත්ව ඇති බව පෙන්වා දෙන්නට අපට හැකිය.

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails