Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මම : සකී හෙට්ටිආරච්චි

ඔහු :කල්ප ප්‍රියන්ත හේරත්

මම : ටෙලි නාට්‍ය පිටපත් රචනා කරමි. (සැ. යු මෙගා නාට්‍ය පිටපත්)

ඔහු : ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකි|නිෂ්පාදකවරයෙකි. (සැ. යු. මෙගා නාට්‍ය)

මම : ලාංකේය විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් හැදෑරීම හේතු කොටගෙන නමට ඉදිරියෙන් විසිතුරු ව එල්ලා තැබිය හැකි පට්ටමකට හිමිකම් කීමට සමත් වීමි. (මම මාර්කේස් සහ කුන්දේරාව හඳුනා ගන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් දෙවසරකටත් පසුව බව ඔබ මතක තබා ගත යුතු ය. සිංහල ගෞරව උපාධියේ දිග පළල හඳුනා ගැනීමට ඔබට එය ප්‍රමාණවත් සාක්ෂියක් වනු ඇත. )

ඔහු : දන්නා තරමින් උසස් අධ්‍යාපනයක් නැත. පෙනෙන හැටියට ප්‍රාථමික අධ්‍යාපනයක්ද නැත.

මම : මධ්‍යම පාන්තිකයෙක්මි.

ඔහු : ධනපතිපාන්තිකයකු ලෙස අර්ථ ගන්වනවාට මහත් සේ පෙරේතකමක් දක්වන කොළඹට සංක්‍රමණය වී කෙමෙන් දියුණු වී ප්‍රකට රාජ්‍ය ආයතනයක කලක් සේවය කරමින් හොරා කමින් යටිමඩි ගසමින් ධනපතිපාන්තිකයකු වූ බව රට්ටු නාම ගන්වන පන්තිය අහිමි පාන්තිකයෙකි.

මට අප්‍රසන්න මිනිසෙක් හමු විය. කතන්දර වල පමණක් හමුවන මැජික්කාර චරිතය ඔහු ය. ඔහු විවිධ අවස්ථාවන් හීදී විවිධ වෙස් ගනිමින් රූපාන්තරණය වන බව මම ඔබට පැවසුවොත් ඔබට මා විස්වාස කළ නොහැකි වනු ඇත. උක්ත චරිත විස්තරය මා විස්වාස කිරීමට හෝ ඔහු විස්වාස කිරීමට ඉවහල් වනු ඇතැයි හඟිමි. නමුත් මේ කතාව කොතෙක් දුරට ඔබට අදාළ දැයි මම නොදනිමි. එහෙත් මෙය කියවා තබා ගැනීම ඔබගේ මතු ආරක්ෂාවට අදාළ වන්නට බොහෝ ඉඩකඩ ඇත.

සිද්ධිය:

ප්‍රවීණ අධ්‍යක්ෂක කල්ප ප්‍රියන්ත හේරත්ට ආධුනික ලේඛිකා සකී හෙට්ටිආරච්චි ප්‍රථම කොට හමුවන්නේ මිතුරෙකුගේ සාදයකදී ය. මා ඔහු දැන සිටියත් කල්ප මා ලේඛිකාවක ලෙස හඳුනා ගන්නේ ඒ හමුවීමේදී ය. ප්‍රථම හමුවම දීර්ඝ කාලීන ඇසුරකට පෙරළා ගත් කල්ප ඔහුගේ මීළඟ ටෙලි පිටපත රචනා කිරීමට මට ආරාධනා කළේ ය. කල්ප ප්‍රියන්ත හේරත් යනු මේ වන විටත් රටේ ප්‍රකට චරිතයකි. ඔහු ආකාර කීපයකින් ප්‍රසිද්ධියට පත් චරිතයකි. ප්‍රකට රාජ්‍ය ආයතනයකින් මුදල් යටිමඩි ගසා හසුව රැකියාව අහිමි කර ගත්තෙකු ලෙසත් පසුව පෞද්ගලික මාධ්‍ය ආයතනයක අධ්‍යක්ෂධූරයක් හිමි ව කලක් සේවය කර ජම්මෙට වඩා පුරුද්ද ලොකු හෙයින් එම ආයතනයෙන් ද මුදල් සොරා ගන්නට ගොස් ආයතන ප්‍රධානියාගේ පුත්‍ර රත්නයට අතට ම අසූ වී ආයතනයෙන් නෙරපා හැරිය වගටත් ප්‍රකට ය. මේ ආදි ලෙස තැනින් තැන සැරි සැරූ ඔහු කරකියා ගත හැකි කිසිවක් නොමැති තැන ටෙලි නාට්‍ය නිර්මාණකරණයට පිවිස ඇත. මට ඔහුගේ යටගියාවෙන් කම් නැත. එහෙත් මගේ ආත්ම ආරක්ෂාවට ඔහු පිළිබඳ දැන සිටිම යහපත් කොට සලකමි. මෙලෙස ඔහුගේ නාට්‍යයේ පිටපත් රචනය උදෙසා මා ඔහු හා එකඟතාවයකට පිවිසුණෙ උක්ත සියලු අලගිය මුලගිය තැන් පිළිබඳව අවබෝධයෙනි. එහෙත් රට්ටු කියූ කතා අතර නොකියූ බොහෝ දේ ඇති වග මා හඟනා ගත්තේ ඔහුත් සමඟින් වැඩ කටයුතු කිරීමට යෑමේදී ය. ඔබ බොහෝ සෙයින් ටෙලි නාට්‍ය බලා ඇති වග දනිමි. එහෙත් ඔබ කිසි දිනක එහි පිටපත කෙරෙහි අවධානය යොමු කර නැති වග ද මම දනිමි. සාමාන්‍ය ටෙලි පිටපතක් කෙසේ වෙතත් ලංකාවේ මෙගා ටෙලි පිටපතක ඇතුළාන්තය ඔබ කෙසේවත් නොදන්න බවට නම් කිසිදු සැකයක් නැත. එනයින් මේ කතාව අත්දකින්නට අවැසි නම් ඒ පිළිබඳව මොහොතක් ඔබේ අවධානය යොමු කරීමට සිදුවනු ඇත.

පළමු රූපාන්තරණය

මුදල් සම්බන්ධව ඔහු හා කටයුතු කිරීමේදී ප්‍රවේසම් වන ලෙස රට්ටු මට නිරන්තරයෙන් පවසන්නට උත්සාහ ගත්තේ ඔහුගේ ජම්මය ගැන නොසිතා පුරුද්ද ගැන අවධානය යොමු කරමිනි. මම ද අවදානම යටිසිතේ රුවා ගෙන කටයුතු කළෙමි. දිනක් මගේ නාට්‍ය පිටපතේ මා අතින් ලියැවුණු දෙබස් කාණ්ඩයකට ඔහු දක්වන ලද ප්‍රතිචාරය මුල් කොටගෙන ඔහුගේ ජම්මය පිළිබඳ මා තුළ වු කුහුල වර්ධනය විය.

රජිත : මචං. . . . . . සල්ලිකාරයෝ ඇයි බං මෙච්චර ගඳ

ප්‍රසන්න : අපි වගේ එවුංගේ සල්ලි හූරගෙන කාපුවයේ කුයිලේ. . . . . .

රජිත සහ ප්‍රසන්න හඬ නගා සිනාසෙති.

පිටපත දුටු සැනින් යක්ෂාවේෂ වන කල්ප සැනින් මට දුරකථන ඇමතුමක් ගත්තේ ය. මම ඔහුට අපහාස කළ බවත් තමන් ධනවතෙකු බව දන්නා හෙයින් ඔහු කෙරෙහි වන ඊර්ෂ්‍යාව ඉන් ප්‍රකට කළ බවත් පැවසුවේ ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනයේ හිස් තැන් අනාවරණය කරමිනි. මම සිනාසීමි. පසුව මම පිටපතේ එම දෙබස කපා කොටා වෙනස් කොට දුනිමි.

රජිත : මචං. . . . සල්ලිකාරයෝ ඇයි බං මෙච්චර පුසුඹ

ප්‍රසන්න : සල්ලිවල පුසුඹ බං. . . . . . .

රජිත සහ ප්‍රසන්න හඬ නගා සිනාසෙති.

සංශෝධිත පිටපත දුටු සැනින් ඔහු අමන්දානන්දයට පත් විය. මුවපුරා ස්තුතිවන්ත වෙමින් මා දක්ෂ ලේඛිකාවක ලෙස අර්ථ ගන්වන්නට ද පසුබට නොවී ය. ඔහු දෙවන වරටත් ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනයේ අඩුලුහුඬු තැන් තහවුරු කරන ලදි. මම ප්‍රථම කොට සිනාසීමි. දෙවනුව ඔහුට අනුකම්පා කළ යුතු යැයි සිතුනු හෙයින් ආපසු හැරී බැලීමි. මම එය දුටුවේ ඒ මොහොතේදී ය. ආපසු හැරී යන ඔහුගේ රුව, ඉදිරියේ වන කැඩපතකින් ප්‍රතිබිම්භනය වී තිබිණ. එහිදී ඔහුගේ නැහැය ඌරු වෙසක් ගෙන තිබිණ. මම යළි යළිදු යළි යළිදු එදෙස බැලීමි. මට මගේ දෙනෙත්‍රා ඇදහිය නොහැකි තරම් ය. සැබවින්ම ඒ නැහැය ඌරෙකුගේ ය. බියපත් බවත් කුහුලත් නිසා මම ඔහු ඇමතීමි. ඔහු සැනින් යන ගමන නවතා මා දෙස බැලී ය. ? ? ? ? ? ? ? ? ? ? ඒ නැහැයේ ඌරු වෙසක් නොවී ය. මම මටම සාප කොට ගනිමින් ඔහුගේ මන්දිරයෙන් පිටවීමි.

හයික්ලාස්. . .

මගේ පිටපතේ එන වික්‍රමසිංහ නමැති දේශපාලඥයා උදෙසා ඉහළ පන්තික නිවසක් භාවිතා කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලීමක් කළෙමි. එහිදී ඔහු දක්වන ලද ප්‍රතිචාරය මහත් සේ ඔහුගේ යටගියාව මතු කරවන්නකි. ඔහු මෙසේ කියයි.

ඔහු : සකී. . . . ඔයා ඔය හයික්ලාස් ගෙයක් කියලා අදහස් කළේ අපේ ගේ වගේ එකක්ද නැත්තං ඊට වඩා අඩු එකක්ද. . . . . .

ඔහු හයික්ලාස් විය. තර්ඩ් ක්ලාස් මට සිනා වීමට ඉඩකඩ ප්‍රමාණවත් නොවී ය. මම ඔහුගේ පන්ති ප්‍රශ්නය වටහා ගතිමි. මම පළමු කොට කල්පනා කළෙමි. දෙවනුව ඔහුගේ හයික්ලාස් උමතුවට අනුකම්පා කරන්නට පටන් ගතිමි. (සැ. යු. වික්‍රමසිංහ නැමැති දේශපාලඥයාගේ ඉහළ පන්තික නිවස සදහා ඔහු විසින් දර්ශනතලය ලෙස ඔහුගේම නිවස තොරා ගන්නා ලදි. ) එහෙත් යළිදු අර පෙර කී රූපාන්තරණය මා දුටුවේ මේ මොහොතේ දී ය. මුහුණ පෙනෙන තරම් මැද ඇති සපත්තු යුවළ පලා මතුව තිබුණු ඇඟිලිතුඩු උල් නියවලින් සහ ලෝමවලින් සමන්විත ය. ඒවා මනුස්ස වේසයකට වඩා සත්ව ස්වරූපයක් ගෙන තිබිණ. මම ඔහු දෙස බැලීමී. කිසිදු වගක් නැතිව ඔහු මගේ පිටපත කියවමින් සිටී. මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විණ. මම ඕනෑකමින් ම අතේ තිබූ පොතක් බිම පතිත කළෙමි. පොත ගන්නා මුවාවෙන් මම ඔහුගේ දෙපා දෙස බැලීමි. විස්මයෙකි. එහි කිසිදු වෙනසක් නොවී ය. හොඳින් මැද තිබූ අධික මිලක් නියම කළ හැකි සපත්තුවක්.

මෙගා

නාට්‍ය පිටපතෙහි ප්‍රධාන නිළි භූමිකාව සඳහා කල්ප තෝරා ගෙන සිටියේ නවක නිළියකි. ඇය සුළඟට වැනෙන පරඩැල්පතක් මෙන් කේඩෑරි ය. මා ඇයව කල්පගේ හයික්ලාස් නිවසේදී දකින විට ඇය සිටියේ කල්පගේ හයික්ලාස් පුටුවක එබී කෙසග දිගු පා කෙටි සායකින් වසා ගන්නට අසාර්ථක උත්සාහයක් දරමිනි. දුටු පමණින් මගේ පිටපතේ චරිතයට ඇය නුසුදුසු යැයි මා තීරණය කළත් කල්ප එක හෙලා ඇය නාට්‍යයට සහභාගී කරගත යුතු බවත් නවකයන්ට අවස්ථාව දීම ඔහු වැනි පරිණත පුද්ගලයන්ගෙන් විය යුතු කාර්යක් බවත් තරයේ පැවසී ය. දිගු දිවෙන් අවටින් ගිය මැස්සෙකු ඩැහැගත් ඔහු එහි අරුමයක් නොවන ලෙස රාමතෙල් හරින්නට විය. නාට්‍ය කොටස් විස්ස විසිපහ විකාශනය වෙද්දි පරඩැල්පතක් ව සිටි යුවතිය අළු ගසා දමා පිරිපුන් ව සිටියා ය. කල්ප ඇයට දුන් අවස්ථාව අගය කටයුතු යැයි මම තේරුම් ගතිමි. දිනක් මා හමුවට ආ ඔහු නාට්‍යයේ ප්‍රධාන නිළිය ළිඳක් අසල නාන දර්ශනයක් ඇතුළත් කරන ලෙස ඇවටිලි කළේ ය. ඒ අහවල් මංගල්‍යයකට දැයි ඇසීමට මගේ කට ඉක්මන් නොවුණේ ඔහු අතේ මගේ චෙක්පත ද තිබුණ හෙයිනි. මම පිටපතට එවන් දර්ශනයක් ඇතුළත් කිරීමට ඔහුට පොරොන්දු වූවත් කල්පගේ නවක නිළිය පණ පොවන චරිතය ඉහළ පන්තික චරිතයක් වන හෙයින් දිය රෙද්දක් හැද ළිඳක නාන දර්ශනයක් ඒ චරිතයට ඇතුළත් කිරීම තරමක් අසීරු බව මම දැන උන්නෙමි.

එදින ද මම ඔහුගේ රූපාන්තරණ ඉන්ද්‍රජාලය දුටුව ද දැන් එය පාන් මෙන් සාමාන්‍ය වී ඇති නිසා කලිසම පළා මතුව තිබූ හිවල් වලිගය මත අපහසුවෙන් හිදගෙන සිටි ඔහු කෙරේ වැඩි තැකීමක් ඇති කර නොගත්තෙමි. ඒ වෙන කිසිවක් නිසා නොව ඉන් මා අනවශ්‍ය ලෙස පීඩාවටත් කුතුහලයටත් පත්වන හෙයිනි. කෙසේවෙතත් දස අතේ කල්පනාකොට මම කල්පට අවැසි පරිදි නාන දර්ශනයක් පිටපතට ඇතුළත් කළෙමි. ඒ අනුව පිටපතේ එන එම යුවතිය ස්වකීය අසනීපෙන් පසුවන මෙහෙකාරියගේ සුවදුක් බැලීමට ඇගේ ගමේ නිවසට යන අතර දිය රෙද්දක් හැද ළිඳක නාන්නට ඇයට ඇති වූ ආසාවක් මුල් කොටගෙන ඇය මෙහෙකාරිය සමඟ ළිඳට යන බවක් පිටපතට ඇතුළත් කළෙමි. කල්ප එය ස්ත්‍රි ලාලිත්‍ය මතුවෙන අයුරෙනුත් ඉහළ පන්තික යුවතියක දිය රෙද්දට දක්වන නුහුරු බව නිරූපණය වන අයුරිනුත් මැනවින් රූප ගන්වා තිබිණ.

දිය රෙද්දේ දර්ශනය විකාශනය වී තවත් මාස කීපයක් ගිය තැන වෙඩිකෑ ඌරෙකු සේ අප නිවසට එන කල්ප ප්‍රධාන නිළියව නාට්‍යයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ යුතු යැයි පැවසී ය. නාට්‍යයේ ප්‍රධාන භුමිකාව හිටි හැටියේ ඉවත් කිරීම මහත් සේ අපහසු කර්තව්‍යයක් වූවත් අධ්‍යක්ෂක තැන තෘප්තිමත් කරන අටියෙන් මම එම බාරදූර කර්තව්‍යයට අත තැබුවෙමි. දස අතේ කල්පනා කොට හදිස්සි අනතුරකින් ඇය මිය ගිය අයුරින් ඇගේ චරිතය සකසන්නට මට හැකි විය. එම දර්ශනය සමඟින් ප්‍රේක්ෂකයා මහත් සේ කම්පාවට පත් වූ අතර නාට්‍යයේ පෙම්වතිය අහිමි වූ විස්සෝපයෙන් පෙම්වතා උමතුවනු දුටු එක්තරා ප්‍රේක්ෂිකාවකගේ හදවත නැවතී රෝහල් ගත කළ සිද්ධියක් ද පසුව පුවත්පත් වාර්තා කොට තිබිණි. නොසිතු ලෙස නාට්‍ය ප්‍රේක්ෂකයා අතරට යන්නේ එකී සිද්ධිය ද හේතු කොට ගෙන ය. පෙරළුණු පිට හොඳ යැයි සිතීම කෙතරම් අගනේ දැයි මට ප්‍රත්‍යක්ෂ වුණේ එදින ය. එදින රාත්‍රියේදී නානකාමරයේදී ස්නානය කරමින් සිටි මගේ සිරුර කැඩපතින් දකිද්දි මගේ සමෙහි සර්ප වෛරමක් මතුව එමින් තිබෙනු මම දිටිමි. වැටකොලු කොස්සෙන් අතුල්ලමින් වයිරම හැරීමට ගත් තැත නතර වූයේ සම තුවාල වී ලේ ගලන්නට පටන් ගත් මොහොතේදී ය. මම හඬමින් කාමරයට අවුත් කාමරයේ කැඩපතට ද නිරාවරණය වීමි. පුදුමයකි. සීරුම් තුවාල හැරෙන්නට වෙන කිසිදු වයිරමක් එහි නොවී ය. කල්පගේ අසාමාන්‍ය රූපාන්තරණය පිළිබඳව නිතර නිතර සිතන්නට වූ හෙයින්දෝ එය මා තුළින් ද දර්ශනය වන්නට ඇතැයි මම සිතීමි. සිදුවන කිසිවක් මට විග්‍රහ කර ගැනීමට අපහසුව තිබිණ. දිනක් මා නාට්‍ය රූගත කරන ස්ථානයට ගියේ පිටපත් රචිකාව මා යැයි නළු නිළියන්ට ඒත්තු ගන්වන්නට වඩා කිරියි පැණියි සේ පෑහි සිටි කල්පත් නිළියත් මෙලෙස විරසක වූ හේතුව මගේ ගෑණු හිතට මහත් වදයක් වූ හේතුවෙනි. දර්ශනතලයේ අහුමුළුවල ඇසෙන කසු කුසුවලින් අහුලාගත් කතා කෑලිවලින් පූර්ණ කතාවක් හදා ගැනීම මට අසීරු නොවී ය. සාරාංශ කොටගත් කල්හි සිදුව ඇත්තේ කල්ප නිළියට දුන් අවස්ථාව නොතකා නිළිය කල්පට දුන් අවස්ථාව වෙනත් නළු මහතෙකුට දෙන්නට පටන් ගෙන තිබීමයි. තව ඉදිරියට මොන මොන චරිත මරා දැමීමටත් මොන මොන චරිත රට යැවීමටත් සිදුවේදෝ මම බිය වීමි. ඊටත් වඩා මේ කිසිවක් නොදන්නා අසරණ ප්‍රේක්ෂකයන් තව කී දෙනෙක් රෝහල් ගත වේදෝ කියා වේදනාවට පත් වීමි.

හීං එකා

අලස සුවය විඳිමින් සිටි එක්තරා මොහොතක රූපවාහිනිය නරඹමින් සිටියදී විනෝද සංවාද වැඩ සටහනකට අප අධ්‍යක්ෂක තැන පැමිණ සිටියේ ය. මා විසින් විරචිත ටෙලි නාට්‍ය එදා මාතෘකා කොටගෙන තිබෙන හෙයින් කල්ප පමණක් නොව නාට්‍යයේ නළු නිළි පිරිවර ද මැදිරියට පායා තිබිණ. එහෙයින් මම මහත් ඕනෑකමින් එය නරඹන්නට වීමි. දැන් කල්පගේ වාරයයි. මම මහත් ඕනෑකමින් ඔහුගේ කතාවට සවන්යොමු කළෙමි. ඔහු එහිදී ඔහුගේ පරම්පරාව ගැන මහත් උද්දාමයෙන් විවිධ කරුණු ගෙන හැර දක්වද්දි කට ඇරගත් නිවේදිකාව විස්මය පළ කළා ය. කට ඇරුණේ නිවේදිකාවගේ පමණක් නොව එය බලා සිටි මගේ මුව ද විස්මයෙන් විවර විය. ඔහුගේ මව සහ පියා මේ වන විට එංගලන්තයේ වාසය කරන අතර අසරණ අනාථ දරුවන් උදෙසා ඉදිවන අනාථ නිවාසයේ වැඩකටයුතු බැලීමට ඉදහිට ඔවුහු ලංකාවට එති. එතෙක් එහි කටයුතු බලා කියා ගන්නේ කල්ප ය. ඔහු හම්බ කරන්නේ මුදල් නොව මිනිසුන් ය. එබැවින් මුදල් කෙරෙහි වැඩි ඇල්මක් ඔහු කෙරේ නොවන බව නළුවකු සේ උරහිස් ගස්සමින් ඔහු පැවසී ය. ඔහු කරන ලද සේවය ඔහුගේම මුවින් බිම හැලිණ. මම මෙතුවක් ඔහු පිළිබඳව සිතාසිටි දේ පිළිබඳව කම්පා වීමි. මේ මොහොතේ මාධ්‍ය ආයතනයට දුරකථන ඇමතුමක් ලැබිණ.

නිවේදිකාව : හෙලෝ. . . . .. කවුද මේ. . . . .

අමතන්නා : ඇකිරියංකුඹුරේ සියාතු කියලා කියන්නකෝ නෝනේ. . . .

නිවේදිකාව : හොදයි සියාතු ඔයාට කාටද කතා කරන්න ඕන. . . .

අමතන්නා : හීං එකෝ. . . . . . උඹට මාව මතක නැතෙයි. . . . . මම සියාතු මහප්පා. . . . .

කැමරාව එදින පැමිණ සිටි විවිධ පුද්ගලයන්ගේ මුහුණු වලට හැරවිණ. කාගේත් මුහුණේ ඇත්තේ කුතුහලයකි. එම කුහුල කල්ප ප්‍රියන්තගේ මුහුණින් වැඩිපුරම නිකුත් වනු මට දැනිනි. මම නැවතත් ඔහුගේ රූපාන්තරණය දුටුවේ රූපවාහිනී තිරයෙනි. ඔහුගේ කන් දෙක බූරුවෙකුගේ මෙන් මතුව එමින් තිබිණ. මම වික්ෂිප්ත වීමි. දෙවනුව ඔහුගේ බූරු කං යුවළ රට්ටු දකිවීදෝ බියෙන් තැවුණෙමි.

නිවේදිකාව : සියාතු හීං එකා කියලා කතා කළේ කාටද. . . . අපේ ප්‍රේක්ෂකයෝ හරි ආසයි. . . . මේ ආරාධිතයන්ගේ පුංචි කාලේ රසකතා අහන්න. . . .

අමතන්නා : අනේ නෝනේ මට නම නං නිච්චි නෑ.... අපි කිව්වේ හීං එකා කියලා.... දැන් කද බඩ ආරලා හිටියට පුංචි සන්දියේ හරිම හීං දෑරි..... අපේ එකෙක් අද ඔය වගේ තැනක ඉන්නවා කියන්නේ අපිට ආඩම්බරයක්.... ඒ දවස්වල අපේ හීං එකා..... කිරි අලයක් කාලයි හේනට එන්නේ..... ඕ.... අනේ හරි අහිංසකයි..... හැබැයි ඔය නාට්ටි පිස්සුව ඒ දවස් වල ඉදලම තිඋණා...... දැන් ටෙලි නාට්‍ය හදනවලු නේද..... ටෙලි නාට්ටි......... බීප් බීප් බීප්. . . . . . . . .

නිවේදිකාව මද විවේකයක් සදහා පාලක මැදිරියට ගියා ය. ප්‍රථම කොට මම බඩ අල්ලාගෙන සිනාසීමි. දෙවනුව අතහැර දමන ලද හීං එකාගේ හේන මතක් වී අනුකම්පා කළෙමි. එංගලන්තයේ දෙමව්පියන්ගේ අනුග්‍රහයෙන් ලංකාවේ ඉදිවන අනාථ නිවාසය අනාථ වීම පිළිබඳ දුක්වීමි. ඊටත් වඩා මතුවෙමින් වියැකෙමින් තිබූ බූරු කං දෙක මතක් කොට යළි යළිදු ප්‍රශ්නාර්ථයක පැටලුණෙමි.

සමාප්තිය

කල්ප කියු ලෙස කියූ විදිහට මගේ නාට්‍ය පිටපත සදහා ගෙවීම් කරගෙන ගියේ ය. එහෙයින් ඔහුගේ ඉතිහාස කතා මට තව දුරටත් අදාළ නොවී ය. ඔහුගේ ඌරු නැහැයවත් බූරු කංවත් මට කිසිදාක බලපෑමක් ඇති නොකෙරූ එහෙයින් මට ඒ කිසිවක් ද අදාළ නොවුණි. එහෙත් නාට්‍යයේ අවසන් පිටපත් සමුදාය ලබා දීමත් සමග ඔහුගේ ජන්මයට ඉහළින් පුරුද්ද මතු වී පෙනිණ. ඔහු විසින් මාගේ පිටපත් විස්සක් සදහා මට අයවිය යුතු මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදි.

තර්කය

ප්‍රාථමික අධ්‍යාපනයක් නොලද කල්ප ගණිත සූත්‍රයක් ගෙනහැර පාමින් මගේ මුදල් මංකොල්ල කෑමට මාන බලමින් හිදී. ඔහු කියන්නේ විකාශනය වන ටෙලි පිටපතක විනාඩි තුනක නම් වැල සදහා ගීතයක් යන බවත් ඒ විනාඩි තුන මගේ ශ්‍රමය නොවන බවත් එහෙයින් අතිරේක කොටස් විස්සක්වත් අවම නිර්මාණය විය යුතු බවත් ය.

විනාඩියයි. . .
ඇඩ් එකයි. . . +
සිංදුවයි. . . .
ගායකයට ගෙවපු ගාන =
ශුද්ධ ලාබේ. . . . විනාඩි තුනෙන්
x
දෙකෙන් හයක් + කර

පිස්සු හැදෙයි.....................

මට කිසිවක් හරි හැටි වටහා ගත හැකි නොවී ය. කේන්තියට මගේ කණ් දෙපස රත්වනු මට දැනිණි. හැත්ත අටෙන් පස්සේ ඇති වෙච්චි වෙළඳපොළ සංස්කෘතියේ ප්‍රථීඵල තමයි මෙව්වා. . . රුපියල රුපියල හරි හූරගෙන කන විදිහක් තමයි තොපේ සුළු ධනේෂ්වර පන්තිය හොයන්නේ. . . තෝ උන්ටත් අන්තයි. . . තෝ මගෙන් හූරගෙන කෑවේ සල්ලි විතරක් නෙමෙයි. . . තෝ මගේ නිර්මාණාත්මක ශ්‍රමයත් හූරගෙන කෑවා. . . කාළකණ්ණි හැත්ත. . . සල්ලිකාරයෝ ගඳයි කිව්වේ ඔන්න ඕක තමයි. . . අපේ දහඩිය මහන්සිය හූරගෙන කාපුවයේ කුයිලේ තමයි ඔය එන්නේ. . . කාළකණ්ණි බල්ලා. . . දැන ගනිං. . . තොට වෙන දේ. . . තෝයි තොගේ පන්තියයි හිටගෙන කුණු වෙනවා. . . . බලාගෙන හිටහං. . යැයි කියන්නට මට ඕනෑ වුණිද මම ඒ කිසිවක් නොකීවෙමි. වෙනදාට එකක් කිව්වොත් දහසකුත් දේ කියැවෙන මගේ කට ඒ මොහොතේ ගොළු වූයේ අහවල් දේකටදැයි මට වැටහෙමින් තිබිණි. මට අද අහිමි වූයේ එක්ලක්ෂ පනස්දහසක මුදලකි. එහෙත් මම ඔහුට දෙස් දෙවොල් තියන්නට පටන් ගත්තොත් මට ඊළඟ ටෙලි පිටපතම අහිමි වනු නියත ය. එවිට මගේ හීන සියල්ල සදාකාලයට හීන අතරම නිදන් ගත වනු ඇත.

සුපිරි හෝටලයක වෙඩින් එකක්
තට්ටු දෙකේ ගෙයක්
ප්‍රාඩෝ වර්ගයේ හෝ ඒ හා සමාන වාහනයක්
අවන් එකක්
ෆ්‍රිජ් එකක්
වළලු හතරක්
ලැප්ටොප් එකක්
අම්මාගේ දඹදිව චාරිකාව...

+ මල්ලිට පිටරට උපාධිය

එක්සර්සයිස් මැෂින් එකක්

ඊළඟ මෙගා ටෙලි පිටපත

මගේ සිහින ලයිස්තුව මා ඉදිරියේ මතුවෙමින් වියැකෙමින් තිබේ. ඊට අමතරව ගෙවීමේ ක්‍රමයට මිලදී ගත් බඩු ලයිස්තුවක ගෙවීම්ද ඉතිරිව තිබේ. මම මගේ ආත්ම ගෞරවය සාක්කුවේ ඔබා ගනිමින් කරබා ගතිමි. හදවතේ කැකැරෙන කේන්තිය දිගු සුසුමකින් පිටකිරීමට උත්සාහ ගත් මම ඔහු දෙස හොරෙන් බැලීමි. සපත්තුව පළා මතු වූ නිය සහ ලොම් දක්නට නැත. ඌරු නාසය දක්නට නැත. බූරු කං දෙකක් දක්නට නැත. මම සිහිනයක් දැක්ක ලෙස පශ්චාත්තාප වීමි. මම කිසිවක් නොකියා යන්නට හැරුණෙමි. ඒ මොහොතේ එතැනට පැමිණි ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය. . . .

ලේකම්වරිය : ඊයා සර්....... මෙන්න ඔයාගේ ඇඟේ මැක්කෝ......

ඇගේ වදනින් මහත් සේ උද්දාමයට පත් මම ආපසු හැරී දිව ආවේ ලේකම්වරිය හා එක්ව ඒ ආශ්චර්යවත් මොහොත සමරන්නට ය. එහෙත් මා ඔවුන් වෙත එද්දී නැවතත් මගේ සම සර්පයකුගේ මෙන් වයිරම් වලින් වැසෙමින් තිබෙනු දිටිමි. ඒවා එදාට වඩා සෙවෙල ගතියකින් දිලිසුණේ ය.

උවනි චාමිකා ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails