Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේක වුණේ අඟහරුවාදා රෑ නිදාගෙන නැගිට්ටට පස්සෙයි. වෙනදා පුරුදු විදිහට මම කුස්සියට ගියේ හොඳට කහට දාලා කිරි එකක් හදෝගන්න හිතාගෙන. උදේට මූණ හෝදගෙනම කුස්සියට යනවා කියලා අතර මඟදි මං තීරණේ වෙනස් කළා. මේ වෙලාවට ඕන එෆ්. එම් එකක ආගමික වැඩසටහන් යන නිසා රේඩියෝ එකටත් පයින් ගහගෙනම ගියා. අන්තිමට මං හිතුවා ඔන්නොහේ නාගෙනම යනවා කියලා. ඔ‍ෆිස් යන්නත් තියෙන නිසා වැඩි වෙලා ගන්නැතිව ‍රැවුලත් කපලා කෙටි නෑමකින් සැනසිලා මං එළියට ආවෙ රෑ ඇදන් හිටපු කොට්න් ෂෝටම ඇදගෙන.

'අයිෂ්.... මට කහට වැඩියෙන් දාලා කිරි එකක් හදලා දෙනවද? '

ඉල්ලීමකින් කුස්සියට ඇතුළු වුණ මට ඇස් අදහ ගන්න බැරි වුණා. අයිෂ් අමු නිරුවස්තරෙන් කුස්සියෙ වැඩ. පොල්ක‍ටු හැන්දකුත් අතේ තියන් එයා මං දිහා කෝළ බැල්මකින් බලලා ලිපේ තිබ්බ මාළු හොද්ද හැදි ගාන්න ගත්තා. මං ටික වෙලාවක් හිටියා මොකක් කියන්නද කියලා හිතාගන්න බැරිව.

'අභී... ඔය සැලඩ් එක හදන්නකෝ මම ඔයාට කිරි එක හදනකන්. බලන්න හොඳටම පරක්කුත් වෙලා. ඔයා ඒ අස්සෙ නාලත් එක්ක'

'ඔයාට පිස්සුද අයිෂ්.. ඇයි මේ ඇඳුම් නැතිව ඉන්නෙ? '

එයා මං දිහා ඔලුව හරවලා බැලුවෙ අමුතුම හැඟීමකින්. මමත් කවදාවත් නොදැකපු කෙනෙක් දිහා බලනවා වාගෙ එයාගෙ සිරුර නරඹන්න වුණා. හරියට ප්‍රතිමාවක් වගෙයි. ඒත් එයා කහට වැඩියෙන් දාලා පිටි එක හදන එකෙන් ප්‍රතිමාවක් වගේ කියනෙක දිගේ මට වැඩි දුර යන්න බැරි වුණා.

'මං ආයෙ ඇඳුම් අදින්නෑ අභී... ඊයෙ තමයි අන්තිම දවස'

මගේ තොළකට වේලිලා ගියා. මේ ගෑනිට පිස්සු හැදිලද? මගේ ඔලුවෙ නොයෙක් දේවල් වැඩ කරන්න ගත්තා. අන්තිමට එක ප්‍රශ්නයක් අහන්න මට පුලුවන් වුණා.

'ඒ කියන්නෙ අද ඉදන් ඔයා ඔ‍ෆිස් යන්නවත් ඇඳුම් අදින්නැද්ද? '

'නෑ. නෑ. නෑ. ආයෙ මං කොහේවත් යන්න ඇඳුම් අදින්නෑ. ගෙදර ඉන්න ඇඳුම් අදින්නෙත් නෑ. '

එහෙම කියලා එයා කුස්සියෙ දොර ඇරලා කුස්සිය අතුගාපු කුණු ටික එළියට දාන්න හැදුවා. මං පිමි දෙකෙන් දොර හරස් කරගත්තා.

'ඔයාට පිස්සුද? ඔය දොර අරින්නෙපා. අර පහළ ගෙදර වලත්තයො ටික කට ඇරන් බලන් ඉදීවි. කෝ දෙන්න මං ඔය ටික වීසි කරන්නම්..'

එයා හරිම වසඟකාරී හිනාවක් පාලා මට කුණු ටික වීසි කරන්න ඉඩ දුන්නා. වහලා තිබ්බ ජනෙල් ඇතුළෙන් ඉර එළිය එයාගෙ බෙල්ලට වැටිලා ඒ ආලෝකය ළැම දක්වා විහිදිලා තිබ්බෙ අදහන්න බැරි තරම් ලස්සනක් එකතු කරමින්. එයා ප්‍රතිමාවක් වගේ ලස්සනයි. මට ආයෙමත් හිතුණා.

'කිරි එක බොන්න අනේ. අද නම් අපි දෙන්නට පරක්කුම වෙනවා. කොහෙද ඔයා ඉතින් නැලවෙනවනේ. යන්න.. යන්න ගිහින් ඇදගන්න. මං බත් බැදගෙන එන්නම්. '

එහෙම කියලා අයිෂ් මගේ කම්මුලක් සිප ගත්තා. එයාගෙ තොල් අමුතු සීතලකින් වැහිලා තිබ්බෙ. නිකං මීදුමක් මැදින් ගියා වගෙයි. මීට කලින් කිසිම දවසක ඒ වගේ සිප ගැනීමක් මට ලැබිලා නෑ. එයා මගේ බිරිය බව ඇත්ත. ඒත් ඒ තරම් සීතලකින් මීට කලින් කිසි දවසක එයා මාව සිපගෙන නෑ. මං ආයෙමත් කුස්සියේ නතර වෙලා එයා දිහා බලාගෙන හිටියා.

'මොකද අනේ... මොනාද ඔය හැටි බලන්නෙ? ‍රැවුල කැපුවම ඔයා හරි පොඩි පාටයි. හෙට ‍රැවුල කපන්නෙපා. බාගෙට වවාගෙන ඉන්න. මං ආස එහෙම'

අයිෂ් මේ තරම් රොමෑන්ටික් දේවල් වෙනදට කියන්නෑ. එයා නිකං ලොකු කාලයක් නින්දකට වැටිලා ආයෙ ඇහැරිලා වගෙයි හැසිරෙන්නෙ. ඒත් මට ආස හිතුණා එයා කතා කරන විදිහට. ආයෙමත් මට මතක් වුණා එයා ඇඳුම් නැතිව ඔ‍ෆිස් යනවා කියපු කතාව. මං කාමරේට ගිහින් අල්මාරිය ඇරලා බැලුවෙ එයා ඔ‍ෆිස් යන්න ඇඳුම් මැදලද කියලා. අල්මාරියෙ එල්ලලා තිබ්බෙ මගේ අළු පාට කලිසමයි නිල් පොඩි කො‍ටු තියෙන ස්ලිම් ‍ෆිට් ෂර්ට් එකයි විතරයි. අද එයාට ටයි එකක් ‍තෝරලා තියන්න අමතක වෙලා. කෝකටත් මං වෙනදා තරම් කාලෙ ගන්නැතිව ඇද ගත්තා.

එතකොටම අයිෂ් හින්දි සිංදුවක් කිය කියා කාමරේට ආවා. තුවායකින් ඇග පිහිදමින් ආපු එයා මගේ ෂර්ට් කොලර් එක හරියට හරි ගැස්සුවා. ඇද උඩ ටයි කිහිපයක් තියාගෙන ඒ දිහා බලන් හිටපු මට ඈ කීව්වෙ මෙහෙම දෙයක්.

'ටයි දාන්නෙපා අභී. මං ආස නෑ. ෂර්ට් එකේ ඔය උඩ බොත්තම ගලවගන්න. '

'ඔයාට පිස්සුද අයිෂ්? මෙහෙම කොහොමද ඔ‍ෆිස් යන්නෙ? මං කොහොමද සේවකයො පාලනය කරන්නෙ? උන් හිතයි මං පිස්සුවෙන් කියලා'

'ඔව්. ඔව්. ඔයා පිස්සුවෙන් තමයි. මොකෝ ඔයා සේවකයො පාලනය කරන්නෙ උඩ බොත්තමෙනුයි ටයි එකෙනුයිද? '

'ඒක මං බලාගන්නම්. ඔයා ඇද ගන්නෙ නැද්ද? කීයටද අද යන්නෙ ඔහොම නැලවිලා? මට හොඳටම පරක්කු වෙලා. අද මීට්න් එකක් තියෙනවා. ඒක මිස් කරගන්න බෑ. හා.. හා.. ලෑස්ති වෙන්න. ලෑස්ති වෙන්න... '

'ඉතිං හරි. හෑන්ඩ් බෑග් එක ගත්තා. ෂූස් දාගත්තා. ගියා. '

'යකෝ ගෑනියෙ... මගේ යකා අවුස්සන්නෙපා. හෙළුවෙන් පාරෙ යන්න පුළුවන්ද? '

'පුළුවන්. ඔයාට මාව කාර් එකේ දාගෙන යන්න ලජ්ජ නම් මට ටැක්සියක යන්න පුළුවන්. මටත් ඉතිං දැං පරක්කු වෙලා තමයි. අපෝ අද නම් බොස් බනිනවා ෂුවර්. '

ඈ කිසි ගාණක් නැතිව කියාගෙන ගියා. මං එක පාරටම නැගිටලා කාමරේ දොර ලොක් කරලා ඉස්සරහා දොරත් ලොක් කරලා දුවලා ගිහින් කාර් එකට නැග්ගා. මට ඇහුණා දොරට ගහන සද්දෙ යාන්තමින්. ටික වෙලාවක් කාර් එක ස්ටාට් කරන්නෙ නැතිව මං කල්පනා කළා ඊළඟට කරන දේ ගැන. මේ වගේ දෙයක් කාට නම් කියන්න පුළුවන්ද. අපේ ගෙදරට කිව්වොත් නම් ඔක්කොම විනාසයි. අයිෂ්ගෙ ගෙදරට කියන්නත් බෑ. අයිෂ්ගෙ අයියා පෝරිසාදයා. මගේ හිතවත්ම යාළුවො දෙන්නගෙන් එකෙක්ට කියනවා කියලා අන්තිමට මං තීරණය කළා. ඒ අතරතුර අයිෂ් නොනවත්වාම මගේ ෆෝන් එක රින්ග් කරනවා. එස්. එම්. එස් එවනවා. ඒ එස්. එම්. එස් බලන්නත් මං බයෙන් හිටියෙ.

'මචං රනේෂ්... මට පොඩි කරදරයක් වෙලා. උඹ කොහෙද ඉන්නෙ? '

මං එක හුස්මට රනේෂ්ගෙන් ඇහුවා. තරමක පුදුමෙන් රනේෂ් උත්තර දුන්නෙ.

'මං ඔ‍ෆිස් එන ගමන්. දැන් නුගේගොඩට ළඟයි. තව විනාඩි දහයෙන් ඔ‍ෆිස් එකේ. උඹ අපේ ඔ‍ෆිස් එකට එනවද? නැත්නම් මං උඹ ඉන්න තැනට එන්නද? '

'නෑ. නෑ. මම එන්නම්. '

එදා තමයි මං වාහනයක් වේගෙන්ම එලෙව්වේ. අදහන්න බැරි තරම් ඉක්මනට මං රනේෂ්ගෙ ඔ‍ෆිස් එක ළඟ. කිසිම දවසක නොගිය අතුරු පාරවල් දිගේ මං ගියේ පුදුම විස්වාසෙකින්. මං රනේෂ්ගෙ ඔ‍ෆිස් එක ළඟින් වාහනේ නවත්තලා වාහනෙන් බිමට පැන්නා. එතකොටත් රනේෂ් එළියට ඇවිත් හිටියෙ.

'මොකද බං? උඹට මොකක්ද වුණේ? උඹ කාවහරි මැරුවද? '

'නෑ බං. අයිෂ්ගෙ ප්‍රශ්නයක්. '

'මොකක්!

'ඔව් බං. ඒ ගෑනි හෙළුවෙන් ඔ‍ෆිස් යන්න හදනවා. මීට පස්සෙ ඇඳුම් අදින්නෑ කියනවා. මං දැං ගේ ඇතුළට දාලා ලොක් කරලා ආවෙ. මෙලහටත් මොනා වෙලාද දන්නෑ.

රනේෂ්ගෙ ඇස් දෙක නළල දක්වා උඩ ගියා. ටිකක් වෙලා මගේ දිහා කට ඇරන් බලන් හිටියා. ඊට පස්සෙ පිස්සුවෙන් වගේ හිනාවෙන්න පටන් ගත්තා.

'යකෝ... මාර සීන් එකක්නෙ. උඹව ලෝකප්‍රසිද්ධ වෙයි ඔය වැඩෙන් නම්. '

'යකෝ ගොනෝ... මේක හිනාවෙන්න දෙයක් නෙවෙයි. මටත් රෙදි ගලෝලා හෙළුවෙන් පාරෙ යන්න වෙන එකක්. කාලකන්නියෙක් වගේ හිනාවෙන්නෙපා. මට උපදෙසක් දීපං මිනිහෝ. මං දැං මොකද කරන්නෙ? අයිෂ්ගෙ ඔ‍ෆිස් එකෙනුත් කෝල් කරනවා ඇති. ඔය ගෑනි ජනේලයක් කඩලා හරි ඔ‍ෆිස් යාවි. උඹ දන්නවනේ අයිෂ්ගෙ හැටි. කිව්වොත් කිව්වා තමයි. '

'උඹ දැන් ගෙදර පලයං මචං... ගිහින් අයිෂ්ට ආදරෙන් කියලා ඔය අදහස වෙනස් කරපං. මොකෝ අපි පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියලයි. ඕක බේරගන්න පුළුවන් උඹලා දෙන්නටම තමයි. '

රනේෂ් කියන එකෙත් ඇත්තක් තියෙනවා තමයි. ඒත් මට මේ වෙලාවෙ ඊට වඩා බරපතල උපදෙසක් ඕන කළේ. කාලෙ නාස්ති කරන්නත් බැරි නිසා මං ආයෙම ගෙදර එන්න පිටත් වුණා. ඒ එන ගමන් හිතුවෙ රනේෂ්ට මේක කියලා මං කළේ මෝඩ වැඩක් කියලා. අයිෂ් මගේ ෆෝන් එකට කෝල් කරන එක නවත්තලා එතකොට. එස්. එම්. එස් එවන එකත් නවත්තලා. මට බය හිතුණෙ එයා මොනා හරි කරදරයක් කරගෙනවද්ද කියලයි.

ඕන දෙයක් වෙන්න කියලා මං අයිෂ්ගෙ ෆෝන් එක රින්ග් කළා. රින්ග්ස් දෙකක් යද්දිම එයා ආන්සර් කළා.

'ඩාලිං.... ඔයා හරි නරකයි මාව ගෙදර දාලා හොරා වගේ ආවා. මට පරක්කු වෙන නිසා බොස්ගෙ වාහනේ ගෙන්නගෙන මං ඔ‍ෆිස් ආවා. '

නොනවත්වා කරන කෑ ගැසීම් සමූහයක් සහ නොයෙකුත් ශබ්ද හාත්පසින් ඇසෙන්නට විය. ඇගේ ඔෆීසියේ වෙනදා නැති කලබලයකි. ප්‍රීති ප්‍රමෝදයකි. විනෝදයකි. මං ඇගෙන් නො ඇසිය යුතු ප්‍රශ්නය ඇසීමි.

'අයිෂ්... වස්තුව... ඔයා ඇඳුම් ඇදගෙන නේද ඔෆීස් ගියේ? '

ඈ නොනවත්වාම සරාගී ලෙස සිනාසෙන්නට විය. ඒ නම් මැරලින් මොන්රෝ වර්ගයේ සිනාවකි.

'මං ඔයාට උදේ කිව්වෙ අභී... ආයෙ මං ඇඳුම් අදින්නෑ කියලා. මං ආවෙ ඇඳුම් නැතිව. හරී.... සනීපයි ඩාලිං.... '

මහ පාර මැද වේගවත් බ්‍රේක් පහරකින් මමත් වාහනයත් එකම වර නතර වී තදින් හුස්ම ගන්නට වීමු. පසුපසින් වාහන පෙරහරක් නොනවතින හෝන් සංග්‍රහයක් පිරිනමමින් සිටින බව මට අවබෝධ වූයේ විනාඩි පහක් පමණ ගිය පසුය.

ඈ සොයා ඔෆීසියට යාමෙන් පලක් නැති බව වැටහී ගියෙන් මම මගේ ඔෆීසියට වාර්තා නොකර යළිත් ගෙදර බලා ගමන් ඇරඹුවෙමි. ගෙදර ඇතුළු වන දොර හායි ගා ඇර දමා ඇත. යතුර පෙනෙන්නට නැත. මද සැකයකින් ගෙතුළට ගිය මුත් කිසිවෙකු ගෙය තුළ නැත. අඩුම තරමින් සොරෙකු වත් නැත. කාන්සියටත්- දුකටත් රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කර හිර කරගෙන සිටි ටයි ගැටයත්, සපත්තු දෙකත් ගලවා දමන්නට වීමි. රූපවාහිනියේ හදිසි පුවත් අතර අයිෂ් වැනි ගැහැනියකගේ නිරුවත් පසු පෙදෙසක් දැකීමෙන් යළිත් මම සිහි නැති වන මට්ටමේය. ඒ අයිෂ්ගේ ඔෆීසිය ඉදිරිපසය. ඈ කදිම රෝස පැහැති අඩි උස සපත්තු යුවළක් සහ රෝස පාට හෑන්ඩ් බෑගයකින් සැරසී රෝස පාට අව් කණ්ණාඩි යුගලක් ලාගෙන උන්නීය. නිය ළා රෝස පාටින් පාට කරගෙනය. ඇගේ නූල් පොටක්වත් නැත. ඇගේ ලොක්කා තම බැගී දැමූ බඩත් ඔසවාගෙන හති හළමින් පඩිපෙළ බැස එනු පෙනෙයි. එතැන පුදුමාකාර වාහන තදබදයකි. අසැබි කතා කියන්නන්ගේ ක‍ටු වන් වචන පසුබිමින් ඇසෙයි. අයිෂ් වගේ වගක් නැතිවම සුපුරුදු ලලිතවත් ගමනින් පඩිපෙළ නැග යනු පෙනෙයි. ඇගේ මිතුරිය කම්මුලේ අත තබාගෙන අයිෂ් දෙස නෙරවාගත් ඇසින් බලා සිටියි. පියන් මහතුන් පේල් සැදී අයිෂ්ව ගිළ ගැනීමට මෙන් බෙලි දිගු කරයි. පසුබිමින් රූපවාහිනී නිවේදකයා මොනවාදෝ හෑල්ලක් කියනු මට යාන්තමින් ඇසුණත් ඒ කුමක්දැයි නිශ්චිතව වටහා ගත නොහැකිය. මම වැර යොදා රිමෝටයෙන් ටී. වී එකට ගැසුවෙමි. රිමෝටය ටී. වී ස්ක්‍රීනයේ වැදී අනෙක් පසට වීසි වුණා පමණි. මේවා වීදුරු නොවිය යුතුය. ලේසියෙන් කඩා බිදලිය නොහැකිය.

'මං ඉවරයි. ඉවරෙටම ඉවරයි. මගේ ගෑනි හෙළුවැල්ලෙන් ඔ‍ෆිස් යනවා. ඒ මදිවට ඒක නිව්ස්වලටත් පෙන්නනවා. '

ඒ සමඟින් මගේ ජංගම දුරකතනයත්, නිවසේ දුරකතනයත් නොනවත්වා නාද වන්නට විය. හිස බදා ගනිමින් සැප පහසු සෝපාවේ ගුලි වී කරන්නට දෙයක් සිතමින් උන් මට කිසිත් සිහියට නොනැගිනි.

'අභී.... මොකෝ වස්තුවෙ මේ? ඇයි මේ ඔ‍ෆිස් ඇඳුම් පිටින් නිදි? '

අයිෂ් මගේ කම්මුලක් පිරිමදිමින් අසනු දැනුනෙන් ඇස් හැර බැලීමි. ස්වල්ප මොහොතකට මා සිතුවේ පෙර සියල්ල හීනයක් වෙන්නට ඇති බවය.

'මේ ගෑනි තාමත් ඇඳුම් නැතිව.... '

'පලයං යන්න.... මේ මොන නව ලැජ්ජාවක්ද ගෑනියෙ? බෙල්ල මිරිකලා මාව මරලා දාපං. උඹ ඔහොම රට වටේ හෙළුවැල්ලෙන් ඇවිදිනවට වඩා හොඳයි ඒක'

'අනේ අභී.... ඔයා මොකද ඔය කතා කරන විදිහ? ඔයා කවදාවත් මට ඔහොම කතා කරලා නෑ... '

ඈ නොනවත්වා මා සිප ගන්නට විය. මේ හදිසි අවස්ථාවකි. කියන්නට සිටි සියල්ල කියා අවසන් කර ගත නොවූ අතර ක්‍රමයෙන් මා මටසිළු‍ටු වන්නට විය.

එයා ප්‍රතිමාවක් වගෙයි. ප්‍රවේසමෙන් වාත්තු කර සැකසූ සිරුරක්. මගේ සිරුර මත සැහැල්ලුවෙන් වැතිරී සිටින ඇගේ ශරීරය නින්දකට වැටී ඇති සැටියකි. වේගයෙන් උස් පහත් වන ළැම කුඩා දහදිය බිංදු කිහිපයකින් පමණක් සැරසී ඇත. ළා රෝස පාටින් සිතුවම් කළ නිය මගේ උරහිස වටා දැවටීගෙනය. කවාකාර වටොර මගේ එක් කකුලක පැටලී ගෙනය. යළිත් මා යථා සිහියට එළැඹී ඇති සැටියකි. ඈ මගේ බිරියයි. ඈ නිරුවතින් සිටියාට කම් නැත.

'අයිෂ්... ඩාලිං.... නැගිටින්න... '

ඈ ගැස්සී ඇහැරුණෙන් රෝස දෙතොල් සැලෙන්නට විය. කවාකාර ඇස් මගේ මුහුණ මත වැතිරී ප්‍රශ්නාර්ථයකින් මදෙස බලා සිටින්නට විය.

'අභී... ඇයි? '

'ඔයා ඇඳුම් නැතිව හිටියට කමක් නෑ ඩාලිං. ඔයා ඇඳුම් නැතිව ඔ‍ෆිස් ගියත් කමක් නෑ. මං හැමෝටම කියන්නම් මාත් මීට පස්සෙ ඇඳුම් නැතිව තමයි ඉන්නෙ කියලා. අද තමයි ඇඳුම් ඇදපු අන්තිම දවස'

'ඊයා.... ඔයාට පිස්සුද අභී? හෙළුවැල්ලෙන් ඔ‍ෆිස් යන්න? මිනිස්සු අපිට ගල් ගහවි. ටී. වී වලත් පෙන්නාවි.. '

'මට නම් බෑ. ඉකේයියා... මට නම් හිතනකොටත් මහා හිරිකිතයි. ඔයා නම් හරිම වනචර මිනිහෙක් වෙලා. '

ඈ මාව සැප පහසු සෝපාවෙන් බිමට තල්ලු කර නිතඹ වනමින් අපේ කාමරයට වැදුණි.

'අභී.... ඇඳුමක් ඇද ගන්න..... '

අයිෂ් ඈත සිට කෑ ගා කියනු මට ඇසුණි.

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails