Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාහිත්‍යකරුවාගේ මතු නොව ඕනැ ම කලාකරුවකුගේ කලා නිර්මාණයක් රස විඳීමේ දී, පරිශීලනයේ දී රසිකයා, පාඨකයා සිය අවධානය යොමු කළ යුතු වන්නේ අදාළ කලා නිර්මාණයට මිස කලාකරුවාගේ, කලාකාරියගේ පෞද්ගලික අනන්‍යතාවට නො වේ. ලොව බිහි වූ ඕනැ ම කලාකරුවකු, කලාකාරියක පෘථග්ජන මිනිසාගෙන් වියුක්ත කොට සැලකිය නො හැකි ය. එබැවින් ඔවුනතින් ද මිනිසුන්ගෙන් වන යම් යම් වැරදි සිදු විය හැකි ය. එහෙත් අදාළ පුද්ගලයාගේ කලා කෘතියක් රසවිඳීමේ දී හෝ ඒ පිළිබඳ ව විචාරයක්, විවේචනයක් ඉදිරිපත් කිරීමේ දී එය සිදු කළ යුත්තේ අදාළ නිර්මාණය මත පිහිටා මිස අදාළ නිර්මාණකරුවා / කාරියගේ අනන්‍යතාව මත පිහිටා නො වේ.

නවකථාවක් යනු කුමක් ද?

එය සමාජයේ ම ප්‍රතිනිර්මාණයකි. ගුණදාස අමරසේකරට අනුව සමාජය පිළිබඳ උත්තර සංවාදයකි. ලාංකීය සමාජයේ පසුගිය විසිවසරක් තිස්සේ සිදු වන දිනපතා පුවත්පතක සතියකට දින දෙක තුනක් හෝ පළවන වස්තු බීජ නහුතයක් 'පිරිමි ගොඩයි මං විතරයි' නවකථාවේ ප්‍රතිනිර්මාණය කොට තිබේ. පරිකල්පනීය අවකාශයේ දී සන්නස්ගල සුවිශේෂ ප්‍රතිභාවක් පෙන්නුම් කරමින් කලා කෘතිය ප්‍රතිනිර්මාණය කරයි. එයින් අදහස් කරන්නේ නිර්මාණකරුවා කෘතියේ ඇති වස්තු බීජය විශ්වාස කරන බව ද පුද පූජා කරන බව ද, නො වේ. තාත්තා දුව දූෂණය කිරීම, පුතා අම්මා දූෂණය කිරීම, පල්ලිය පන්සලේ සිදු වන අපරාධ වග විභාගයන් තොර ව මාධ්‍යයේ පළ වීමට එරෙහි වන පිරිසක් ද මේ වන විට සිටිති. එය ආචාර ධර්මවලට පටහැනි යැයි ඔවුහු විශ්වාස කරති. සුදත් මෙනේරිගම වැනි ගෝත්‍රික ලියන්නන් කලා කෘතිය පිටුපසින් පැමිණ කතුවරයාගේ බෙල්ලෙන් අල්ලන්නට යාම සන්නස්ගල විෂයෙහි පමණක් නො ව ඕනෑ ම කලාකරුවකු සම්බන්ධ ව අතිශය පසුගාමී, ගෝත්‍රවාදී වැඩකි. එවැනි ලිපි රාවයේ පළ වීම ද ඛේදවාචකයකි.

සුදත්ගේ ලිපිය කියවන සිහිබුද්ධියක් ඇති ඕනෑ ම කෙනෙකුට එන මූලික අදහස, ඔහුට සන්නස්ගල සමඟ බේරාගැනීමට ගනුදෙනුවක් හෝ කෝන්තරයක් ඇති බව ය. සාහිත්‍ය කෘතිය පසෙකින් තබා එම කෝන්තරය පිරිමසාගැනීමට ලිපි ලීවාට අපට ප්‍රශ්නයක් නැත. එහෙත් කෘතිය විචාරය කරනවා වෙනුවට ලේඛකයා විනිශ්චය කිරීම ආදිකල්පිත ප්‍රතිගාමී වැඩකි. ගෝත්‍රවාදී මනෝ ව්‍යාධියකි. බර්ට්‍රන් රසල් ලිංගිකත්වය සහ ජීවිතය පිළිබඳ විවිධ මත සහ දර්ශනයන් ඉදිරිපත් කළේ ය. පසු කලෙක වෛද්‍ය විද්‍යාලයක දේශකයෙකු ලෙස ඔහු තෝරාගැනීමේ දී ඔහු ලිංගිකත්වය පිළිබඳ ඉදිරිපත් කළ මත ඔහුට එරෙහි ව පාලන අධිකාරිය යොදා ගත්තේ ය. බර්ට්‍රන් රසල් ලැබුණු පදවිය ප්‍රතික්ෂේප කළේ ය. මතය වෙනුවෙන් පෙනී සිටියේ ය. සන්නස්ගල ද මත දරන්නෙකි. එහෙත් ඒ මත දැරීම කලා කෘතිය මත තබා විනිශ්චය කිරීම යල්පැන ගිය ක්‍රමවේදයකි. හඳගමගේ සිනමා කෘති විනිශ්චය කරන ඇතැම්හු ජුගුප්සාව, කාමාශාව විකෘති ලිංගිකත්වය යන කාරණාවන් ගෙන හඳගමට පහර දෙති. එවිට ද අප කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නේ ඉහත මතයේ සිට ම ය.

මෙම වාක්‍ය කිහිපය පෙළ ගස්වන්නට සිදු වූයේ උපුල් ශාන්ත සන්නස්ගලගේ "පිරිමි ගොඩයි මං විතරයි" කෘතිය පිළිබඳ විචාරයක් ලියමින් සිටින අතරතුර එකී කෘතිය සම්බන්ධයෙන් 2012- 10- 14 වන දින රාවයේ පළ වූ සුදත් මෙනේරිපිටිය විසින් රචනා කරන ලද "පුතාවත් නො කිය වූ තාත්තාගේ පොත" නමැති ලිපිය කියවීමෙන් හටගත්තා වූ කම්පනය හේතුවෙනි. එම ලිපිය හරහා ඉස්මතු වන්නේ සුදත් මෙනේරිපිටිය සාහිත්‍ය පිළිබඳ ව දරන්නා වූ පටු සහ පහත් ආකල්පය සහ හුදෙක් පුද්ගල බද්ධ විවේචනය යි. ඔහුගේ ලියවිල්ල පිළිබඳ දැඩි විවේචනාත්මක අවධානයක් යොමු කිරිමට ප්‍රථම අදාළ කෘතිය පිළිබඳ ලියුම්කරුගේ විචාරාත්මක කියවීම පෙළගස්වන්නට අවසර!

සුදෝ සුදු රෙදි පොරවාගෙන සිටින බෙහෝ චරිත තුළ සැඟව ඇත්තේ කළු ම කළු පුද්ගලයකු බවත්, වර්තමානයේ ආගම නමැති සංකල්පය පෙරටු කොට ගෙන දියත් කෙරෙන්නේ හුදු ව්‍යාපාරයක් බවත්, ආගමික නියෝජිතයින් යනු පෘථග්ජනයින් අභිභවා ගිය නරුම සල්ලාලයින් බවත්, ඔවුන් ඒ සියලු නොපනත්කම් ආවරණය කරන්නේ ලෝගුවෙන් සහ කහ රෙද්දෙන් බවත්, ඔවුන්ගේ සිවිල් බලය ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කරන්නන් ද පසුබසින බවත්, වර්තමාන සමාජයේ ඇතැම් පියවරු සිය දියණිය අඹුකමට ගැනීම පිළිබඳ සාධාරණ හේතු ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා අධිකරණයේ දී පවා තර්ක කරන බවත්, එවැනි පියවරුන්ට දාව සිය දියණිය දරුවන් වදා ඇති බවත් එදිනෙදා පුවත්පත් කියවන උගත් බුද්ධිමතුන් මතු නො ව පාසල් කාල සීමාවෙන් පසු කිසිදු සාහිත්‍යය කෘතියක් පරිශීලනය නො කළ පුද්ගලයින් පවා දන්නා කරුණු ය. එබඳු සිද්ධීන් කිහිපයක් පාදක කොටගනිමින් නිමැ වූ සාහිත්‍ය කෘතියක් ලෙස උපුල් ශාන්ත සන්නස්ගල ගේ "පිරිමි ගොඩයි මං විතරයි" කෘතිය හැඳින්විය හැකි ය. මෙය හුදෙක් නවකතාවක් ම පමණක් නො ව, සමාජමය කියවීමකි. දේශපාලනමය කියවීමකි.

මෙම කෘතියේ ප්‍රධාන චරිතය වන රිද්මා නොහොත් චුට්ටී ඇතුළු චුට්ටීගේ බාප්පා, චුට්ටීගේ තාත්තා, ප්‍රේමසිරි, චුට්ටීගේ මව, රාජයියා, සිලවතී, සුද්දී නොහොත් මධුරී, ෆාදර් ෆෙරෝස් සහ නුවන් යන සියල්ලෝ ම කතුවරයාගේ පරිකල්පනීය චරිත වුව ද ඒ සියලු චරිත නියෝජනය කරන්නේ වත්මන් සමාජයේ පැතිකඩකි. එක් පුද්ගලයකු තුළ සැඟව සිටින විවිධ චරිත මෙකී චරිත තුළ ද නො අඩුව ම දක්නට ලැබේ.

මෙම චරිත පෙළ ගැස්වීමේ දී සහ එකී චරිත නිරූපණයන් හි දී කතුවරයා සිය භාෂා ශක්‍යතාව වඩ වඩාත් ඔපමට්ටම් කොට පාඨක ප්‍රජාව හමුවේ තබයි. කෘතිය ආරම්භයේ දී කතුවරයා උපයෝගි කොට ගන්නා ප්‍රස්තා පිරුළු සහ ජන කියමන් ආදිය මෙතෙක් සිංහල සාහිත්‍යයේ භාවිතා නො කළ ආඛ්‍යාන රීතියකින් ඉදිරිපත් කිරිම විශේෂත්වයකි.

සන්දේශ කාව්‍යන්හි 'පුර වැනුම්' යනුවෙන් කොටසක් වෙන් ව ඇති බව පාසල් විෂය සඳහා සිංහල සාහිත්‍යය හැදෑරූ ඕනැ ම පුද්ගලයෙක් දන්නා කරුණකි. එවන් පුර වැනුම් නූතන පාරිසරික වටපිටාවන් හා බද්ධ කරන්නට කතුවරයා මනරම් රූපක උපයෝගී කොටගෙන ඇත. කුරුණෑගල නගරය පිළිබඳ කෙරෙන හැඳින්වීම ඊට කදිම නිදසුනකි.

"ආත්මය සොරකම් කළ යකඩ කටින් ලොතරැයි විකුණන, ලොතරැයි කූඩු ළඟළඟ ම කාසි ගෙන වාසිය ම සූරන - දුහුවිලි සිතුවිලි රැගෙන - ජපන් ටයර් ඇති බස් පුත්තලමට හනිකට දුවන - මේ නමුණුකුල - මේ දුන්හිඳ යැයි පෙන්න පෙන්නා - ඇතාගලේ රස්නේ - පෙම්වතුන් රස සේ ම විඳින - රත්වෙච්ච ඇතුගල යට - බෝර දා විකුණන්න ගල් බිඳින - ගල් කපන - ගල් කඩන - ඇස් රතුවෙන - කඳුළු උනන - කඳුළු පනින - පියෙවි සිහිය පස්සේ ලැබෙන - එවිට හඬන - හඬා දොඩන - මොනරු නටන - ගල මුදුනේ බුදුන් හිඳින - දැසිදස්සන් බුදුන් වඳින - පැල් බැඳගෙන ළමා පත්තර විකුණන - මැද පෙරදිග ඒජන්සි, කොන්ත්‍රාත් - ඒජන්සි වැසි වසින - නිතර ම වේළෙන - නගරයකි; කුරුණෑගල."
-පිටුව 55

සිය බිරිඳගේ ලිංගික ජීවිතයේ රහස් වාර්තා සහ අදාළ පුද්ගලයින්ගේ නාම ලේඛනය (26 වන පිටුවේ පළමුවන ඡේදය වෙත අවධානය යොමු කරන්න) එළිපිට කියවන්නට චුට්ටීගේ තාත්තා සමත්වන්නේ ඔහු මත්පැනින් සන්තර්පණය වීමෙන් අනතුරුව ය. මෙවන් අවස්ථා සාහිත්‍ය කෘති ඇසුරෙන් අප අනන්තවත් කියවා ඇති බව සැබෑවකි. එහෙත් කතුවරයා සිය කෘතියේ ආඛ්‍යාන රටාවේ සැබැ වෙනසක් කරමින් එකී සංසිද්ධීන් පාඨකයාට ග්‍රහණය කරවයි. සාම්ප්‍රදායික භාෂා රටාව ද, සාම්ප්‍රදායික ආඛ්‍යාන රටාව ද සිය කෘතියට වැද්ද නො ගන්නා ඔහු සිය පෑන මෙහෙයවන්නේ පාඨකයාට කෘතියෙන් ඉවත් වීමට ඉඩ නො තබමිනි. ඔහු භාවිත කරනු ලබන එක් වචනයක්, වාක්‍යයක්, ඡේදයක් මතු නොව පරිච්ඡේදයක් පාසා ඉඩ හසර වෙන් කරන්නේ පාඨකයා ගේ සිතිවිලි නැවුම් ලොවකට රැගෙන යාම උදෙසා ය. ශුද්ධ යැයි ලොවට පෙනෙන සියලු මිනිසුන්ගේ අශුද්ධත්වය හෙළි කිරීම සඳහා කතුවරයා භාවිත කරන්නේ ඉතා සරල, එහෙත් සරල බව තුළ ම සැඟව ඇති ගැඹුරු අර්ථයන් පිළිබිඹු වන භාෂා රීතියකි. එකී වාක්‍යයන්හි කියවීම් රටා කිහිපයක් ම අන්තර්ගත ව ඇති බව වැටහෙන්නේ කතුවරයා පවසන දෑ නැවත නැවතත් අධ්‍යනය කිරීමෙනි. ඇතැම් පාඨකයිනට මෙය වෙහෙසකර වන්නට පිළිවන. එසේත් නැත්නම් මතුපිට සරල අර්ථයෙන් සෑහීමට පත්වන්නට පිළිවන. එහෙත් මතුපිටින් දක්නට ඇති සරල, සුන්දර බව ඉක්මවා ගිය යථාර්ථයන් එහි ගැබ් ව ඇත.

"කිරිපාට - සුදු පාට - සුදු අඳින - ශුද්ධ සිංහල - සුදුපාට ධාතු කරඬුව - පෝ දා වඩම්මන සුදෝ සුදු සුදු බාප්පා ය. ගමේ ලොකු හාමුදුරුවන්ගේ සන්මිත්‍ර පින්වත් දායකයා ය."
-පිටුව 21

කතුවරයා චුට්ටීගේ බාප්පා හැඳින්වීම සඳහා වඩ වඩාත් භාවිතා කරන්නේ සුදු වර්ණය යි. සුදු වර්ණයෙන් හැඟවුම්කරණ දෙකක් ඇත. ඉන් එකක් නම් පිරිසිදු භාවය යි. අනෙක නම් මරණයේ සංකේතය යි. හුදු කතන්දරයක් පමණක් කියවන්නාට පෙනෙන්නේ බාප්පාගේ පිරිසිදු භාවය යි. එහෙත් කතුවරයා මතු නො කරන, පාඨකයා විසින් මතු කරගත යුතු යථාර්ථය කුමක් ද? මතුපිටින් සුදෝ සුදු සුදු බාප්පාගේ කළු ම කළු භාවය යි. ඔහුගේ කළු ම කළු චරිතය වසාගැනීම සඳහා ඔහු භාවිතාවට ගනු ලබන්නේ සුදු වර්ණය යි. කතුවරයා සැම මොහොතක ම පාඨකයාගේ සිතිවිලි නැවත නැවතත් වෙනස් කරවීම සඳහා මෙවන් අවස්ථාවන් බහුල ව භාවිතා කරයි.

කතුවරයා නැවතත් බාප්පා පිළිබඳ මෙසේ හැඳින්වීමක් කරයි.

"රෙද්ද බැනියම එක්ක සිංහලකම රකින ගමේ ලොකු හාමුදුරුවන්ගේ සන්මිත්‍ර පින්වත් පන්සලේ ප්‍රධාන දායකයා බාප්පා ය. වේයන් ඉතිරි වූ හුඹහේ ලැග්ග - තේජස් රැක්ක ගම්දොහේ නාග රාජයා ය."
-21, 22 පිටු

'ප්‍රධාන දායකයා''ගම්දොහේ නාග රාජයා' ද එක ම පුද්ගලයෙකි. නාගයා පිළිබඳ සමාජ සංකල්පය සහ පන්සලේ ප්‍රධාන දායකයා පිළිබඳ සමාජ සංකල්පය එකිනෙකට පරස්පර වුව ද එකී සංකල්ප ද්විත්වය ම පවතින්නේ එක් පුද්ගලයකු, එක් වස්තුවක් මත ය. මෙය වත්මන් දේශපාලන යථාර්ථය කදිමට පිළිබිඹු කරන්නකි. එකී දේශපාලන කියැවීම වටහාගන්නට "සන්නස්ගලගේ නවකතාවක් කියවනවා" ය යන මනෝභාවයෙන් වියුක්ත විය යුතු ය. යථාර්ථයේ යථාර්ථය වටහා ගත යුතු ය.

සාහිත්‍යය කියවීමකින් ඔබ්බට ගිය 'පිරිමි ගොඩයි මං විතරයි' කෘතිය දේශපාලනික කියවීමක් සහ සමාජීය කියවීමක් ලෙස ස්ථාන ගත කළ යුත්තේ කෙසේද යන්න මදක් විමසා බලමු.

"කන්‍යා ලග්නයෙන් ජීවිතය අරඹන යෞවනියන් වෘෂභ ලග්නයෙන් කෙළවර කරන බව හීනටියන දහම් පාසලේ ජේ. වී. පී. අයියා කෙනෙකු කීවා මට මතක ය."
-පිටුව 81

මෙම කෙටි වාක්‍ය තුළ ගැබ් ව ඇති ගැඹුරු, පිළිකුල් සහ අන්තරායකර පණිවිඩය, මතුපිට කතාව පමණක් කියවන පාඨකයාගේ ග්‍රහණයට හසු නො වේ. එකී දේශපාලන යථාර්ථය අවබෝධ වන්නට නම් පාඨකයා ද සාහිත්‍ය මතු නො ව වත්මන් සමාජ, දේශපාලන සහ ආර්ථීක වටපිටාව පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත විය යුතු ය. එමෙන් ම පාඨකයා ඒ පිළිබඳ දැනුවත් නො වීම නිර්මාණකරුවාගේ දුර්වලතාවක් ලෙස අර්ථ දැක්වීම ද එසේ අර්ථ දැක්වන්නාගේ ම දුර්වලතාවකි.

"මාසයක් ජීවත්වෙන්ඩ වුණත් මගේ ළඟ සල්ලි තියනවා. ඊට පස්සෙ මදි වුණොත් විකුණන්න පුංචි දූපතකුත් මගේ ළඟ තියනවා. මං උඹව විකුණන්නෙ නෑ."
-පිටුව එම

මෙම ප්‍රකාශය කරනු ලබන්නේ සුද්දි නම් ගණිකාව ය. කතාව කියවාගෙන යන පාඨකයා. . . "ගණිකාවට කොහෙන්ද යකෝ දූපතක්? ? ?" යනුවෙන් තමන්ගෙන් ම ප්‍රශ්න කිරීම අරුමයක් නො වේ. නිර්මාණකරුවා දූපතක් ලෙස උපකල්පනය කරන්නේ, සංකේතවත් කරන්නේ කුමක් ද යන්න වටහා ගැනීම බුද්ධිමත් පාඨකයින්ට නම් එතරම් අසීරු නොවන බව ලියුම්කරුගේ විශ්වාසය යි.

පසුගිය දිනවල බොහෝ වාද විවාදයන්ට ලක් වූ කරුණක් ලෙස ටෙලි නාට්‍ය නිළියන් ගණිකා වෘත්තියේ නියැලී නීතියේ රැහැනට හසුවීම සඳහන් කළ හැකි ය. මෙහි සමාජ, දේශපාලනික සහ ආර්ථීක යථාර්ථය මැනවින් පිළිබිඹු කරන්නට කතුවරයා සිය ලේඛන හැකියාවන් මෙසේ භාවිතයට ගනී.

මෙය සුද්දි නම් ගණිකාව නොහොත් මධුරි නම් ටෙලි නිළියගේ ප්‍රකාශයකි.

"හලාවත මාළු කරූ ටෙලි නාට්‍යයක් කළා, සංඝමිත්තාවගේ ලංකාගමනය ගැන. මං ඒකෙ අග්‍ර උපාසිකාවගේ චරිතයට රඟපෑවා. මාළු කරූගේ දඩයක්කාර යාළුවෝ ඔක්කොම අනුරාධපුරේ ආවා. පසුගිය සතියේ ම හිටියේ අන්රාධපුරේ. උන් ඔක්කොම වල් ඌරු මස් විකුණන, මාරවිල හරක් මස් කඩ දාගත්තු, හලාවත ඉස්සො කොටු තියෙන, බෝලවත්තෙ කසිප්පු පෙරන, පැජරෝ ජීප් තියන, පිළී ගඳ ගහන, කට ගඳ, බඩ තඩි කළු පාට මුදලාලිලා ටිකක්. ලබන අවුරුද්දේ කඨින පින්කමට කට්ටිය ම බරණැස යනවා. මටත් එන්නලු යන්න. දවාලට සිල් ගන්න පුළුවන්. හැබැයි රෑට සිල් පවාරණය වෙන්න ඕන. ලොකු හාමුදුරුවන් එනවා අධීක්ෂණයට. මට අග්‍ර උපාසිකාවගේ චරිතයට ගෙව්වෙ රුපියල් දෙදාහයි. සිල් පවාරණවාට ලක්ෂ දෙකක් විතර ගෙව්වා. . . ."
-පිටු 106, 107

හුදෙක් සාහිත්‍යය කෘතියක් රසවිඳීමට පමණක් ලඝු නො කොට මෙම ඡේදයේ වාක්‍යයෙන් වාක්‍යය ගෙන එය ගැඹුරු විමසීමකට ලක් කළ හොත් එහි අඩංගු සමාජ, දේශපාලන සහ ආර්ථීක යථාර්ථයන් මැනවින් පසක් කොට ගත හැකිය. පසුගිය කාලයේ ටෙලිනාට්‍ය නිළියන් මුහුණ පෑ ඛේදවාචකයේ යථාර්ථය ද හෙළිවනු ඇත. මිනිසුන් වැඳුම්පිදුම් කරනු ලබන ආගමික මධ්‍යස්ථාන ඉතා පාරිශුද්ධ ආයතන ලෙස සමාජයේ ගරු බුහුමනට ලක් ව ඇත. එහෙත් එබඳු ස්ථානයන්හි අභ්‍යන්තර ක්‍රියාදාමයන් කොතෙක් දුරට දූෂණය වී ඇද්ද යන්න සහ එවන් ස්ථානයන් කෙතරම් දේශපාලනීකරණය වී ඇද්ද යන්න කතුවරයා මෙම කෘතියේ ඉතා මැනවින් පිළිබිඹු කොට ඇත.

"සිස්ටර් මේරි උත්තර දුන්නේ නැත. අප නැවතුණේ ෆාදර් ෆෙරෝස්ගේ කාර්යාල කාමරය ඉදිරියේ ය. කාර්යාල දොර අබියස මොහොතක් සිට අපි ඇතුළු වීමු. සුද්දී කී වාලම්පුරිය මේ මහලු මිනිසා දැයි මම සිතන්නට වීමි. කන්‍යාරාමයේ රැස්වීම්වල දීත්, උස් වේදිකා උඩ දීත් ෆාදර් ෆෙරෝස් දේශන පවත්වනු මම අසා ඇත්තෙමි. සුදු පාට ලෝගුවටත්, කළු පටියටත් හැම ෆාදර් කෙනෙක් ම එක වගේ ම ය. දුරට වෙනසක් නැත. ළඟ ළඟ ම සමීප රූප දකින විට රූප වෙනස් ය. කටහඬ උසුරුවද්දී ෆෙරෝස් පියතුමාගේ කටහඬ මෘදු තාලයට වචන පිටවෙන ගොරෝසු හඬකි. එය කතෝලික දේශනා ප්‍රකාශ කිරීමට කදිම ස්පීකරයකැයි මම එදවස සිට සිතීමි. එහෙත් රවුම් කණ්ණාඩි දෙක යටින් මදෙස බැලූ ෆාදර් ෆෙරෝස්ගේ ඇස් දෙක රකුසු විලාසයක් ඇති ගිජුලිහිණි දෑසකැයි මම සිතීමි. පොලිසිය කාර්යාල කාමරයට ඇතුළු විය."
-පිටුව 145

(අදාළ කරුණ වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා 146 සහ 147 පිටු වෙත අවධානය යොමු කරන්න. )

සුද්දි, චුට්ටී, විද්‍යාවේදි හිමි, ෆාදර් ෆෙරෝස් සහ නුවන් ඇතුළු සෙසු චරිතයන් 'පිරිමි ගොඩයි මං විතරයි' හි චරිත පමණක් නො ව සමස්ථ සමාජයේ ම නියෝජිතයින් ලෙස සලකා එහි අන්තර්ගත සාහිත්‍යය රසය මතු නො ව පවතින සමාජ, දේශපාලන සහ ආර්ථීක යථාර්ථය අවබෝධ කරගන්නා ලෙස ඉල්ලා සිටිමින් 2012- 10- 14 වන දින රාවයේ පළ වූ සුදත් මෙනේරිපිටිය විසින් රචනා කරන ලද 'පුතාවත් නො කිය වූ තාත්තාගේ පොත' නමැති ලිපිය පිළිබඳ ව යමක් ලිවීමට අවසර!

සුදත් 'පිරිමි ගොඩයි මං විතරයි' කෘතිය කියවීම සඳහා පෙළඹෙන්නේ 'උපුල් ශාන්ත සන්නස්ගල' පිළිබඳ විශේෂිත වූ සංකල්පයක් සිත්හි රඳවාගනිමින් වන අතර එය තමාගේ වුවමනාවට වඩා අනෙකාගේ වුවමනාව මත ලඝු කරමිනි.

කෘතියක ඇත්තේ කතුවරයාගේ අද්දැකීමක් යැයි සිතීම මොන්ටිසෝරි ළමයකු නො සිතන ක්‍රියාවකි. ගාමිණී වියන්ගොඩ මෑතක දී පරිවර්තනය කළ ව්‍යවච්ඡේදකයා (ෆෙදෙරිතෝ අන්දහාසිගේ) කෘතිය සුදත් කියවූයේ නම් ස්ත්‍රියකගේ ක්ලිටෝරිසය හෙවත් භගමනිය සොයාගත්තේ ගාමිණී වියන්ගොඩ යැයි පරසක්වල ගසනු ඇත. 'නලනි' ජාතකය කියවා ඇත්නම් එය ප්‍රබන්ධයක් නො ව, බුද්ධ භාෂිතයක් යැයි සිතා එහි ඇති ලිංගික කාර්යයන් සියල්ල ම ගෞතම බුදුන් වහන්සේගේ අද්දැකීමක්යැයි කියනු නිසැක ය.

සන්නස්ගලගේ පුතා ඉංග්‍රීසි උගැනීම ද සුදත් වැන්නවුන්ට ගැටලුවකි. මේ නවකථා විචාරය යැයි පළ වූ මැල්ලුමට එහි ඇති සම්බන්ධය කුමක් ද? ගී ද මෝපසාංගේ කෙටි කතාවක් සම්බන්ධ ව සමන් වික්‍රමාරච්චි මනෝ විශ්ලේෂණීය විචාරයක් ඉදිරිපත් කළේ නම් පුද්ගල බද්ධ කාරණා කෘතිය සමඟ සම්බන්ධතා දක්වන අයුරු මනා ව හෙළි කරනු ඇත. සුදත් මනෝ විශ්ලේෂණය තබා කෘතියක් කියවීමේ මූලික සිද්ධාන්තයක් දන්නේ ද නැත. සන්නස්ගලගේ වෘත්තිය විෂය ක්ෂේත්‍රය උසස් පෙළ ටියුෂන් බව අපි දනිමු. සිංහල ගුරුවරුන්ට ඔවුන්ගේ දරුවන් සඳහා ඉංග්‍රීසි ඉගැන්වීම තහනම් යන ෆැසිස්ට්වාදී අදහස සුදත් නො දන්නේ ද? පසුගිය රාවය පුවත්පතේ ඉංග්‍රීසි ඉගෙනීමේ අගය පිළිබඳ ව විජිත යාපා මහතා දුන් සම්මුඛ සාකච්ඡාව කවුරු කවුරුත් කියවන්නේ නම් වටී.

"පාසල් සමයේ ඉහළ පන්තිවල ඉගෙනුම ලබද්දී මම පුංචි බණ්ඩාර සන්නස්ගල නම් වියතකුගේ පතපොත, ලිපි ආදිය පරිශීලනය කළෙමි. ඉන් බස, සංස්කෘතිය ආදිය පිළිබඳ ව දැනුවත් විමි. මෑත කාලයේ දී උපුල් ශාන්ත සන්නස්ගල නම් අයකු සම්බන්ධ ව පුවත් ඇසීමි, දිටිමි. හේ ගී ලියන, තිරනාටක ලියන, රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන්වලට පෙනී සිටින, සංගිත තරගවල විනිසුරුවරයකු ලෙස පෙනී සිටින, නවකතා නමින් කෘති දහයක් ප්‍රකාශ කර ඇති අයකු ලෙස දැනගන්නට ලැබිණි. ( ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් බව, පොත් ප්‍රකාශකයෙක් බව සහ උපකාරක පන්ති පවත්වන්නෙක් බව දැනගෙන ඇත්තේ ලිපිය ලියන අතරතුරේ දී ය. ) එහෙයින් සන්නස්ගල නම් කොටස ඇති නිසාත් ඔහුගේ අලුත් ම නවකතාව යැයි සඳහන් 'පිරිමි ගොඩයි මං විතරයි' කියවන්නට සිතීමි. එහෙත් මා ඊට සුදානම් වන විට මගේ සගයකු පැවසුවේ 'සුදත්ගේ කාලය අපතේ ඇරගන්නයි හදන්නේ' යනුවෙනි. මම ඔහුගේ බසට එරෙහි වීමි."
-රාවය | 2012- 10- 14

මෙම ප්‍රකාශය ම කෙතරම් බොළඳ අඥාන ප්‍රකාශයක් දැයි සිතන්න. සුදත්ට අනුව අප දොස්තර රංග වික්‍රමසිංහගෙන් මාර්ටින් වික්‍රමසිංහ බලාපොරාත්තු විය යුතු ය. සචිත්‍ර මහේන්ද්‍රගෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර බලාපොරොත්තු විය යුතු ය. දමිත් ෆොන්සේකාගෙන් ගාමිණී ෆොන්සේකා බලාපොරොත්තු විය යුතු ය. මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගෙන් ද මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල බලාපොරොත්තු විය යුතු ය. පසන් කොඩිකාරගෙන් සිරිලාල් කොඩිකාර බලාපොරොත්තු විය යුතු ය. එසේත් නැත්නම් පළාත් සභා ඇමති උපාලි කොඩිකාරගෙන් පසන් කොඩිකාර බලාපොරොත්තු විය යුතු ය. ඔහුට අනුව තාත්තා මතු නොව බාප්පා, මහප්පා කළ දේ නො කරන පුතා නම් 'නොට්ටිගෙ පුතා' ය. 'නොට්ටිගෙ දුව' ය.

ඔහුගේ සාහිත්‍ය කියැවීමේ පටු ආකල්පය විමසා බලමු.

"දහස් ගණන් සිසුන් පිරිසකට උසස් පෙළ සඳහා සිංහල උගන්වන කතුවරයාගේ මේ අපූරු කෘතියේ එක් තැනක මෙසේ සඳහන් වෙයි." යනුවෙන් කෘතියේ කොටසක් උපුටා දක්වයි. (ලිපිය දීර්ඝ වන බැවින් එම කොටස යළි ලියන්නට අදහස් නො කරමි. )

එකී අපුටා දැක්වීමෙන් අනතුරු ව සුදත් මෙසේ සටහන් කරයි.

"මේ අසම්මත ලිංගික කාර්ය පිළිබඳ කතුවරයා දන්නා ඉහළ ම බස ප්‍රයෝජනයට ගෙන පාඨකයාට දෙන අදහස කුමක් ද? කතුවරයාගේ මල්ලී කෙනෙක් වේ නම් ඔහු මේ කෘතිය කියවා අයියාගේ දියණිය කවර තැනකට රැගෙන යාවි ද? ඔහුට දොස් පැවරිය හැකි ද?"

සුදත්ට අනුව සන්නස්ගල කර ඇත්තේ දූෂණයට මං පෑදීම ය. බාප්පාවරුන්ට දියණියන් දූෂණය කරන්නැ යි බල කිරිමය. නො එසේ නම් 'කරුමක්කාරයෝ' කෘතියේ කර්තෘ ගුණදාස අමරසේකර කර ඇත්තේ කුමක් ද? ඔහුගේ ම 'යළි උපන්නෙමි' කෘතියේ කර ඇත්තේ කුමක් ද? ඔහු අදාළ කෘති හරහා තම බිරිඳට තමන්ගේ පියා සමඟ හෝ තමන්ගේ මස්සිනා සමඟ යහන්ගත වන්නැයි කීවා ද? තමන් සිය මවගේ ශරීයේ හැඩය විඳිමින් එය සිය පුතාටත් කරන්නැයි කීවා ද?

සොෆොක්ලීස් 'ඊඩිපස් රජ' නාට්‍යයේ කළේ කුමක් ද? ඔහු සියලු පිරිමින්ට ඔවුන්ගේ මව සමඟ සස ෙඟයි යෙදෙන්නැ යි කිවා ද?

කැත්ලින් ජයවර්ධන සිය 'තඹරවිල' කෘතියේ දෙන පණිවිඩය කුමක් ද? එය කිය වූ දරුවන් සිය මවට තුරුළු වී, මවගෙන් අස්වාභාවික ලිංගික තෘප්තියක් ලබාවිද?

මෙවැනි උදාහරණ දෙස්විදෙස් සාහිත්‍යය ඇසුරෙන් අනන්තවත් ගෙන හැර දැක්විය හැකි ය. එහෙත් සුදත්ට නැවත නැවතත් සිතීමට මේ ප්‍රමාණවත් යැයි සිතමි. සාහිත්‍ය යනු කුමක් දැයි අවබෝධ කොටගැනීමට අවැසි නම් මෙවන් කෘති විශාල ප්‍රමාණයක් සුදත්ගේ දැනගැනීම පිණිස හඳුන්වා දිය හැකි ය.

තවත් තැනෙක සුදත් මෙසේ සඳහන් කරයි.

"තරුණ ගැහැනුන්ගේ ගෙවල් අසල වැල්පටවල තිබෙන තනපට හා යට ඇඳුම් තොග පිටින් තම ඇඳන් මෙට්ට යට තබාගෙන සිටි පුද්ගලයින් පිළිබඳ ව පසුගිය දිනවල පුවත් වාර්තා පළ විය. එවන් දේවලින් තම අතෘප්තිකර ආශාවන් සපුරාගත් ප්‍රේමසිරි නමැත්තකු සම්බන්ධයෙන් කතුවරයා දක්වන අදහස්වලින් පැහැදිලි වන්නේ ඔහුට ද එවන් අත්දැකීම් ඇත්තකු යැයි සිතෙන අයුරිනි."

පළමුවෙන් ම පැවසිය යුත්තේ අදාළ කොටසින් සංජානනය වන්නේ, කතුවරයා කියන්නට උත්සාහ කරන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අබ මල් රේණුවක තරමවත් වැටහීමක් සුදත්ට නො මැති බව ය.

කතුවරයා එකී කොටසින් සංජානනය කරනු ලබන්නේ ප්‍රේමසිරිගේ ලිංගික සංක්‍රාන්තිය යි. ඔහු එතෙක් චුට්ටී වෙතින් ලබාගත් අස්වාභාවික ලිංගික තෘප්තිය පසෙක ලා ඇගේ මවගේ පහසට ලොල් වීම යි.

මෙහි දී මා, අදාළ ඡේදයේ ම සුදත් උපුටා නො ගත් කොටස මෙසේ උපුටා දක්වන්නේ කතුවරයාගේ අදහස නිවැරදිව ම වටහාගන්නට නම් මේ ඡේදය සම්පුර්ණයෙන් ම කියවිය යුතු බැවිනි.

". . . සිතා සිටින්නටත් සොයිසා වන්නටත්, බඩ බන්දුල වන්නටත් මහතුන් මන්ත්‍රී වන්නටත් කසිප්පු ලාල් වන්නටත් ඇපෝතිකර දොස්තර වන්නටත්- චුට්ටිගේ පියා නොවන්නටත් සිතාගත්තේ ය. "

චුට්ටීගේ පියා හැර මෙහි නම් සඳහන් සියලු දෙනා ම චුට්ටිගේ මවගේ ලිංගික සහකරුවෝ වෙති. මේ වන විට ඇගෙන් ලිංගික තෘප්තිය නො ලබන්නා ලෙස සටහන් වන්නේ ඇගේ සැමියා පමණි. එබැවිනි කතුවරයා "චුට්ටිගේ පියා නො වන්නටත් සිතාගත්තේ ය." යනුවෙන් සටහන් කරන්නේ.

සුදත්ගේ අනෙක් කරුණ පිළිබඳ ව විමසා බලමු.

ඔහු සිය ලිපියේ සඳහන් කරන අන්දමට ප්‍රේමසිරිගේ ක්‍රියා කලාපය කතුවරයාගේ අත්දැකීමක් දැයි සැක සිතෙන තරම් ය. ඉන් හැෙඟන්නේ කුමක් ද? කතුවරයාගේ දක්ෂතාව නො වන්නේ ද? මහාමාරිය කෘතිය කියවද්දී පාඨකයාගේ කච්ඡයේ (කිසිල්ල/කිහිල්ල) ද ගැට මතු වන්නනේ යැයි සැක පහළ වෙයි. ඒ අදාළ කතුවරයා එකී රෝගය පිළිබඳ ව කරනු ලබන විස්තරය එතරම්ම පාඨක සිත් පැහැරගන්නා බැවිණි. ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කළ 'කරුමක්කාර කතාවක්' කෘතියේ සන්තියාගෝ නසාර් ගේ මරණය පිළිබිඹු වන ආකාරය පිළිකුල් සහගත ය. ජුගුප්සා ජනක ය. එය කතුවරයාගේ දක්ෂතාව පිළිබිඹු වන්නකි. එසේ නම් ප්‍රේමසිරිගේ චරිත නිරුපණය සන්නස්ගල නිවැරදිව ම ඔප්නංවා ඇත. සුදත්ට එය කතුවරයාගේ අත් දැකීමක් ලෙස හැෙඟන්නේ එබැවිනි. එහෙත් සුදත් එය කතුවරයාගේ අත් දැකීමක් දැයි විමසන්නේ සාහිත්‍යයමය මානයකින් නො වන බව පැහැදිලි ය.

සන්නස්ගල කතුවරයා සිය කෘතිය සඳහා යොදාගෙන ඇත්තේ අශ්ශීල පාදඩ වදන් බවත් ඔහු සම්භාව්‍ය සාහිත්‍යයට ඇති අරුචිදැ කෙරෙහි සාක්ෂි ලෙසත් සුදත් කෘතියේ ඇතැම් කොටස් උපුටා දක්වයි. සුදත් මෙනේරිපිටියගේ සාහිත්‍යය අවරසිකත්වය සහ ඔහුගේ නො දැනුවත්භාවය මෙයින් මැනවින් පිළිබිඹු වෙයි.

". . . ඔහු තමාගේ ඇඳුම පළමුව ද ඇගේ ඇඳුම දෙවනුව ද තම දැතින් ම ගලවා දැම්මේ ය. . . . ඔහුගේ සිතැඟි ඉවකින් මෙන් දැනගන්නා සේ ඈ සයනයෙහි දිගාව වැතිරුණාය. ඔහුට ඉඩ දෙන්නට මෙන් අනික් පසට ඇද්දුණා ය. . . . සොවින් එල්ලා නො වැටෙන ඍජුව නව යෞවනයෙන් උඩ බලා සිටින දෙතන පුඩු ඇඟිළි තුඩුවලින් ස්පර්ෂ කළේ ය. . . . ඔහුගේ රළු ඇඟිළි ඇගේ නැබ පාමුල එහෙන් මෙහෙන් අතගායි. වසා රොද බේර බේරා අතගායි. එහෙයින් ඇගේ අත ඇඟිලි ද සියලු ලජ්ජා බය අබිබවනය කරමින් ඔහුගේ ද එම පෙදෙසට යැව්වා ය. . . . කලවා මෑත් කොට තමා පිළිගන්න යැයි හඬගා කියන්නට ඔහුගේ සියලු පංචේන්ද්‍රියන්ට වුවමනා විය."
-සංසාරණ්‍යයේ අසබඩ- සයිමන් නවගත්තේගම 177, 178 පිටු

"ඇගේ වස්ත්‍රයේ පළින් පළ ද දෙකලවා නැබ පාමුල දෙතොල අතරේ වැගිර හීල් ව යමින් තිබූ පුරුෂ ධාතු ධාරා ඔහුගේ ඇඟ පුරා ඇඟිලි පුරා මූණ දෙතොල පුරා නැවත නැවත ද දැනී ගියේ ය. "
-එම 284 පිටුව

ඉහතින් දැක්වුයේ සයිමන් නවගත්තේගමගේ එක් කෘතියකින් උපුටා ගත් කොටසක් පමණි. මීට අමතර ව ඔහු ගේ "සුද්දීලාගේ කතාව", "සාපේක්ෂණී", "සංසාරණ්‍යයේ දඩයක්කාරයා", "සංසාරණ්‍යයේ උරුමක්කාරයා". "දඩයක්කාරයාගේ කතාව", "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා" ආදි කෘති තුළින් ද මෙවන් උපුටා දැක්වීම් කොතෙකුත් ඉදිරිපත් කළ හැකි ය. මීට අමතරව ඩී. එච්. ලෝරන්ස්ගේ lady chatterley's lover හි සිංහල පරිවර්තනයෙන් ද අවැසි තරම් උදාහරණ දැක්විය හැකි ය.

සුදත්ට අනුව නම් සයිමන් නවගත්තේගම ද, ඩී. එච්. ලෝරන්ස් සහ එම කෘතිය සිංහලට පරිවර්තනය කළ විජයපාල වික්‍රමසිංහ ද සම්භාව්‍ය සාහිත්‍ය අරුචිකයෝ ම වෙති.

අවසානයේ දී සුදත් 'පිරිමි ගොඩයි මං විතරයි' කෘතියට සහ කතුවරයාට පරිභව කිරිම සඳහා "ඌරාගේ මාළු ඌරාගේ ම පිටේ තබා කැපීමේ" න්‍යාය භාවිතයට ගනී. ඒ සන්නස්ගලගේ පුතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමිනි.

සිංහල සාහිත්‍යයේ දැවැන්තයකු ලෙස හැඳින්වෙන මාර්ටින් වික්‍රසිංහගේ පුත් දොස්තර රංග වික්‍රමසිංහ සිය පියාගේ කෘති කියවූයේ බොහෝ කාලයක් ඉක්ම ගිය පසුව බව වරක් ලියුම්කරු සමඟ පැවසී ය. එසේනම් උපුල් ශාන්ත සන්නස්ගලගේ පුතා පිළිබඳ වෙනත් අටුවාටීකා අනවශ්‍ය ය. උපුල් නිෂ්පාදනය කළ සිනමාපට "වැඩිහිටියන්ට පමණයි" ලේබලය යටතේ ප්‍රදර්ශනය වූ සිනමාපට ය. ලියුම්කරුගේ මතකය අනුව උපුල්ගේ නිෂ්පාදනයක් වූ "තනිතටුවෙන් පියාඹන්න" සිනමාපටය තිරගත වන වකවානුවේ ඔහුගේ පුතා පසු වූයේ සත්වන හෝ අටවන වියේ වන්නට පිළිවන. සුදත්, ඔබ ඔබේ දරුවා සත්වන වියේ හෝ අටවන වියේ පසුවන විට "වැඩිහිටියන්ට පමණයි" සිනමාපට නරඹන්නට ඉඩ හසර ලබා දෙනවා ද?

සිංහල උපකාරක පංති පවත්වන සන්නස්ගලගේ පුතා ජාත්‍යන්තර පාසලක අධයාපනය ලැබීම සුදත්ට විශාල ගැටලුවකි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව සපුරා ප්‍රතික්ෂ්ප කළ මාර්ටින් වික්‍රමසිංහ සිය පුතු වෛද්‍යවරයෙක් වීම සිය සිහිනයක් බවට පත්කොට ගත්තා පමණක් නොව එය සැබෑ කර ගත්තේ ය. සුදත්ගේ ලිපිය පළ වූ රාවය පුවත්පතේ ම පළ වූ විජිත යාපාගේ සම්මුඛ සාකච්ඡාව නැවත නැවතත් අධ්‍යනය කරන්නේ නම් ඔහුට මෙම ගැටලුව විසඳා ගැනීමට එය මහත් පිටුවහලක් වනු ඇත.

ප්‍රාග්ධනයේ තුන්වන කාර්තුව ද ගෙවී යන ගෝලීය ධනවාදී සමාජයේ ඇති හැකි අය තම දරුවන් ජාත්‍යන්තර පාසල් වෙත යැවීම අරුමයක් ලෙස දකින්නට තරම් සුදත් අඥාන වී ඇත. උග්‍ර සිංහල ජාතිවාදියකු සහ නූතන ජාතික චින්තනයේ පියා ලෙස විරුදාවලි ලත් මහාචාර්ය නලින් ද සිල්වා ද සිය පුතුට අධ්‍යාපනය ලබා දීම සඳහා ඔහු ඇමරිකාවට පිටත් කර හැරිය බව ඔබ නො දන්නෙහි ද?

නවකථා විචාරය සම්බන්ධ ව පියදාස සිරිසේන දැක්වූ අදහස මෙසේ ය. 'නවකථා යැයි කියන්නා වූ මාගේ ප්‍රබන්ධ වල සිංහල මහජනයා යථා මාර්ගයේ යැවීම සඳහා අඩංගු ධර්ම කරුණු හැර වෙනත් කිසිවක් නැත. ' සුදත් මෙනේරිගම වැනි ලියන්නන්ට පියදාස සිරිසේනගේ කෘති නැවතත් කියවා ලබන ආත්මයේ යන තැනකට වැඩක් බලාගන්නවා හැර නූතන නවකතාවේ බැරැරුම් විෂය ක්ෂේත්‍රය අන්තර්ග්‍රහණය, කරගැනීමට උත්සාහ දැරීම නිශ්ඵල ක්‍රියාවකි. වියපත් මිනිසුන්ට බොහෝ දේ නො වැටහෙන්නේ නාම්‍යශීලි නො වන නිසා ය. ඉරටු කූරක් අමුවෙන් කැමති හැඩයකට නැවිය හැකි ය. සුදත් වැනි වියපත් වියළි ඉරටු කූරු තොග ගණනින් මාධ්‍ය තුළ දක්නට ලැබෙයි. ඒවා නම්‍යශීලී නැත. නවන්නට උත්සහ කළ හොත් චර බරස් ගා අස්ථී පංජරය ම කුඩු පට්ටම් වී යනු ඇත. එහෙයින් ඒ ගැන ලිවීම මෙතනින් නවතිමි. ප්‍රතිපක්ෂ අදහසක් සුදත්ට වෙත් නම් එය ලියූ පසු නැවත නැවතත් ලියමි.

අවසන් වශයෙන් සුදත්ට මෙය ද පැවසිය යුතුය. යමෙක් ඔබට හඳ පෙන්වන්නේ නම් ඔබ පෙන්වන්නාගේ ඇඟිල්ල දෙස නො බලා හඳ දෙස බලන්න. එසේ නො වුණහොත් ඔබට කවරදාවත් හඳ දැකීමට වාසනාව නො ලැබෙනු ඇත.

[සැ:යු: මෙම ලිපිය එකක් ලෙස ලියූව ද සුදත්ගේ ලිපියට අදාළ පිළිතුර පමණක් 2012.09.21 වන දින රාවයේ පළ වූ අතර විචාරය පමණක් 2012.09.28 දින ඉරුරැස පුවත්පතේ පළ විය.]

ජයසිරි අලවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails