Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නටඹුන් අස
ගඩොල් පෝරණුව ළඟ
වැටී තිබී හමුවිය
කවියෙකුගේ පපුවක් මට.

අතට ගෙන එය
පිහදාන විට දූවිලි
මතුවෙන්ට විය
අකුරු වගයක්
බැබළෙන්ට විය
අකුරු වගයක්.

"මල් ශාලාවේ
මිනීමල
ජීවිතය එම්බාම්කරන
ටියුසන් ඇරෙන වෙලාවට
උළුවස්සේ පිපෙන
අතරමඟ සිට
කතරගම යන්ට
පාර දිහාම බලන
මල්වඩමායි නම් ලද

බඩවල් බලා
මනුස්සකම් හොයන
කුණු බඩවැල් ඇරං දාන
පුළුන් පුරවන
ෆෝමලින් ඩහදිය බේරෙන
තොප
මගේ දුවට ම ප්‍රේම කෙරුවේ කුමට ?
සංසාර පුරුද්දට ද ?

+++++++++++++++

ගෝඨයිම්බරගේ
දරුණු පාපහර සේ වැදුණු
හෙණයෙන්
හිස ගැලවිලා වෙන්වී ගියත්
කොන්ද කෙලින් තියාගෙන
වත්තේම හිටගෙන
උස කෙට්ටු පොල්ගස
තාල වර්ගයේ සම්පත

මිල නැග
එලොව පොල් පෙනෙන විට
මෙලොව පොල්
එක එක දැම්මේ මිදුලට නුඹ

පසු දා උදේ ම ඇවිත්
ලී මුදලාලි අතගාන විට
පිට කොන්ද
ලේ හිඳී
නුඹේ ඇඟපත
පොල්කීරි බවට පත්විය
උඹටයි මටයි එක වයස !

උඹට දරුවෙක් නැති විය
මට දුවක් ඇතිවිය !

+++++++++++++++

අම්මා මතක්විය.
රාමු වී
සාලයේ බිත්තියේ එල්ලිලා ඇත.
ඇගේ මුහුණෙහි
මද සිනාවක් ඇත.
ඇගේ තුරුලෙහි ගුලිවෙලා ඇත්තේ
කටුක දුප්පත් අතීතය.
ඉරුණු චීත්තයේ තැවරී
නොතේරෙන කිසිවක් ඇත.
රත්තරං පාටින් ගෙතූ චීත්තයක්
ඈ ළඟින් තැබීමි.
සමාවෙන්න අම්මා
ඔබ ළඟින්ම තබන්න
අප්පච්චිගේ ෆොටෝ එකක්
කොහෙන්වත් හොයාගන්න බැරි විය.

+++++++++++++++++

මට බාල
මට වඩා උස ගිය
එහා වත්තේ ගස
වැස්ස, හුළඟ හා එක්ව
අපේ ගෙදර හිස මතට
කඩාගෙන වැටෙන්නට
කුරුමානම් අල්ලන
තොප හදන්නේ
මගෙන් පලිගන්ටද ?
කුඩා කල
පන්දු කෙළිනා සඳ
තොපේ මුල් දල්ලක් කැඩූ
හොරා මම.
ඒ පලිය ගන්ටද
තොපේ මේ වෑයම ?
තොටත් බැරි විය
මටත් බැරි විය
මුල් අද්දවා ගන්න
මහ පොළොවෙ පතුලට !

++++++++++++++++

සිහින් දිගු
ඇඟිලිවලින්
දුක්කරදර උල් කටු පිරි නටුව අල්ලා
මල අපට දුන්න

ලියුකේමියා කවියට
ඇඟෙන් ගෙන ලේ දුන්න
විජලනයට
ඇඟෙන් ගෙන දිය දුන්න
ඇය
මගේ කුටියෙහි
සියලුම මතක තබා
නික්මිණී.....

+++++++++++++++

ගියවිට
රැය ගෙවා දැමුමට
බස් හෝල්ට් එක හොයාගෙන
කිසිවක් එහි නොවිණී.

සංවර්ධනය ගෙන යෑමට
පාර ලොකු කරන විට
දන් දී තිබිණී හෝල්ට් එක
සිය තහඩු ඇඟමස ලෝභ නැතිවම
ඩෝසරයට

සංසාරෙන් එතර වෙන්ට
බස් රියක් එන තුරු සිටින විට ඉස්සර
මුරුගසන් වැස්සට
මුචලින්ද සේ
මුතුකුඩ පෙණය ඉහලුවේ නුඹ
මේ හරන්තිකය, මේ දේවදත්තය, මේ බෝධි සත්ත්වය
භේද නොමැතිව

මතකද..........
ඇය හමුවුණෙත් මෙතනදිය
මල් මල් ගවුම හැඳ

+++++++++++++++

මල් ශාලාවේ
මිනීපෙට්ටි
එකිනෙකාගේ පිට උඩ නැගනැග ඉහළට යන
සියොලඟ වාර්නිස් ගාගෙන
කළුවර බුරුත සේ හැඩ මවාගෙන
බඩ ඇතුළ කුසන් කරගෙන
බලා හිඳියි දොර හැර දීමට
කෙනෙක් එනතුරු ස්වර්ගෙට !

+++++++++++++++

දුව
එන්න
ගෙදර තිබුණ තැන මහ පාරට
මල්වඩමාත් එක්ක
අපි යමු පන්සල්
ගෙන සල් මල්......."

නටඹුන් අස
ගඩොල් පෝරණුව ළඟ
වැටී තිබී හමුවිය
අතුරුදන් වු කවියෙකුගේ
පපුවක් මට.
පිහදාන විට දූවිලි
ඒ අකුරු
බැබළෙන්නට විය !

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails